2027 වසරේ 1 ශ්‍රේණියට ළමුන් බඳවා ගැනීමේ චක්‍රලේඛයේ අඩංගු විශේෂ කරුණු 5ක්

ri Lanka, Colombo, portrait of 2 smiling schoolgirls

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2027 වසර සඳහා පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් බඳවා ගැනීමේ උපදෙස් අඩංගු චක්‍රලේඛය මේ වන විට නිකුත් වී තිබේ.

මෙය මීට පෙර 2025 වසරේ නිකුත් කර ඇති චක්‍රලේඛය අභිබවා 2027 වසරේ සහ ඉන්පසු වසරවල 1 ශ්‍රේණිය සඳහා සිදු කරනු ලබන බඳවා ගැනීම් සඳහා අදාළ වේ.

මීළඟ වර්ෂය සඳහා 1 ශ්‍රේණියට බඳවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබූ විට, මෙම චක්‍රලේඛයේ පළමු උපලේඛනයේ සඳහන් අයැදුම් පත්‍රය සම්පූර්ණ කර අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස අයැදුම් කරන පාසලේ විදුහල්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ය.

2026 ජූනි 25 වන දින නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දෙමාපියන් වශයෙන් ඔබ දැනගත යුතු විශේෂ කරුණු 5ක් පහත දැක්වේ.

01. වයස් සීමාව

පාසලට ඇතුළත් කර ගන්නා වර්ෂයේ ජනවාරි 31 වන දිනට දරුවාගේ වයස අවුරුදු 5ක් සම්පූර්ණ වී තිබිය යුතු ය.

මේ සඳහා වයස සනාථ කිරීමට උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

උප්පැන්න සහතිකයක් නොමැති නම් ඒ වෙනුවට උපන් දිනය සනාථ කිරීමට උප්පැන්න, විවාහ හා මරණ පිළිබඳ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා හෝ බලය පවරන ලද අදාළ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් නිකුත් කරනු ලබන අනුමාන වයස් සහතිකයක් ලබා දිය යුතු ය.

මෙහිදී වයස අවු. 5ට අඩු ළමුන් ඇතුළත් කර නොගැනීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බවට මෙම චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට තදින් අවවාද කර තිබේ.

එමෙන් ම පාසල් සඳහා ඇතුළත් කරන වර්ෂයේ ජනවාරි 31 දිනට වයස 6 ඊට වැඩි සිසුන් ඇතුළත් කිරීමට සිටින්නේ නම්, ඔවුන් ඇතුළත් කළ හැකි වන්නේ අවුරුදු 6ට අඩු සුදුසුකම් සපුරා ඇති සියලු ම සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසුව බව එහි සඳහන්ව තිබේ.

තව ද 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගන්නේ සිංහල සහ දෙමළ මාධ්‍ය සඳහා පමණි.

02. තෝරා ගන්නා ක්‍රමවේදය

යම් පාසලක 1 ශ්‍රේණිය සඳහා ළමුන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ගණ සහ ප්‍රතිශතයන් ද මෙම චක්‍රලේඛයේ දක්වා තිබේ.

ඒවා පහත පරිදි වේ.

  • පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ළමයින්: 50%
  • අදාළ පාසලේ ආදි සිසු/සිසුවියන් වන මව්පියන්ගේ ළමයින්: 25%
  • දැනටමත් අදාළ පාසලේ ඉගෙනුම ලබන සිසු/සිසුවියන්ගේ සහෝදර සහෝදරියන්: 14%
  • රජයේ පාසල් අධ්‍යාපනයට ඍජුව බලපාන ආයතනයක හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන්: 06%
  • රජයේ සේවා අවශ්‍යතා මත වාර්ෂික ස්ථාන මාරු ලැබූ චක්‍රලේඛයේ සඳහන් රජයේ සේවකයන්ගේ දරුවන්: 04
  • ළමයා සමග විදේශ රටක පදිංචිව සිටි පැමිණෙන තැනැත්තන්ගේ ළමයින්: 01%

මෙහිදී ළමුන් තෝරා ගැනීමේදී යම්කිසි ගණයකට අදාළව ඉහත ප්‍රතිශත සම්පූර්ණ නොවන්නේ නම් ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රතිශතාත්මක ව අනෙකුත් ගණ අතර බෙදා දිය යුතු බව එහි සඳහන් වේ.

සම්මුඛ පරීක්ෂණයේ ලකුණු දෙන ක්‍රමවේදයට අනුව ලකුණු 100ක් දක්වා මෙම ගණ සඳහා ලකුණු ලබා දීමේ හැකියාවක් පවතියි.

03. ලිපිනය තහවුරු කිරීම

නිවසේ සිට පාසලට ඇති දුර ගණනය කිරීම සිදු කරන්නේ අයැදුම්කරුගේ නිවසේ ඉදිරිපස දොරටුවේ සිට පාසලේ ප්‍රථමික අංශය පිහිටා ඇති භුමියේ ඇති කාර්යාලය දක්වා ඇති දුර ය.

එම කාර්යාලය කේන්ද්‍රය ලෙස එහි සිට නිවසට ඇති දුර අරය ලෙස ගෙන අඳිනු ලබන වෘත්තයක් තුළ පිහිටි පාසල් සඳහා ලකුණු අඩු කෙරේ.

කෙසේ වෙතත්, ඉහත වෘත්ත සීමාව තුළ, ගංගා, කලපු, වගුරුබිම්, රක්ෂිත වනාන්තර, අධිවේගී මාර්ග හෝ ස්වභාවික ආපදා තත්ත්වයක් හේතුවෙන් දීර්ඝ කාලීනව ප්‍රවේශය අහිමි වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් තහවුරු කරන අවස්ථාවක, නිවසේ සිට අයැදුම් කරන පාසලට ගමන් කළ හැකි කෙටි ම මාර්ග දුරට වඩා වැඩි නම් ලකුණු අඩු නොකළ යුතු බව සඳහන් ය.

පදිංචිය තහවුරු කිරීම සඳහා ලබා දිය යුතු ලේඛන කිහිපයක් පහත පරිදි වේ.

  • සින්නක්කර ඔප්පු
  • බිම්සවිය සහතිකය
  • තෑගි ඔප්පු
  • දීමනා පත්‍ර
  • රජයේ ප්‍රදාන

මීට අමතරව තවත් ලේඛන කිහිපයක් එහි දක්වා තිබේ.

04. පදිංචියට ලකුණු ලබා දෙන ආකාරය

අයැදුම්පත් ඉදිරිපත් කරන ලද වර්ෂයේ ජූනි මාසයේ 30 දිනට අදාළ තහවුරු කෙරෙන ලිපිනයේ පදිංචි වී සිටින වසර ගණන අනුව ද ලකුණු ලබා දීම සිදුවේ.

ඒවා පහත පරිදි වේ.

  • වසර 5 හෝ වැඩි: 100%
  • වසර 4 සිට 5 දක්වා: 80%
  • වසර 3 සිට 4 දක්වා: 60%
  • වසර 2 සිට 3 දක්වා: 40%
  • වසර 1 සිට 2 දක්වා: 20%
  • මාස 6 සිට වසර 1 දක්වා: 10%
  • මාස 6ට අඩු: 5%

05. වෙන් වී සිටින දෙමාපියන්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මව්පියන් මෙතෙක් නීතියෙන් වෙන් වී නැතත්, නීතියෙන් වෙන් වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ නම් ඒ බව ලිපි ලේඛනවලින් තහවුරු කළ යුතු ය.

එහිදී ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ඇති පුද්ගලයාගේ ලිපිනය ළමයාගේ ලිපිනය ලෙස සලකයි.

එමෙන් ම ස්ථිරව දරුකමට හදා ගැනීම සඳහා අධිකරණ තීන්දුවක් මගින් පත් කර ඇති අය දරුවාගේ මව පියා ලෙස පිළිගන්නා අතර එම ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

අදාළ උසාවි තීන්දුව, අයැදුම් කරන වර්ෂයේ ජූනි 30ට පෙර ලබාගෙන තිබිය යුතු ය.

ළමා නිවාසවල සිටින ළමුන්ගේ භාරකරු ලෙස ළමා නිවාසයේ භාරකරු පිළිගනු ලබයි.

මව සහ පියා දෙදෙනා ම මිය ගිය අවස්ථාවක පමණක් දරුවාට රැකවරණය සපයන පුද්ගලයාට එම දරුවාගේ භාරකරු ලෙස ළමයා වෙනුවෙන් ඉල්ලුම් පත්‍ර යොමු කළ හැකි ය. ළමයාගේ නීත්‍යනුකූල භාරකරු එම පුද්ගලයා නොවූවත් නීත්‍යනුකූල භාරකරු ලෙස සලකා කටයුතු කරන ලෙස මෙම චක්‍රලේඛයේ උපදෙස් දී තිබේ. එමෙන් ම, එහිදී දෙමව්පියන් මියගොස් ඇති බවට ලිපි ලේඛන හරහා තහවුරු කිරීම අත්‍යවශ්‍ය වේ.

දෙමව්පියන් දෙදෙනා ම විදේශගතව සිටින්නේ නම්, හෝ එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයා විදේශගතව සිටින අවස්ථාවක තාවකාලික භාරකරුට දෙමව්පියන් වෙනුවෙන් අයැදුම් කිරීමට හැකි ය.

ඇටර්නි බලපත්‍රයක් මගින් නීත්‍යනුකූලව භාරකාරීත්වය පවරා තිබේ නම් ඔවුන්ට සම්මුඛ පරීක්ෂණය සඳහා ද පෙනී සිටිය හැක.