'එයා මැරිලා කියලා දැනගත්තේ ෆොටෝ එකකින්': මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඥාතීන් පළ කළ අදහස්

වීඩියෝ ශීර්ෂ වැකිය, මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාවය: 25ක් මරුට, 100කට අධික පිරිසකට තුවාල
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ජූලි 5 වන දා ඇති වූ බව කියන ගැටුමෙන් පසුව නැවතත් අද දින (ජූලි 6) නොසන්සුන්තාවක් ඇතිවූ අතර ඒ හේතුවෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් රෝහල්ගත කෙරිණි.

මේ වන විට මරණ 25ක් වාර්තා වී ඇති අතර, තවමත් රැඳවියන්ගේ බොහෝ දෙනෙකුගේ ඥාතීහු ඔවුන්ගේ සමීපතමයන්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමේ අරමුණින් බන්ධනාගාරය අසලට රැස්ව සිටිති.

ඇතැම් අයට තම පවුලේ සාමාජිකයන් මිය ගිය බවට මේ වන විට දැනගැනීමට හැකිව තිබේ.

අවවාදයයි: ඇතැම් අයට සංවේදී තොරතුරු මෙම ලිපියේ ඇතුළත් විය හැකියි

'ලේ ගොඩයි මගේ මහත්තයාගේ මූණ කටේ ඉඳලා ම'

දරුවන් සමග පැමිණි එක් කාන්තාවක එම ස්ථානයේ හඬා වැටුණේ මිය ගිය පුද්ගලයන්ගේ ඡායාරූපවල ඇයගේ සැමියා ද සිටින බව පවසමිනි.

"එයා මැරිලා කියලා දැනගත්තේ ෆොටෝ එකකින්," යැයි පවසමින් ඇය දරුවන් සමග හඬමින් සඳහන් කළා ය.

"ලේ ගොඩයි මගේ මහත්තයාගේ මූණ කටේ ඉඳලා ම," යැයි තවත් කාන්තාවක් බීබීසී සිංහල වෙත පැවසුවා ය.

'මගේ පුතා ඇතුළේ ඉන්නවා... ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ...'

ඉරිදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ "ගැටුම" අතරතුර මිය ගිය බව කියන රැඳවියෙකුගේ ඥාතියෙකු වන නන්දනී ද බීබීසී සිංහල සමග අදහස් දැක්වූවා ය.

"මගේ පුතා ඇතුළේ ඉන්නවා... දකුණු අත නෑ, ඒ පුතාව මට දෙන්න කියලා මම ඉල්ලන්නේ, ඇය පැවසුවා ය.

"මගේ පොඩි පුතා ඇතුළේ ඉන්නවා... ඊයේ එයාලා ගහලා ගහලා මරලා, ඔළු පළලා, ඇස්වලට කෝටුවවලින් ඇනලා, පුච්චලා, මගේ පුතාට නවක වධය දීලා, මගේ පුතාව මරලා දාලා මීගමුව හොස්පිටල් එකේ තාම මගේ පුතාගේ මිනිය."

"සාධාරණයක් ඉටු කරන්න, මට අර දරුවවත් දෙන්න කියන්න. ඉන්න දරුවාවවත් දෙන්න කියන්න, මම නඩුවලට ඉදිරිපත් කරන්නම්," ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

'අපේ දරුවෝ කොහේ ඉන්නවා ද දන්නේ නෑ'

තවත් රැඳවියෙකුගේ ඥාතියෙකු වන ටී.එම්. ඥානතිලක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ සිටින "තම දරුවන් සිටින ස්ථානයක් ගැන තොරතුරක් නොමැති" බව ය.

"ඊයේ ඉඳලා මේ බන්ධනාගාරේ ගැටුමක් තියෙනවනේ. ඉතින් අපි දන්නේ නෑනේ මොකක් ද මේ හේතුව, ගැටුමක් වෙන්න හේතුවක් තියෙන්න එපැයි. අපි හේතුවක් දන්නෙත් නෑ."

"අපේ දරුවෝ කොහේ ඉන්නව ද දන්නෙත් නෑ. ඉස්පිරිතාලෙට ගියා ඉස්පිරිතාලේ බලන්න දෙන්නෙත් නෑ, මෙතැනට ආව ම මෙතන බලන්න දෙන්නෙත් නෑ. එක්කෝ ඉන්න කෙනෙක් කියන්න ඕනේ මේ දරුවන්ට මොකුත් වෙලා නෑ කියලා," ඔහු පැවසීය.

"එක්කෝ නම් ලිස්ට් එකක් දාන්න ඕනේ. එක්කෝ මැරිලා ඉන්න කට්ටියගේ ලිස්ට් එකක් දාන්න ඕනේ, ජීවත් වෙලා ඉන්න අයගේ ලිස්ට් එකක් දාන්න ඕන," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව ඇතැයි අධිකරණ අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ ය.

අද (ජූලි 6) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හටගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බව ය.

කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය සමථයකට පත්කර ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා පැවසුවේ, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේදී මෙවැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බව යි.

මෙම ගැටුම පතාල කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බව ද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බව ද කියා සිටියේ ය.

"අද අපි උදේ ඉදලා මීගමුවේ ඇති වෙච්ච තත්ත්වය ගැන නිලධාරීන් මෙහෙයවමින් ඒක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරමින් හිටියා. දැන් තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. රැඳවියෝ මිය ගිහින් තියෙනවා, කාර්ය මණ්ඩලය මිය ගිහිල්ලා තියෙනවා. එතැන මනුස්ස ජීවිත නැතිවීම ගැන බලවත් කම්පනයක් තියෙනවා," ඔහු පැවසුවේ ය.

"මම ඉස්සෙල්ලා ම මියගිය අයගේ පවුල්වලට බලවත් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. සිද්ධිය වෙච්ච තැනට අපි ගිහිල්ලා වෙලා තියෙන දේ හොයලා ඉදිරියේදී මෙවැනි දෙයක් නොවෙන්න වග බලාගන්න ඕනෙයි කියන තැන අපි ඉන්නේ. කාටවත් මේකේ වරද පටවනවා නෙමෙයි. ඇත්තට ම කම්පනයක් තියෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් මගේ භාරයේ තියෙන ආයතනයකයි මේක වෙන්නේ. ඒ නිසා ඒකේ වගකීම මට භාරගන්න වෙනවා," අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

'නොසන්සුන්තාවට හේතුව රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්' - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවට හේතුව එහි සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව බන්ධනාගාර කොමසාරිස් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ ය.

ඉරිදා (ජූලි 5) වන දා මීගමුව බන්ධනාගාරයේ තුළ ගැටුමක් ඇතිව තිබුණු අතර බලධාරීන් පවසන පරිදි පසුව එය සමථයකට පත් කර තිබිණි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සඳුදා (ජූලි 6) උදෑසන බන්ධනාගාරය තුළ යළිත් නොසන්සුන්තාවක් හට ගත් බව යි. එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට ද රැඳවියන් පහර දී තිබුණු බව ඔහු පැවසුවේ ය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිව ඇවිත් ඇති අතර රැඳවියන් ද ඔවුන් පසුපස "පන්නාගෙන විත් පහර දුන්" බව ඔහු කියා සිටියේ ය.

පසුව රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සහ කළ බවත් එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීදන් අවම බලය යොදා රැඳවියන් පාලනය කිරීමට කටයුතු කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ ය.