ට්‍රම්ප් පවුල: ඇමෙරිකානු දේශපාලන පෙළපතක් ගැන කෙරෙන සොයා බැලීමක්

Prominent Republicans and Trump family members stand around Donald Trump
    • Author, ඇනා ෆෙගී
    • Role, බීබීසී පුවත්, වොෂින්ටන්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

දේශපාලනයට පිවිසීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් මිලියන ගණනක උරුමයක්, වෙළෙඳ නාමයක් සහ මිල අධික දේපළ වෙළෙඳාම් රාශියක් ඇති පෙළපතක් ගොඩනගා ගත්තේ ය.

දැන් එම සන්නාමය - සහ එම නම - රිපබ්ලිකන් පක්ෂයට සමාන වී ඇත්තේ ට්‍රම්ප් පවුලේ විවිධ සාමාජිකයින් විසින් ඒ වෙත සිදු කරනු ලබන බලපෑම් ද සමග ය.

මේ, ඔහුගේ පවුලේ වඩාත් කැපී පෙනෙන සාමාජිකයන් කිහිප දෙනෙකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්

Donald Trump Jr

ට්‍රම්ප්ගේ දරුවන්ගෙන් වැඩිමලා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්, ඔහුගේ පියා ධවල මන්දිරයෙන් පිටව ගිය පසු උදා වූ වසර කිහිපය තුළ විශාල කාර්යභාරයක් ඉටු කිරීමට භාරගෙන ඇත.

ඔහු පවසන පරිදි ඔහුගේ මිතුරෙකු වන ට්‍රම්ප්ගේ සහකරු ජේ.ඩී. වෑන්ස් තෝරා ගැනීමේ කාර්යයේදී ඔහු මාධ්‍ය තුළ කැපී පෙනුණු චරිතයක් විය. "ඒක අද්වීතීය තෝරා ගැනීමක්," ඔහු රිපබ්ලිකන් ජාතික සමුළුවේදී පැවසීය. "ඇත්ත වශයෙන් ම විශිෂ්ට තේරීමක්."

ඔහායෝ සෙනෙට් සභික ජේ.ඩී. වෑන්ස් ඔහුගේ පළමු තේරීම බව ත් ඔහු තම අරමුණ ඉටු කරගත් බව ත් නොරහසක් විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මීට පෙර විවාහ වී සිටියේ වැනේසා ට්‍රම්ප් සමග වන අතර ඔවුන්ට දාව දරුවන් පස් දෙනෙක් සිටිති. ඔහු දැන් කිම්බර්ලි ගිල්ෆොයිල් සමග විවාහ ගිවිසගෙන සිටී.

එරික් ට්‍රම්ප්

Eric Trump

ඔහුගේ සොහොයුරා පරිදි ට්‍රම්ප්ගේ දරුවන්ගෙන් තුන්වැන්නා වන එරික් ට්‍රම්ප් ද ඔහුට වැදගත් කරුණු සම්බන්ධයෙන් තම පියාට බලපෑම් කර ඇති බව වාර්තා වේ.

ඔහු තම වැඩිමහල් සොහොයුරාට වඩා අඩු වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින නමුත් ට්‍රම්ප් පවුලේ ව්‍යාපාර තුළ ප්‍රමුඛ ස්ථානයක් ගනී.

ඉවන්කා ට්‍රම්ප් සහ ජැරඩ් කෂ්නර්

Ivanka Trump and Jared Kushner

ඉවන්කා ට්‍රම්ප් සහ ජැරඩ් කෂ්නර්, ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය තුළ ඔහුගේ පවුලේ වැඩි ම බලයක් තිබුණු සාමාජිකයන් වූහ.

ඔවුන් 2009 වසරේදී විවාහ වූ අතර ඔවුන්ට දාව දරුවන් තිදෙනෙකු සිටිති.

ට්‍රම්ප්ගේ නිල කාලය තුළ ඉවන්කා ඇගේ පියා සහ ඔහුගේ පරිපාලනය වෙනුවෙන් බොහෝ අවස්ථාවලදී පෙනී සිටියා ය.

කෂ්නර් 2017 සිට 2021 දක්වා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක භූමිකාවක් දැරීය.

ටිෆනි ට්‍රම්ප්

Tiffany Trump

ටිෆනි ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයාගේ සිව්වන දරුවා සහ ට්‍රම්ප්ගේ දෙවන බිරිඳ වන මාර්ලා මේපල්ස්ට දාව උපන් එක ම දරුවා ය.

ඇය තම පියාගේ මැතිවරණ ව්‍යාපාරවල හෝ ධවල මන්දිරයේ ගත කළ කාලය තුළ කිසිදු දේශපාලන භූමිකාවක් දරා නැත.

ඇය 2022දී මයිකල් බූලෝස් සමග විවාහ විය.

Trump family tree

කිම්බර්ලි ගිල්ෆොයිල්

Kimberly Guilfoyle

කිම්බර්ලි ගිල්ෆොයිල් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් වසර හයක් පුරා එකට සිටින අතර ඔවුන් විවාහ ගිවිස ගත්තේ 2020 වසරේදී ය.

ට්‍රම්ප්ට හිතවත් සුපිරි දේශපාලන ක්‍රියාකාරී කමිටුවක සාමාජිකයෙකු (PAC) වීමට පෙර ඇය 2006 සිට 2018 දක්වා Fox Newsහි නිවේදිකාවක ලෙස කටයුතු කළා ය.

ඇගේ සහකරු මෙන් ම ඇය ද ප්‍රසිද්ධියේ ට්‍රම්ප් වෙත, විශේෂයෙන් ම රූපවාහිනිය ඔස්සේ සහය පළ කර ඇත.

ඇය 2000 දශකයේ මුල් භාගයේදී කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සමග විවාහ වී සිටියා ය.

ලාරා ට්‍රම්ප්

Lara Trump

එරික් සමග විවාහ වී සිටින ඇය, විශේෂයෙන් ම මෙම වසර මුලදී රිපබ්ලිකන් ජාතික කමිටුවේ සම-සභාපතිනිය ලෙස සේවය කිරීමට පටන් ගත් දා සිට, පවුලේ නැගී එන තාරකාව බවට පත්ව තිබේ. ඇය සහ එරික්ට දාව දරුවන් දෙදෙනෙක් සිටිති.

ජූලි මාසයේදී ඇය සමුළුවේදී කතාවක් පැවැත්වූ අතර ඇගේ මාමණ්ඩිය ගැන ළයාන්විත ලෙස අදහස් දැක්වූවා ය.

"අපේ පවුලට සැලකිය යුතු වාර ගණනක් මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා... ඒ කිසිදෙයක් තමන් ආදරේ කරන කෙනෙක් මරා දානවා හැබැහින් දකින්න ලේලියක්ව සූදානම් කරලා නැහැ," ඇය පැවසීය.

මෙලානියා ට්‍රම්ප්

Melania Trump

හිටපු ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් 2005දී ට්‍රම්ප් සමග විවාහ වූවා ය.

ට්‍රම්ප්ගේ නිල කාලය තුළ ඇය එතරම් ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර එලෙසෙ පෙනී සිටියේ කලාතුරකිනි.

ජූලි මාසයේදී, එනම් තම ස්වාමිපුරුෂයා ඝාතනය කිරීමට ගැනුණු උත්සාහයෙන් පසු, ඇය සමුළුවේදී අනපේක්ෂිත ලෙස පෙනී සිටියා ය.

ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද ඇගේ ජීවන ගමන පිළිබඳ කෘතියේ ඇය ගබ්සාව පිළිබඳ හිතකර අදහස් සඳහන් කර තිබුණා ය. ගබ්සාව සඳහා ව්‍යවස්ථාපිත අයිතිය ඉහළ නැංවූ රෝ එදිරිව වේඩ් තීන්දුව පෙරලා දැමීමට උදව් කිරීම සම්බන්ධයෙන් ගෞරවය ලබා ගත් ඇගේ ස්වාමිපුරුෂයාගේ ස්ථාවරයට වඩා ඇගේ ස්ථාවරය වෙනස් ය.

18 හැවිරිදි බැරන් ට්‍රම්ප් යනු ඔහුට සහ ට්‍රම්ප්ට දාව උපන් එක ම දරුවා ය.

බැරන් ට්‍රම්ප්

Barron Trump and his father

බැරන් ට්‍රම්ප් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී එතරම් ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

මැයි මාසයේදී, ජූලි මස සමුළුවට සහභාගී වන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නියෝජිතයන් අතර ඔහු සිටින බව වාර්තා වූ නමුත් ඊට දිනකට පසුව ඔහුගේ මව ප්‍රකාශ කළේ, ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ය.

ඔහු මැයි මාසයේදී ෆ්ලොරිඩාවේ පාම් බීච්හි ඔක්ස්බ්‍රිජ් ඇකඩමියෙන් උපාධිය ලබා ගත් අතර ඔහුගේ පියා පවසන්නේ, ඔහු දැන් නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ස්ටර්න් ව්‍යාපාර පාසලේ ඉගෙනුම ලබන බව ය.

කායි ට්‍රම්ප්

Kai Trump

කායි ට්‍රම්ප්, ට්‍රම්ප්ගේ මුනුපුරු මිනිපිරියන් අතරින් වැඩිමලා වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ ඔහුගේ හිටපු බිරිඳ වැනේසා ට්‍රම්ප්ගේ දියණිය යි.

17 හැවිරිදි ඇය ගොල්ෆ් ක්‍රීඩිකාවක වන අතර ට්‍රම්ප් මුත්තනුවෙකු ලෙස කෙබඳු ද යන්න පිළිබඳව සමුළුවේදී අදහස් පළ කළා ය.

"මට එයා, හරි ම සාමාන්‍ය සීයා කෙනෙක්. එයා අපිට අම්මා තාත්තා අහක බලන් ඉද්දි රස කැවිලි සහ සෝඩා දෙනවා," ඇය පැවසුවා ය.