ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අකිල විරාජ් සහ අනෙක් සැකකරු ඇප මත මුදා හරිමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.
ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලදී.
සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට අවවාද කළේ ය.
අල්ලස් කොමිසමේ නිලධාරියාගේ කරුණු දැක්වීම
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි...මෙම පළමු සැකකරු විසින් බඳවාගත් සේවකයින් හතර දෙනෙකුගේ සේවයට වාර්තා කිරීම් සම්බන්ධයෙන් සැකකරුවන් විසින් අධිකරණයට ලේඛන ඉදිරිපත් කර තිබුණා.
එම ලේඛන පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ මානව සම්පත් කළමනාකරණ අංශය වෙතින් විමසීමක් කළා. පළමු සැකකාර හිටපු ඇමැතිවරයා 2024 වසරේ සැප්තැම්බර් මස 22 වන දා දක්වා පමණයි, සේවය කර තිබෙන්නේ. ඉන්පසුව එම තනතුරට පත්වූ නිලධාරියා සේවයට වාර්තා කර තිබෙන්නේ, 2024 වසරේ සැප්තැම්බර් මස 30 වන දා. එම නව නිලධාරියා අල්ලස් කොමිසමට සඳහන් කර තිබෙනවා, සැකකරු ඉදිරිපත් කළ ලේඛනවලට අදාළ මුල් ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බවට. මේ සම්බන්ධයෙන් එහි සේවයේ නියුතු තවත් සේවකයන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. එම සේවකයින්ගේ ප්‍රකාශ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. පසුගිය කාලය තුළ මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 17ක් සටහන් කරගෙන තිබෙනවා."
මෙම තත්වය යටතේ මෙම සැකකරුවන්ට ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් මෙම සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරියා ඉල්ලා සිටියේ ය.
විත්තියේ කරුණු දැක්වීම
මෙහිදී සැකකාර අකිල විරාජ් කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි.... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි සේවකයින් පත් කිරීමට ජනාධිපති ලේකම්වරයාට නීතියෙන් බලය තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ එසේ බඳවාගත් සේවකයින් පුද්ගලික කටයුතුවලට යොදවා ගැනීමෙන් "දූෂණය" නමැති වරද සිදුවුණා ද? යන කරුණ යි. එම කරුණ ඇප ලබා දීමට අදාළ කරුණක් නොවෙයි. මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කළේ, එම අවස්ථාවේදී සාක්ෂිකරුවෙකුව සිටි මෙහි දෙවන සැකකරුට බලපෑම් සිදුකළ බව සඳහන් කරමින්. එහෙත් එම පුද්ගලයා තවදුරටත් සාක්ෂිකරුවෙකු නොවේ. ඔහු දැන් එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබෙනවා. ඒ නිසා ඔහුට බලපෑම් කිරීමට දැන් හැකියාවක් නැහැ." ඒ නිසා සිය සේවාදායකයාට ඇප නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව දෙවන සැකකරු වෙනුවෙන් නීතිඥ හරිත් හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "2025 වසරේ නොවැම්බර් මස 11 වන දා කම්කරු නිලධාරීන් බව සඳහන් කරමින් පිරිසක් සිය සේවාදායකයාගේ සේවා ස්ථානයට පැමිණ ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළා. එම අවස්ථාවේදී මෙම සැකකරුට පෙනී ගොස් තිබෙනවා, තමන් පවසන දේ මෙම නිලධාරීන් විසින් සටහන් කර නොගන්නා බවට. ඒ අනුව තමයි, මගේ සේවාදායකයා ඔහුගේ සේවා ප්‍රධානියා වන සැකකාර හිටපු ඇමතිවරයාට දුරකතන ඇමතුම් ලබාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය තත්ත්වයක්. සේවකයකුට යම් ගැටලුවක් ඇති වූ විට සිය සේවායෝජකයාගෙන් ඒ පිළිබඳව විමසීම සාමාන්‍ය දෙයක්. ඒ අනුව තමයි ඔහු අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නේ," යනුවෙන් සඳහන් කළේ ය.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය.
"මෙම සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කළේ අවස්ථා දෙකකදී ඉදිරිපත් වූ කරුණු මත යි. පළමු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කළේ එම අවස්ථාවේදී මෙම නඩුකරයේ දෙවන සැකකරු සාක්ෂිකරු වශයෙන් සිටි පදනම මත යි. එහෙත් මේ වන විට එම සාක්ෂිකරු මෙම නඩුකරයේ දෙවන සැකකරු බවට පත්ව තිබෙනවා. එමනිසා එම පුද්ගලයාට බලපෑම් කිරීම යන කරුණ තවදුරටත් වලංගු වන්නේ නෑ."
ඒ අනුව මෙම සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන බැවින් ඔවුන් ඇප මත මුදා හැරීමට තීන්දු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.
ඉන්පසුව මෙම නඩුකරය යළි ඔක්තෝබර් මස 20 වන දා කැඳවීමට නියම කෙරිණි.