කොළඹ නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Bureau of South and Central Asian Affairs
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී ඇත.
ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා දිවුරුම් දුන් බව සඳහන් වේ.
දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන එරික් මේයර්, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බව මෙරට පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
නව තානාපතිවරයා ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පිළිගැනීමට සහ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
දෙරට අතර හවුල් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම කෙරෙහි නව තානාපතිවරයාගේ ධුර කාලය තුළ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව ද කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
එරික් මේයර් යනු කවුද ?
ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස දිවුරුම් දුන් එරික් මේයර් ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.
ඔහු නෝර්වේහි පිහිටි එක්සත් ජනපද දූත මණ්ඩලයේ වැඩබලන ප්‍රධානී (Chargé d'Affaires, a.i.) ලෙස කටයුතු කර ඇත. එම තනතුර යටතේ ඔහු ඔස්ලෝහි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහ ආක්ටික් කලාපයේ පිහිටි එකම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික කාර්යාලය වන ට්රොම්සෝහි ඇමෙරිකානු නියෝජිත කාර්යාලයේ මෙහෙයුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරනු ලැබූ බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එරික් මේයර් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කළ අතර, එහිදී දකුණු හා මධ්‍යම ආසියාව පුරා එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීම සඳහා නායකත්වය ලබා දී තිබේ.
ඊට පෙර, ඔහු උතුරු මැසිඩෝනියාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස සේවය කළේය. එමෙන්ම ඔහු කසකස්තානයේ අල්මාටි නගරයේ එක්සත් ජනපද කොන්සල් ජනරාල්වරයා ලෙස ද කටයුතු කර ඇත.
සිය වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී, එරික් මේයර් කාම්බෝජයේ නොම් පෙන් හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සල් ජනරාල් සහ වැඩබලන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලෙස ද, ෆින්ලන්තයේ හෙල්සින්කි හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොන්සල්වරයෙකු ලෙස ද සේවය කළේය. හෙල්සින්කිහිදී ඔහු ෆුල්බ්රයිට් කොමිසමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළේය.
මීට අමතරව, ඔහු ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි උප කොන්සල්වරයෙකු ලෙසත්, ඊජිප්තුවේ කයිරෝ හි සංස්කෘතික කටයුතු නිලධාරියා ලෙසත් කටයුතු කර ඇත.
වොෂින්ටනයේදී, ඔහු දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ප්‍රධානියාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස සේවය කර ඇති අතර, එක්සත් ජනපදය ආර්ක්ටික් කවුන්සිලයේ සභාපතිත්වය දැරූ කාලයේදී සාගර, ජාත්‍යන්තර පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු කාර්යාංශයේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක්වීමට පෙර, එරික් ගුවන් සේවා කර්මාන්තයේ ආයතනික අලෙවි හා රාජ්‍ය සබඳතා ක්ෂේත්රවල සේවය කර තිබේ.
ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ බර්ක්ලි වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් සහ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.
එරික් මේයර්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන උසස් හා කීර්තිමත් ගෞරව සම්මාන ලාභියෙකු වන අතර, ඩෙන්මාර්ක, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා ද චතුර ලෙස හසුරුවයි.


































