ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි අරාබියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්රහාරයක්: ශ්රී ලංකාව ගත් තීරණය
- Author, ඩේවිඩ් ග්රිටන්, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
බදාදා සවස නැගෙනහිර සෞදි අරාබියේ දමාම්හි පිහිටි ගුවන් තොටුපළකට එල්ල වූ ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) පවසයි.
කිං ෆාඩ් ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ එම ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සෞදි ජාතිකයෙකු සහ ඉන්දීය වැසියෙකු වන අතර, තුවාල ලැබූවන් අතර සෞදි, ඉන්දීය, යේමන, බංග්ලාදේශ සහ නේපාල ජාතිකයෝ වෙති.
"එල්ල වුණේ කිනම් ආකාරයේ ප්රහාරයක් දැයි සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය (GACA) නිශ්චිතව ප්රකාශ කර නැතත්, යේමනයේ ඉරාන හිතවාදී හූති සන්නද්ධ කණ්ඩායම මීට පෙර ද අවස්ථා කිහිපයකදී ම ඩ්රෝන සහ මිසයිල ප්රහාර මගින් එරට ගුවන් තොටුපළවල් ඉලක්ක කර තිබේ.
මේ අතර, දමාම් නගරය පිහිටා ඇති නැගෙනහිර පළාතට ඉහළින් විනාශ කරන ලද ඩ්රෝන යානයක සුන්බුන් වැදීමෙන් බදාදා උදෑසන පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව සෞදි බලශක්ති අමාත්යාංශය ප්රකාශ කළේ ය.
සෞදි අරාබියේ රාජ්ය ඛනිජ තෙල් සමාගම වන ඇරැම්කෝ (Aramco) සමාගමට අයත් ෂයිබා ඉන්ධන නිධිය පිහිටි සැකසුම් මධ්යස්ථානයක් ඉලක්ක කිරීමට මෙම ඩ්රෝන යානය උත්සාහ කළ අවස්ථාවේදී එය වටලා විනාශ කළ බවත්, එහිදී කොන්ත්රාත්කරුවෙකුගේ වාහනයක් ගිනිබත් වූ බවත් අමාත්යාංශය පැවසීය.
මිය ගිය අය ෆිලිපීන සහ නේපාල වැසියන් බව හඳුනාගෙන ඇතැයි එහි සඳහන් විය.
යේමන රජයට සහය දක්වමින් හූති සාමාජිකයින්ට එරෙහිව සටන් වදින සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානයට අනුව, බදාදා රාත්රියේ තවත් ඩ්රෝන යානා හතරක් විනාශ කර තිබේ.
මෙම ප්රහාරයන් සම්බන්ධයෙන් හූති සංවිධානයෙන් ක්ෂණිකව කිසිදු ප්රකාශයක් නිකුත් නොවූව ද, බටහිර යේමනයේ ඔවුන්ගේ පාලනය යටතේ පවතින ප්රදේශවලට සෞදි අරාබිය එල්ල කරන මාරාන්තික ගුවන් ප්රහාරවලට පළිගැනීමක් ලෙස සෞදි ගුවන් තොටුපළවල්, බලශක්ති මධ්යස්ථාන සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්රහාර එල්ල කරන බව ඔවුන් මීට පෙර ප්රකාශ කර තිබිණි.
සෞදි බලධාරීන්ට අනුව, ඔක්තෝබර් මාසය ආරම්භයේ සිට සෞදි ගුවන් තොටුපළවල් ඉලක්ක කර හූති සාමාජිකයින් එල්ල කළ ප්රහාරවලින් පුද්ගලයන් 21 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් මියගොස් තිබේ.
ඔක්තෝබර් 10 වන දා රියාද් ජාත්යන්තර ගුවන් තොටුපළට එල්ල වූ එක් මිසයිල ප්රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 308 දෙනෙකු තුවාල ලැබූ අතර, එය දශකයකට වැඩි කාලයක් තුළ සෞදි අරාබියේ සිදුවූ දරුණුතම ප්රහාරය යි.
රජයට හිතවාදී හමුදාවල ප්රයෝජනය සඳහා සෞදි අරාබිය විසින් ප්රවාහනය කරන ලදැයි පැවසෙන, දකුණු යේමනයේ අල්-මුකල්ලා නගරයේ ගුවන් තොටුපළක තිබූ හමුදා උපකරණ තමන් ඉලක්ක කළ බව හූති ප්රකාශකයා බදාදා පැවසීය.
මේ අතර, ගතවූ පැය 24 තුළ එල්ල වූ ගුවන් සහ කාලතුවක්කු ප්රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව හූති යටතේ පවතින මාධ්ය වාර්තා කළේ ය.
හූති පාලනය යටතේ පවතින සෞඛ්ය අමාත්යාංශයට අනුව, මාස තුනකට පෙර යේමනයේ විනාශකාරී සිවිල් යුද්ධය නැවත ඇවිළී ගිය දා සිට සිවිල් වැසියන් 155 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම කාලසීමාව තුළදී ම මෙම ගැටුමෙන් අවම වශයෙන් පුද්ගලයන් 1,574 දෙනෙකු මියගොස් ඇති බව රජයේ සෞඛ්ය අමාත්යාංශය පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, පුද්ගලයන් 256,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.
හූති විසින් ජාත්යන්තරව පිළිගත් රජය සනා අගනුවරින් පලවා හැරීමත් සමඟ 2014 වසරේදී මෙම යුද්ධය ආරම්භ විය. රජයේ පාලනය නැවත පිහිටුවීමේ උත්සාහයක නිරත වෙමින්, සෞදි අරාබිය ප්රමුඛ අරාබි රාජ්යයන්ගේ සන්ධානය මැදිහත් වීමෙන් පසු ඊළඟ වසරේදී ගැටුම තවදුරටත් උග්ර විය.
හූති සන්නද්ධ කණ්ඩායම සෞදි අරාබියට එරෙහිව "සාගර තහනමක්" ප්රකාශයට පත් කර, රතු මුහුදේ ඇති සෞදි ගුවන් තොටුපළවල්, ඉන්ධන මධ්යස්ථාන සහ තෙල් නැව් වෙත මිසයිල සහ ඩ්රෝන ප්රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග, වසර හතරක් පුරා පැවති අවිධිමත් සටන් විරාමය ජූලි මාසයේදී බිඳ වැටීමට පටන් ගත්තේ ය.
හූති කණ්ඩායම ප්රකාශ කළේ, තම ප්රදේශයට පනවා ඇති සෞදි අවහිරතාවන්ට සහ සනා ගුවන් තොටුපළට එල්ල වූ සෞදි ගුවන් ප්රහාරයට පළිගැනීමක් වශයෙන් මෙම ප්රහාර එල්ල කරන බව ය.
ගෝලීය නැව් ගමනාගමනයේ වැදගත් සන්ධිස්ථානයක් වන බාබ් අල්-මන්දාබ් සමුද්ර සන්ධිය අසල පිහිටි යේමනයේ නිරිතදිග රතු මුහුදු වෙරළ තීරයේ කොටසක් හූති විසින් අල්ලා ගැනීමෙන් පසු, සැප්තැම්බර් මාසයේදී ගැටුම තවදුරටත් තීව්ර විය. ඇමෙරිකාව, ඊශ්රායලය සහ ඉරානය අතර මාස හයක් තිස්සේ පැවති යුද්ධයෙන් පසුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට ඔවුන්ගේ මෙම ක්රියාකාරකම් ද හේතු විය.
මෙම මාසය මුලදී, රජයට හිතවාදී හමුදා කියා සිටියේ සෞදි ගුවන් සහය ඇතිව එල්ල කළ ප්රතිප්රහාරයකින් පසු, බාබ් අල්-මන්දාබ් සමුද්ර සන්ධිය පෙනෙන සීමාවේ පාලනය තමන් සතු කර ගත් බව ය.
කෙසේ වෙතත්, එම ප්රදේශයේ මෙන්ම රජයේ පාලනය යටතේ පවතින වටලනු ලැබූ තායිස් නගරය අවටත්, උතුරින් පිහිටි මාරිබ්, අල්-ජව්ෆ්, ධාලේ සහ ෂබ්වා යන පළාත්වලත් තවමත් දරුණු සටන් පවතී.
ශ්රී ලංකාව ගත් තීරණය
කලාපය තුළ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්, කොළඹ සහ දමාම් අතර මෙන් ම කොළඹ සහ රියාද් අතර සියලු ම ගුවන් ගමන් අත්හිටුවීම 2026 නොවැම්බර් 1 වන දා දක්වා (එම දිනය ද ඇතුළුව) බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර ඇති බව ශ්රීලංකන් ගුවන් සමාගම අද (ඔක්: 22) නිවේදනය කළේ ය.
"අපගේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අපගේ ඉහළම ප්රමුඛතාව යි. වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා තත්ත්වය සුදුසු බව තක්සේරු කළ වහා ම ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කරනු ඇත."