ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
Best of the Best: Netflix නිළි මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් සහ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය විවාද
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 12
Netflixහි 'Best of the Best' චිත්‍රපටයේ මායාගේ චරිතය නිරූපණය කරන මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක්ව ඇත්තේ ඇයගේ රංගනය නිසා පමණක් නොවේ.
ඇය මෑතකදී තම අනන්‍යතාව සහ සංස්කෘතික නියෝජනය සම්බන්ධයෙන් පොඩ්කාස්ට් වැඩසටහනකදී සහ තවත් අවස්ථා කිහිපයකදී සිදු කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල ඇය පිළිබඳව උණුසුම් විවාදයක් නිර්මාණය වී තිබේ.
නර්තනයේ යෙදෙන දකුණු ආසියානු සම්භවයක් ඇති විශ්වවිද්‍යාල තරුණ තරුණියන් පිරිසක් වටා ගෙතුණු Best of the Best චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් නිරූපණය කරන ඇය, 'Never Have I Ever' කතාමාලාව හරහා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධියට පත්වූ කැනේඩියානු රංගන ශිල්පිනියකි.
'Best of the Best' චිත්‍රපටය දකුණු ආසියානුවන් සියලු දෙනා එක ම ආකාරයෙන් නිරූපණය කරන සාම්ප්‍රදායික අදහසට අභියෝග කරයි. චිත්‍රපටයේ රංගන ශිල්පීන් දකුණු ආසියාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන අතර, එහි එන චරිත ද විවිධ පෞරුෂයන්ගෙන් සමන්විත වන බව චිත්‍රපටය නැරඹීමේදී නිරීක්ෂණය වෙයි.
මෛත්‍රෙයි ගැන කතාබහට ලක්වන්නේ ඇයි?
ශ්‍රී ලංකාව තුළ මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් ගැන කතාබහට ලක් වීමට ප්‍රධානතම හේතුව වූයේ, 'Best of the Best' චිත්‍රපටය Netflixහි ප්‍රදර්ශනය කිරීමට ආරම්භ කිරීමට දින දෙකකට පෙර හසන් මින්හාජ්ගේ YouTube නාලිකාවේ ඇය සහ චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන රංගන ශිල්පිනිය වන ප්‍රියංකා කේඩියා සමග සිදු කරන පොඩ්කාස්ට් වැඩසටහන පළ වීමෙන් අනතුරුවයි.
හසන් මින්හාජ් රංගන ශිල්පියෙකු මෙන් ම නිෂ්පාදකයෙකු වන අතර ඔහු මෙම චිත්‍රපටයට තිර රචනයෙන් සහ රංගනයෙන් දායක වී තිබේ.
පැයයි මිනිත්තු 7ක පමණ කාලයක් පුරා දිවෙන මෙම වැඩසටහනේ පළමු කොටස වෙන් වී ඇත්තේ මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් සමග සිදු කරන සම්මුඛ සාකච්ඡාවටයි.
එහි එක් අවස්ථාවක හසන් මෛත්‍රෙයිගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසයි. (එම සංවාදයේ දළ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.)
හසන්: හරි, මම මෙහෙම කියන්නම්. ඔයාට පිටපතේ මුල් පිටපතක් බලන්න ලැබුණා, ඊට පස්සේ ඒකට කරපු වෙනස්කම් බලන්නත් ලැබුණා. නමුත් ඔබ ඔබේ දෙමළ ශ්‍රී ලාංකික උරුමයෙන් බොහෝ දේ පිටපතට ගෙනාවා. අපි ඔයාගේ විශිෂ්ට සටහන් අරගෙන, මායාගේ චරිතය චිත්‍රපටයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් කළා. ඒ වගේ ම ඔයාගේ දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් චිත්‍රපටයේ විශාල කොටසක් වුණා. මම හිතන්නේ ඒක ඇත්තට ම හරි ම ලස්සන, වටිනා දෙයක්.
විශ්වවිද්‍යාල මට්ටමේ බොලිවුඩ් නැටුම් ලෝකය කියන්නේ අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ පවතින දෙයක්. ඩයස්පෝරා තරුණ පරම්පරාවේ අපි හැමෝම විවිධ ප්‍රදේශවලින් ආවත්, අපිට පුළුවන් වුණා විවිධ බෙදීම්, ප්‍රාන්ත සීමා, භාෂා සහ සංස්කෘතීන් අතර වෙනස්කම් අමතක කරලා එකතු වෙන්න. ඔයා ඒ හැමදේම එකට එකතු කළා. මයාගේ චරිතය නියම ශ්‍රී ලාංකිකයෙක් විය යුතුයි කියලා ඔයා දැඩිව කියා සිටියා. ඉතින් මමයි PVයි නැවතත් පිටපත බලලා, ඔයාගේ අදහස් සහ සටහන් ඒ හැම තැනකට ම එකතු කළා. ඒක ටිකක් බය හිතෙන වැඩක් වුණා—අපෙන් මොනවා හරි වරදක් වුණොත් මොකද වෙන්නේ කියලා—ඒත් ඔයා වෙනුවෙන් ඒක කිරීම අපිට ගොඩක් වැදගත් වුණා. මේ චිත්‍රපටය වෙනුවෙන් ඒක කිරීම ඔයාට ඒ තරම් ම වැදගත් වුණේ ඇයි?
මෛත්‍රෙයි: අපි පිවිසෙන මේ ලෝකයේ ස්වභාවය නිසා, ඒ කියන්නේ මෙහි විවිධ දකුණු ආසියානු සංස්කෘතීන්, පසුබිම්, භාෂා සහ සියුම් වෙනස්කම් රාශියක් තියෙන නිසා, මට මගේ ආත්මයට ම තදින් ම දැනුණා... මොකද මම දන්නවා මුලදී මට හිතුණේ, 'හරි, මම මගේ අදහස් ටිකක් හිමින් සැරේ එකතු කරන්නම්' වගේ දෙයක්.
ඒත් පිටපත ගැන කතා කරපු සාකච්ඡා ගණනාව අවසානයේ සහ රූගත කිරීම් අතරතුර, අපිට කෙලින් ම 'යාළුවනේ, මෙන්න මගේ අදහස,' කියලා කියන්න තරම් එකිනෙකා අතර ලොකු විශ්වාසයක් ගොඩනැගුණා. මගේ වෘත්තීය ජීවිතයේදී ඒක මම කවදාවත් සාමාන්‍ය දෙයක් විදියට ගන්නේ නැහැ. මොකද, නිෂ්පාදකයා, තිර රචකයා සහ අධ්‍යක්ෂවරයා සමග මෙතරම් විනිවිදභාවයකින් අදහස් බෙදාගන්න හැකි පරිසරයක් හැම චිත්‍රපට කණ්ඩායමකදී ම ලැබෙන්නේ නැහැ. ලීනාටත් විශේෂ ස්තුතිය!
ඊළාම් දෙමළ කාන්තාවක් විදිහට මම කවුද කියන එකට මම ගොඩක් ආදරෙයි. මගේ පවුලට සහ සංස්කෘතික ඉතිහාසයට මම ආදරෙයි. මගේ වෘත්තීය ගමන අතරතුර මගේ අනන්‍යතාවට තව තවත් ආදරය කරන්න මම ඉගෙන ගත්තා, මොකද ඒක තමයි මාව නිර්මාණය කරන්නේ. මම සම්පූර්ණයෙන් ම දෙමළ. ඒ කියන්නේ මම පොතේ පතේ තියෙන හැමදේම අකුරට ම කරනවා කියන එකවත්, දෙමළ භාෂාව චතුර ලෙස කතා කරන්න පුළුවන් කියන එකවත් නෙවෙයි—ඒක මම සඟවන්නේ නැහැ, මම තවමත් ඒක ඉගෙන ගන්න උත්සහ කරනවා—ඒත් ඒකෙන් මගේ දෙමළකම අඩුවෙන්නේ නැහැ. මම තවමත් 100%ක් ම දෙමළ.
ලෝකයේ ගොඩක් අයට ඒක තේරෙනවා කියලා මම දන්නවා, එයාලා දෙමළ වුණත් නැතත්—තමන් කවුද, තමන්ගේ දෙමාපියන් කවුද, තමන් හැදුණ වැඩුණේ කොහොම ද කියන එක ගැන සංස්කෘතික ආඩම්බරයක් තියෙන ඕනෑ ම කෙනෙකුට ඒක දැනෙනවා. මොකද අවම වශයෙන් මට නම්, ඒක මම කවුද කියන එක ගොඩනගන්න ලොකු බලපෑමක් කළා.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇය තමන් ඊළාම් දෙමළ කාන්තාවක ලෙස හැඳින්වීම සමාජ මාධ්‍යවල තුළ ඇයට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වීමට මුල පිරීය.
වෙනත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙලෙස සඳහන් කර තිබිණි:
(දළ සිංහල පරිවර්තනය)
"...මම දෙමළ ජාතිකයෙක්" කියන එකෙන් "ඔබ ඉන්දියාවේ මොන ප්‍රදේශයේ ද?" කියන ප්‍රශ්නය තාක්ෂණිකව ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ; මොකද කෙනෙක් ඉන්දියානු දෙමළ ජාතිකයෙක් වෙන්න පුළුවන් නිසා.
"'හරි, අපි කියමු මම දෙමළ ශ්‍රී ලාංකිකයෙක්' කියලා, ඒත් මට හිතෙන්නේ ඒකෙන් මගේ අනන්‍යතාවය ඇත්තට ම පිළිඹිබු වෙන්නේ නැහැ කියලා.
"ඒ නිසා මගේ අනන්‍යතාව මම නිරූපණය කරන්න කැමති ආකාරය ගැන ඔබ ඉතා ගෞරවයෙන් සවන් දීලා, ඒ ගැන මට හැඟෙන ආකාරයත් තේරුම් ගත්තා. ඒ කියන්නේ, 'මම දෙමළ ජාතිකයෙක්, මගේ පවුල ශ්‍රී ලංකාවෙන්' කියන එක.
"ඔබ දන්නවා වගේ, මම හැමවිට ම කියන්නේ මම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් කියලා. ඒත් මම ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු දෙමළ ජාතිකයෙක්.
"මගේ සංස්කෘතිය දෙමළ. මගේ රට කැනඩාව. ඒත් මගේ මුල් තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මගේ දෙමාපියන් හැදී වැඩුණේ එහෙයි. ඒ ඔවුන්ට පලා එන්න සිද්ධ වුණ තැන.
"ඒ ගැන කතා කරන එක ගැන මට කවදාවත් ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඔව්, අපට ජන සංහාරය ගැන කතා කරන්න පුළුවන්..."
තවත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය සඳහන් කර තිබුණේ:
(දළ සිංහල පරිවර්තනය)
"හරි, මම ශ්‍රී ලාංකික දෙමළ කෙනෙක්. නමුත් දෙමළ ඊළාම් තරුණියක් ලෙස මගේ අනන්‍යතාව ගැන මට ඇත්තෙන් ම හැඟෙන්නේ ඒ විදියට නෙවෙයි.
"'මම දෙමළ. මගේ පවුල ශ්‍රී ලංකාවෙන් පැමිණි අය,' කියලා හරියට ම සහ නිවැරදිව කියන්න පුළුවන් වීම වැදගත්.
"මගේ පවුල වගේ ම පසුබිමක් ඇති, ලෝකය පුරා විසිරී සිටින දෙමළ ඊළාම් ඩයස්පෝරාවේ අයට, 'ශ්‍රී ලාංකික දෙමළ' කියන එකත්, 'මම දෙමළ, මගේ පවුල ශ්‍රී ලංකාවෙන් පැමිණි අයයි' කියන එකත් අතර තියෙන වෙනස හොඳින් ම තේරෙනවා.
"ඒ නිසා ඒක ඇත්තට ම 'මේ තමයි මම' කියලා මගේ අනන්‍යතාව ප්‍රකාශ කරන විදිහක් වුණා. ඒ වගේ ම, දකුණු ආසියාතිකයන් හැමෝම ඉන්දියානුවන් නොවන බව පෙන්වන්නත් හොඳ ක්‍රමයක්. මොනතරම් රසවත් අදහසක් ද!," යනුවෙනි.
ලැබුණු ප්‍රතිචාරය
මෛත්‍රෙයිගේ මෙම ප්‍රකාශ වේගයෙන් ඔන්ලයින් අවකාශය පුරා පැතිර ගියේ සමාජ මාධ්‍ය තුළ ඇතැම් ශ්‍රී ලාංකික පරිශීලකයින් ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව ජාතිවාදී, ස්ත්‍රී විරෝධී මෙන් ම වෛරීසහගත පෝස්ට් සහ කමෙන්ට්ස් පළ කරමින් ඇය විවේචනය කිරීම අරඹමිනි.
ෆේස්බුක් පිටු ද ඒවා අතර විය.
ඇතැම් ඒවා සැලසුම්සහගතව ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය විය. ෆේස්බුක් මෙන් ම ඉන්ස්ටග්‍රෑම් තුළ ද ඇයගේ ඡායාරූප, වීඩියෝ සහ චිත්‍රපටයේ ප්‍රචාරක පට පවා මෙම පරිශීලකයින්ගේ ඉලක්කය වී තිබුණු බවට නිරීක්ෂණය විය.
ඉන් නොනැවතී 'Best of the Best' චිත්‍රපටය සඳහා IMDB තුළ පහළ මට්ටමේ ශ්‍රේණිගත කිරීම් ලබා දීමට ද සැලසුම්සහගත ලෙස ඇතැම් පුද්ගලයින් සෙසු පරිශීලකයින් මෙහෙයවන ආකාරය දක්නට ලැබිණි.
එම චිත්‍රපටයට IMDb වෙබ්අඩවියේ සැප්තැම්බර් 25 වන දා තිබූ ශ්‍රේණිගත කිරීම 4.7/10 ලෙස දැක්විණි. එහි ශ්‍රේණිගත කිරීම් ලබා දී තිබුණු 22,000කට ආසන්න පිරිස අතරින් 12,000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවෙන් ඇගයීම් ලබා දී තිබිණි. IMDb දත්තවලට අනුව, ශ්‍රී ලංකාවෙන් ලැබුණු එම ඇගයීම් අතරින් 9,200කට ආසන්න සංඛ්‍යාවක් එක් තරුවක (1/10) ඇගයීම් වේ. එය චිත්‍රපටයකට ලබා දිය හැකි පහළ ම මට්ටමේ ඇගයීමයි.
කෙසේ වෙතත්, එම වෙබ්අඩවිය මෙම චිත්‍රපටයට අදාළ ශ්‍රේණිගත කිරීම් පිටුවේ, "අසාමාන්‍ය ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වන බව" සඳහන් ඇති බව බීබීසීය කළ සොයා බැලීමකදී තහවුරු විය.
"අපගේ ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය මගින් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් අසාමාන්‍ය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇත," එහි දැක්වේ.
නමුත් Rotten Tomatoes වෙබ් අඩවියේ එය විචාරකයන්ගෙන් 84%ක සහ ප්‍රේක්ෂකයන්ගෙන් 59%ක අගයක් ලබාගෙන තිබිණි.
මෛත්‍රෙයිගේ ප්‍රකාශය සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ලැබුණු තවත් ප්‍රතිචාර අතර ඇගේ සහ එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව යොදාගෙන නිර්මාණය කරන ලද ඡායාරූප ද දක්නට ලැබිණි.
තවත් තැනක පරිශීලකයෙකු මෙලෙස අදහස් දක්වා තිබෙන අයුරු නිරීක්ෂණය විය: "Eelam girly X... Dream girly..." එමෙන් ම තවත් පරිශීලකයෙකු චිත්‍රපටයේ නමට "Flag without country", යනුවෙන් ආරෝපණය කර අදහස් දක්වා තිබිණි.
ඇතැම් පරිශීලකයින් ඇය "ත්‍රස්තවාදියෙකු" ලෙස හුවා දක්වා තිබුණු අතර වෛරීසහගත ලෙස අසභ්‍ය වචන භාවිත කර ඇය හඳුන්වා ඇති බව ද දක්නට ලැබිණි.
තවත් තැනක ඇය "කොටියෙකු" ලෙස හුවා දක්වා තිබිණි.
මෙලෙස ඇයගේ ප්‍රකාශය විවේචනය කර තිබුණේ, පරිශීලකයින් පමණක් නොවෙයි. ඇතැම් සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් ද මේ පිළිබඳව විවේචනාත්මක අදහස් දක්වා තිබිණි.
තවත් පරිශීලකයින් පිරිසක් මීට වෙනස් ප්‍රතිචාර දක්වා තිබිණි.
භාතිය කාංචන නමැති අයෙකු ඇය සමග ගත් ඡායාරූපයක් ද පළ කරමින් ෆේස්බුක්හි ලියා තිබුණේ;
"මේ ඉන්නේ මෛත්‍රී රමක්‍රිෂ්ණන්. ඇය මම මීට පෙර සේවය කළ ඇඳුම් වෙළෙඳසැලට වරක් පැමිණියා. ඒ කාලයේ මම 'Never Have I Ever' ටීවී මාලාවටත්, ඇය රඟපෑ 'දේවි' චරිතයටත් ගොඩක් ආදරය කළ කෙනෙක්.
"ඇය සමග වචන කිහිපයක් කතා කරන්න ලැබුණු ඒ අවස්ථාවේ මම ඇගෙන්, 'මට ඔබත් එක්ක ෆොටෝ එකක් ගන්න පුළුවන් ද?' කියලා ඇහුවා. ඇය සිනාසෙමින් "Sure" කියලා කිව්වා. ඒ මොහොතේ තමයි මේ ඡායාරූපය ගත්තේ," ඔහු සඳහන් කර තිබේ.
"මම බෞද්ධ මවකගෙන් සහ පියෙකුගෙන්, බදුල්ල නගරයේදී උපන් කෙනෙක්. ඒත් මගේ ජීවිතයේදී මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි සහ ලෝකයේ විවිධ රටවල විවිධ සංස්කෘතීන්වල මිනිසුන් සමග මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමට මට අවස්ථාව ලැබුණා.
"අවසානයේ අපි හැමෝම එකම කාණ්ඩයකට අයත් මිනිසුන්.
"අපිට විවිධ ආගම්, භාෂා, සංස්කෘතීන් සහ අපි කතා නොකරන අඳුරු අතීතයන් තිබෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ අපිට එකිනෙකාට කරුණාව, ගෞරවය සහ ආදරය බෙදාගන්න පුළුවන්.
"බුදු දහමෙන් මම ඉගෙනගත් ලස්සන ම පාඩම්වලින් එකක් තමයි වෛරයට වඩා ආදරයත්, බෙදීමට වඩා කරුණාවත් තෝරා ගැනීම," ඔහු සඳහන් කර තිබිණි.
එක් ෆේස්බුක් පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ, "දකුණෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකු විදිහට, ඔබ තාරකාවක් බවට පත්වීමට ආසන්න වී තිබීම ගැන මම කොතරම් සතුටු වෙනවා ද කියා ඔබට කියන්න කැමතියි," යනුවෙනි.
එමෙන් ම තවත් අයෙකු, "ඇයගේ අනන්‍යතාව සම්බන්ධයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් අසතුටට පත්ව සිටින්නේ ඇයි?" යනුවෙන් ප්‍රශ්න කර තිබිණි.
'මම අයිති කොහෙට ද?'
එවැනි පසුබිමක චිත්‍රපට අධ්‍යක්ෂ අසෝක හඳගම මෙම චිත්‍රපටය සහ මෛත්‍රෙයිගේ ප්‍රකාශය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබිණි.
ඔහු පෙන්වා දෙන්නේ, මෙය යුද්ධය හෝ වෙනත් හේතු නිසා ලොව පුරා විවිධ රටවලට සංක්‍රමණය වූ පවුල්වල දරුවන් බොහෝ දෙනෙකුට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නයක් බවයි.
"'මම අයිති කොහෙට ද?' 'මම දැන් ජීවත් වන රටට ද, නැත්නම් මගේ දෙමාපියන් පැමිණි රටට ද?' යන ප්‍රශ්න ඔවුන් ඉදිරියේ මතු විය හැකිය.
"ඇතැම් අය තම නිල ජාතිකත්වය පිළිගෙන ඒ ගැන වැඩි සිතුවිල්ලක් නොමැතිව ජීවිතය ගත කරති. නමුත් මෛත්‍රෙයි වැනි ප්‍රසිද්ධ චරිතයකට අනන්‍යතාව සම්බන්ධ ප්‍රශ්න ඇතැම් විට වඩාත් සංකීර්ණ විය හැකි ය," ඔහු සඳහන් කර ඇත.
ඔහු මෙසේ ද පවසයි:
"ඇය තමන් දෙමළ ජාතිකයෙකු ලෙස හඳුන්වා ගනියි. ඇය දෙමළ භාෂාව කතා නොකළ ද, ඇයගේ පෙනුමෙන් දකුණු ආසියානු උරුමය පිළිබිඹු වේ. ඇයගේ දෙමාපියන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාමට සිදු වූ අතර, ඇය හැදී වැඩුණේ ශ්‍රී ලංකාව සහ තම පවුලේ අතීතය පිළිබඳ කතා අසමිනි. එම කතා සහ අත්දැකීම් මත පදනම්ව ඇයගේ ම අනන්‍යතා හැඟීමක් ගොඩනැගී තිබිය හැකි ය.
"එය ඇයගේ අයිතියකි. එසේ නම්, එය අපට කරදරයක් විය යුත්තේ ඇයි?," ඔහු ප්‍රශ්න කරයි.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මේ පිළිබඳව අදහස් දක්වමින් ෆේස්බුක්හි සඳහන් කර තිබුණේ, "දෙමළ උරුමය පිළිබඳ ආඩම්බර වීමෙන් පමණක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වන බවක් හෝ ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවක් අදහස් නොවේ. කෙසේ වෙතත්, අප සැවොම පිළිගත යුතු කරුණක් වන්නේ අද හෝ අනාගතයේ කිසිදු අවස්ථාවක මේ දූපත බෙදා වෙන් කිරීමට ඉඩක් නොමැති බවයි," යනුවෙනි.
ඩයස්පෝරාවේ තරුණ පරම්පරාවට ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් දැන හඳුනා ලෙසට ඔහු ආරාධනා කරයි.
"ඔබේ ප්‍රශ්න, මතකයන් සහ කණස්සල්ල රැගෙන එන්න. මෙහි ජනතාව හමුවන්න, ඔවුන්ගේ කතා අසන්න, තවමත් නිවැරදි කළ යුතු දේවල් මෙන් ම සැමරිය යුතු දේවල් ද දැකගන්න. මේ රටේ අනාගතය තුළ ඔබේ දක්ෂතා, අදහස් සහ බලාපොරොත්තු සඳහා ද ස්ථානයක් තිබේ.
"අප රට තුළ ජීවත් වන අප ද එලෙස ම සවන් දීමට සූදානම් විය යුතුය. අප සැවොම අතීතය පිළිබඳ අසම්පූර්ණ කතා උරුම කරගෙන සිටිමු. අපට වඩා වෙනස් අත්දැකීම්වලට ඉඩ ලබා දෙන විට තේරුම් ගැනීම වර්ධනය වේ," ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර, කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) ෆේස්බුක් සටහනක් තබමින් පවසන්නේ, සම්මානලාභී දෙමළ-කැනේඩියානු නිළි මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන්ට එරෙහිව මෑතකදී එල්ල වූ සංවිධානාත්මක අන්තර්ජාල හිරිහැර කිරීම් සහ ඉලක්කගත ප්‍රහාර තරයේ ලෙස සහ අවිවාදයෙන් හෙළා දකින බවයි.
"සෑම පුද්ගලයෙකුට ම තම අනන්‍යතාව තමන්ට අවශ්‍ය ආකාරයෙන් තෝරා ගැනීමට, නිර්වචනය කිරීමට සහ ප්‍රකාශ කිරීමට මූලික අයිතියක් ඇත. අනන්‍යතාව යනු ගැඹුරින් පෞද්ගලික, බහුආංශික සහ කාලයත් සමග වෙනස් විය හැකි දෙයකි. තම උරුමය, සංස්කෘතිය සහ ස්වයං අනන්‍යතාව සමග සම්බන්ධ වන ආකාරය හෝ ඒවා ප්‍රකාශ කරන ආකාරය තීරණය කිරීම සම්පූර්ණයෙන් ම එම පුද්ගලයාට අයත් කාරණයකි," එම ප්‍රකාශයේ සඳහන් වෙයි.
"ඊළාම්, ශ්‍රී ලංකාව, තැප්‍රොබේන්, සෙරෙන්ඩිබ් හෝ මේ දිනවල අප කැමති ඕනෑ ම නමකින් එය හැඳින්වුවත්, මෙම දක්ෂ, ඇය තමන් හඳුන්වන ආකාරයට ඊළාම් දෙමළ [තරුණිය] අපේ ම කෙනෙකු බව වෙනස් වන්නේ නැත.
"අප සැමට ම සිදු වූ දේ පිළිබඳ අපේ ම විස්තර සහ දෘෂ්ටිකෝණ තිබිය හැකි අතර, ඇය තම සාර්ථකත්වය හරහා උපයාගත් වේදිකාවකදී තම කතාව තමන්ගේ ම දෘෂ්ටිකෝණයෙන් පැවසීමට සම්පූර්ණ අයිතියක් ඇති බවට කිසිදු සැකයක් නැත.
"අවසානයේදී, එය ඇයගේ කතාවයි. ඇයගේ අනන්‍යතාවයි. ඇයගේ වේදිකාවයි. ඒ නිසා, ඇය අප අතරින් කෙනෙකු ලෙස හැඳින්වීමට අප ආඩම්බර විය යුතුය," යනුවෙන් සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම රෙහාන් ජයවික්‍රම සඳහන් කර තිබිණි.
මීට වෙනස් අදහසක් දක්වමින්, සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් ෆේස්බුක් සටහනක පෙන්වා දෙන්නේ, මෛත්‍රෙයි කැනඩාවේ උපත ලබා එහි හැදී වැඩුණු අයෙකු වන බැවින්, තමන් ප්‍රශංසා කරන බව පවසන "දෙමළ ඊළාම" තුළ ජීවත් වූ අත්දැකීමක් ඇයට නොමැති බව ය.
එල්.ටී.ටී.ඊ. පාලනය පැවති ප්‍රදේශවල කාන්තාවන්ගේ ඇඳුම්, සබඳතා සහ පෞද්ගලික නිදහස සීමා වූ බවත්, අද මෛත්‍රෙයි භුක්ති විඳින නිදහස් ජීවන රටාව එවැනි පාලනයක් යටතේ නොතිබෙන බවත් ඔහු තර්ක කර ඇත.
"ඔබගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැකිය හැකි ආකාරයට පිරිමින් සිප ගනිමින් සිටින ඔබගේ ඡායාරූප සහ වීඩියෝ ඔබගේ දෙමළ ඊළාමය තුළ පළ කර තිබුණේ නම්, ඔබ මරා දමනු ලැබීමට ඉඩ තිබිණි," එහි දක්වා තිබිණි.
විදේශගත දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස් දෙමළ ජාතිකවාදය හෝ "දෙමළ ඊළාම" ගැන කතා කළත්, ඔවුන් බටහිර රටවල ජීවත් වන ආකාරය සහ ඔවුන් ප්‍රකාශ කරන සම්ප්‍රදායික වටිනාකම් අතර පරස්පරතාවක් ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.
"ඔබට දෙමළ ජතිකකයෙකු වීම ගැන ආඩම්බර විය හැකියි. ඔබට ඔබේ පවුලට ආදරය කළ හැකියි. ඔබට ඔබේ සංස්කෘතික උරුමය අගය කළ හැකියි.
"එහෙත්, එම පාලනය යටතේ ජීවත් වූ දෙමළ ජනතාව මුහුණ දුන් දුක් පීඩා සහ ඔවුන්ට විඳින්නට සිදු වූ සීමාවන් වසන් කරමින්, ත්‍රස්තවාදී සංවිධානයක පාලනය ප්‍රශංසා කිරීමට හෝ උත්කර්ෂයට නැංවීමට උත්සහ නොකරන්න.
"ත්‍රස්තවාදීන්ගේ ප්‍රචාරක යන්ත්‍රණයේ කොටසක් බවට පත් නොවන්න," ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉන්දියාවේ විවාදයට තුඩු දී ඇත්තේ ඇයි?
මෛත්‍රෙයිගේ 'ඊළාම් දෙමළ' ප්‍රකාශය වටා ශ්‍රී ලංකාවේ මතුවූ විවාදයට අමතරව, ඉන්දියාව තුළ ඇයගේ දෙමළ අනන්‍යතාව සහ භරතනාට්‍යම් නිරූපණය පිළිබඳව ද සමාජ මාධ්‍යවල කතාබහක් ඇතිව තිබේ.
ඉන්දීය සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කරන්නේ, ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති ඇය භරතනාට්‍යම් නර්තනය ඉදිරිපත් කිරීම හෝ බොලිවුඩ්-ෆියුෂන් නර්තනය කේන්ද්‍ර කරගත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම සුදුසු ද යන්න ය.
කෙසේ වෙතත්, භරතනාට්‍යම් යනු දෙමළ සංස්කෘතිය සමග ගැඹුරින් බැඳී ඇති නර්තන සම්ප්‍රදායක් බවත්, දෙමළ අනන්‍යතාව ඉන්දියානු දේශසීමාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත් ඊට ප්‍රතිචාර ලෙස තවත් පිරිස් පෙන්වා දුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ හා සමානව තවත් සටහනක දැක්වූයේ, මෛත්‍රෙයි ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් ඇති කැනේඩියානු නිළියක් වන බැවින්, ඉන්දියානු චරිත නිරූපණය කිරීමට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල නළු නිළියන්ට වැඩි අවස්ථා ලබා දිය යුතු බව ය.
"තමන් එය අනුගමනය කරන්නෙවත් නැති පසුබිමක, ඇමරිකාවේ ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙකු මගේ සංස්කෘතිය නියෝජනය කරන්නේ ඇයි?" යැයි එක් අයෙක් Xහි ප්‍රශ්න කළේ ය.
තවත් අයෙක් මෙසේ සඳහන් කර තිබිණි: "ඇය ඉන්දියානුවෙක් නොවෙයි, ඇය ශ්‍රී ලාංකිකයෙක්. මම ඇයට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්නේ මේ චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට. ඔවුන්ට ඉන්දියානු ඩයස්පෝරාව මෙම චිත්‍රපටය නරඹන්න අවශ්‍ය නම්, නිවැරදි චරිත සඳහා නිවැරදි පුද්ගලයන් තෝරාගත යුතුයි."
චිත්‍රපටය තුළ ද ඇය නිරූපණය කරන මායාගෙන් ඇගේ අනන්‍යතාව ප්‍රශ්න කරන අවස්ථාවක ඇය තමන් හඳුන්වා දෙන්නේ, ශ්‍රී ලාංකික දෙමළ තරුණියක ලෙස ය.
මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් යනු කවුද?
මෛත්‍රෙයි රාමක්‍රිෂ්ණන් යනු, කැනේඩියානු රංගන ශිල්පිනියක වන අතර, මින්ඩි කේලිං විසින් නිර්මාණය කරන ලද Netflixහි ජනප්‍රිය යොවුන් කතාමාලාවක් වන 'Never Have I Ever' හි දේවි විශ්වකුමාර් චරිතය නිරූපණය කිරීමෙන් ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා ය.
අයැදුම්කරුවන් 15,000කට වැඩි පිරිසක් අතරින් ඇය මෙම චරිතයට තෝරා ගැනුණු අතර, එම චරිතය ඇයගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව 'ටයිම්' සඟරාව පවසයි.
එමෙන් ම, ඇය Netflixහි ප්‍රදර්ශනය කෙරුණු කාටූන් කතාමාලාවක් වන 'My Little Pony' කතා මාලාවේ හඬ නිළියක ලෙස ද කටයුතු කළා ය.
තව ද Turning Red සහ The Twits යන චිත්‍රපටවලට ද ඇය හඬ නිළියක ලෙස දායක වී තිබේ.
ඊට අමතවර මෙම වසරේ දෙසැම්බර් මස තිරගත වීමට නියමිත The Angry Birds Movie 3 සඳහා ද ඇය හඬ කැවීම් ශිල්පිනියක ලෙස සම්බන්ධ වී ඇත.
ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර Slanted සහ Freakier Friday චිත්‍රපට නම් කළ හැක.
'ටයිම්' සඟරාව පවසන පරිදි ඇය මුලින් ම රංගනයට පිවිසියේ වයස අවුරුදු 15දී ය. ඒ, ඇයගේ පාසලේ පැවති 'Footloose' නමැති නාට්‍ය නිෂ්පාදනයට රංගනයෙන් දායක වීමත් සමග ය.
මෛත්‍රෙයි 2001 වසරේදී ඔන්ටාරියෝහි මිසිසාගාහිදී උපත ලබා එහි හැදී වැඩුණා ය. ඇය මෙඩෝවේල් ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය හදාරා තිබේ.
රාම් සෙල්වරාජා ඇගේ පියා වන අතර කිරුත්තිකා කුලේන්දිරන් ඇයගේ මව වේ.
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ ඔවුන් සරණාගතයන් ලෙස කැනඩාවට සංක්‍රමණය වී ඇති බව කැනේඩියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.