බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා

Sri Lankan prisoners climb onto a roof to get a view of a building set on fire by rioting inmates at Welikada prison in Colombo on November 9, 2012

ඡායාරූප මූලාශ්‍රය, Ishara S.KODIKARA/AFP via Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සහ නැවතත් ජූලි 06 දින ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට 27 දෙනෙකු මිය ගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යන දෙපාර්ශවය ම 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයක් තුළ සිදුවූ පළමු ගැටුම්කාරී සිදුවීම නොවන අතර පසුගිය සියවසක කාලය පුරා සිදුවීම් රැසක් සිදුව තිබේ.

1900 - මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.

පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.

මේ හේතුවෙන් මරණයට පත්වූ සහ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව සඳහනක් නැත.

මෙය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය පැවති සමයේ සිදුවූ ගැටුමකි.

1971 - යාපනය බන්ධනාගාරයට පහරදීම

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඔහුව රඳවා සිටි යාපනය බන්ධනාගාරයෙන් ඔහු නිදහස් කරගැනීමේ අරමුණින්, 1971 කැරැල්ලට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

1971 අප්‍රේල් 05 වන දින යාපනය බන්ධනාගාරයට සහ පොලිසියට එල්ල කළ ප්‍රහාරය අසාර්ථක වූ අතර, ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධූරය දැරූ සමයේ එය සිදුවිය.


Sri Lankan prisoners gather arround inju Sri Lankan prisoners gather arround injured inmates in a courtyard during riots at the main prison in Colombo on January 24, 2012.

ඡායාරූප මූලාශ්‍රය, AFP PHOTO/Ishara S. KODIKARA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 ජනවාරි මාසයේදී ආහාර ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක නිරත වීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුමක් ඇති විය

1983 - වැලිකඩ ප්‍රහාරය

කළු ජූලිය ලෙස හැඳින්වෙන 1983 වසරේ ජූලි මාසයේ සිදුවූ සිංහල හා දෙමළ කෝලාහල සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ සිරකරුවන්ට ද ප්‍රහාරයක් එල්ල විය.

එය අවස්ථා දෙකකදී සිදුවූ අතර, 1983 ජූලි 25 සහ 27 යන දෙදින තුළ බන්ධනාගාරයේ රඳවා සිටි සිංහල රැඳවියන්ගේ පහරදීම් හේතුවෙන් දෙමළ රැඳවියන් 53 දෙනෙකු මිය ගොස් තිබිණි.

මෙය සිදු වූයේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ය.

1987 සහ 1988 දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රහාර

1987දී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඔවුන්ගේ සිරගත කර සිටි සාමාජිකයන් බේරා ගැනීමේ අරමුණින් බෝගම්බර බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරනු ලැබී ය.

නැවතත් 1988 වසරේදී මැගසින් බන්ධනාගාරයට ද එවැනි ම ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, ඒ සමග එම සංවිධානයේ පිරිසක් පලා ගියහ.

මෙම තත්ත්වය වැලිකඩ, බෝගම්බර, මැගසින් බන්ධනාගාර සහ පැලවත්ත සංක්‍රමණ කඳවුර යන ස්ථානවලට ද ව්‍යාප්ත වී ඒවා තුළ ද නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිව තිබිණි.

1988 නොවැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල නිසා කාර්යාල ගොඩනැගිලි සහ බඩුබාහිරාදියට සැලකිය යුතු විනාශයක් සිදුවූ බවත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මැගසින් රක්ෂිත බන්ධනාගාරයේ සිරභාරයේ සිටි රැඳවියන් 221 දෙනෙකු සහ පැලවත්ත සංක්‍රමණ කඳවුරේ සිටි 131 දෙනෙකු ද මෙම සිදුවීම් හේතුවෙන් පලා ගිය බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වේ.

මෙම සිදුවීම් දෙක ම සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ය. එවකට ජනාධිපතිවරයා වූයේ ජේ. ආර්. ජයවර්ධන ය.


SRILANKA-PRISON-RIOT A Sri Lankan hospital worker stands next to a stretcher with a body of a victim of clashes between elite police Special Task Force and inmates, at the main hospital, in Colombo on November 10, 2012.

ඡායාරූප මූලාශ්‍රය, Ishara S.KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් හා ආරක්ෂක අංශ අතර ගැටුමෙන් 27 දෙනෙක් මිය ගියහ.

2000 - බිඳුණුවැව ප්‍රහාරය

2000 වසරේ ඔක්තෝබර් මාසයේදී බිඳුණුවැව රැඳවුම් කඳවුරේ සිටි දෙමළ රැඳවියන් පිරිසක්, එම කඳවුරට පිටතින් ඇතුළු වූ පිරිසක් විසින් කපා කොටා ඝාතනය කරනු ලැබ තිබේ.

හියුමන් රයිට්ස් වොච් වෙබ් අඩවියේ සඳහන් වාර්තාවක දැක්වෙන පරිදි, එලෙස පහර දීමට පැමිණ ඇත්තේ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ සිටියදී ය.

එහිදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරුණු අතර, ඉතිරි 14 දෙනා බරපතළ තුවාල ලබා තිබූ බව එහි සඳහන් වේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව රැඳවුම් කඳවුරේ මුළු රැඳවියන් 41 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සියලු දෙනා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරුණු දෙමළ ජාතික පිරිමි පුද්ගලයින් හෝ පිරිමි ළමයි වූහ.

ඔවුන්ට අනුව, කඳවුරේ සිටි ළාබාලතම රැඳවියාගේ වයස අවුරුදු 12ක් වූ අතර වැඩිමහල් තැනැත්තා තිස් ගණන්වල මැද භාගයේ පසුවිය.

මේ සම්බන්ධයෙන් වසර ගණනක් තිස්සේ අධිකරණ කටයුතු මෙහෙයවා ඇතත් සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා සැකකරුවන් නිදහස් වී තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිගේ පාලන සමයේදී මෙය සිදු විය.

2002 - තංගල්ල බන්ධනාගාරයේ ගැටුම

තමන්ට අදාළ නඩු කටයුතු ඉක්මන් කරන ලෙස සහ පහසුකම් සපයන ලෙස ඉල්ලා තංගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් විසින් 2002 වසරේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සිය ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.

දින දෙකක පමණ කාලයක් තිස්සේ පැවති මෙම සිදුවීමේදී සිරකරුවන් විසින් බන්ධනාගාරයේ තිබූ ගිනි අවි ද ඔවුන් සන්තකයට ගෙන තිබූ අතර, ඔවුන් සහ ගැටුම මැඩපැවැත්වීමට පැමිණි ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් ද සිදුවී තිබිණි.

ඒ හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා තිබූ අතර, තංගල්ල නගරයට ඇඳිරි නීතිය ද පනවා තිබිණි.

පසුව, එවකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ ජෝන් අමරතුංග සහ එවකට විපක්ෂ නායකවරයා බන්ධනාගාරය වෙත ගොස් පැවැත්වූ සාකච්ඡාවලින් පසුව සිරකරුවන් සමථයකට පත්වීමට එකඟ වී ආයුධ නැවත භාර දී තිබිණි.

මෙය ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිගේ පාලන සමයේදී සිදුවූ සිදුවීමකි.

2011 - අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකුට වෙඩි තැබීම

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් උපවාසයක නිරත වූහ.

එම තත්ත්වය පාලනය සඳහා නිලධාරීන් වෙඩි තබා තිබූ අතර, එහිදී එක් රැඳවියෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා තිබිණි.

එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී සිදුවූ ගැටුමකි.

2012 - වැලිකඩ ඝාතන

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම ගැටුම ආරම්භ වන්නේ, 2012 වසරේ නොවැම්බර් 9 වන දා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුළු වූ 300ක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග ය.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ සුප්‍රකට 'එල්' (L) වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකතන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේ ම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියම වූවන් රඳවනු ලබන 'චැපල් වාට්ටුව' නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුළු වීමත් සමග තත්ත්වය නරක අතට හැරිණි.

එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත්, සිරකරුවන් ඊට එරෙහි වීමත් සමග එය ගැටුමක් බවට පෙරළුණු බව ඇතැම් රැඳවියන් පවසා තිබිණි.

නොවැම්බර් 9 වන දා සවස 1.30ට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ, මරණ 27කින් සහ 40කට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙන් පසුව ය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් පිරිසක් හා ආරක්ෂක අංශ අතර මෙම ගැටුම සිදුවන විට බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කරනු ලැබුවේ එමිල් රන්ජන් ළමාහේවා ‍යි.

වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධව ගැටුම සිදුවන විට බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රන්ජන් ළමාහේවාට 2022 වසරේදී මරණීය දණ්ඩය නියම කළ නමුත්, ඔහුව මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කිරිමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2024 දී තීන්දු කරන ලදී.

2012 ජනවාරි මාසයේදී ද ආහාර ප්‍රශ්නයක් මුල් කර ගනිමින් මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක නිරත වීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුමක් ඇති විය.

එහිදී තත්ත්වය පාලනයට බන්ධනගාර නිලධාරීන් රැඳවියන්ට වෙඩි තබා තිබූ අතර, තුවාල ලැබූ 26 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මේ සිදුවීම් දෙක ම සිදුවිය.

Mahara outskirts Colombo November 30, 2020 The inmates had launched protests amid a surge of coronavirus infections in the prisons, demanding early release on bail and better facilities

ඡායාරූප මූලාශ්‍රය, Akila Jayawardana/NurPhoto via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහර බන්ධනාගාරයේ ගැටුම පාලනය කිරීමෙන් පසුව රැඳවියන් පිටතට ගෙන ගිය ආකාරය

2020 - මහර බන්ධනාගාර ගැටුම

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වීමත් සමග, 2020 නොවැම්බර් 29 මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් ඇති විය.

මහර බන්ධනාගාරයේ විරෝධතා ඇරඹුණේ කොරෝනාවෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරු කිරීම හේතුවෙන් බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේදී ප්‍රකාශ කළේ ය.

මෙම ගැටුම පාලනයේදී සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙක් මිය ගිය අතර, රැඳවියන් 115 දෙනෙක් තුවාල ලැබූහ.

කොවිඩ් වසංගත තත්ත්වය අතරතුර සිදුවූ මේ සිදුවීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී සිදුවිය.

මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවය
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ඇති වූ ගැටුමින් මියගිය 07 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වන අතර 20 දෙනෙකු රැඳවියෝ වෙති.

2026 - මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව

ජූලි 05 දින මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තිබූ අතර, තුවාල ලැබූ තවත් රැඳවියන් පිරිසක් මීගමුව රෝහල වෙත යොමු කර තිබිණි.

පසුව නැවතත් ජූලි 06 දින උදෑසන බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් ඇතිවූ අතර, බන්ධනාගාරය තුළින් වෙඩි ශබ්ද ඇසෙන බව එහි සිටි බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ය.

පසුව පෙ. ව. 10.10ට පමණ පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ දොරෙහි සිදුරකින් වෙඩි තබමින් බන්ධනාගාරය තුළට ඇතුළු විය.

මේ වන විට නොසන්සුන්තාවයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට ගොස් තිබේ.

මියගිය 07 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වන අතර 20 දෙනෙකු රැඳවියන් වේ.

දැනට තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාවෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන් ය.