ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම ගැන 'අසත්‍ය සාක්ෂියක්': මහාධිකරණයේ සිදුවූයේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකාර යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් විසින් එම නඩුවේ හතර වන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින මුරලි හෙවත් සුමතිපාල සුරේෂ් නමැත්තාගේ සාක්ෂිය යළි සටහන් කර ගැනීමට අධිකරණය ගෙන තිබෙන තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ඔවුන්ගේ නීතිඥවරු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්හ.
සුමතිපාල සුරේෂ් නමැති සාක්ෂිකරුගේ සාක්ෂිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සටහන් කර ගත් අතර, එහිදී අසත්‍ය සාක්ෂි ලබා දීම හේතුවෙන් ඔහු පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කරනු ලැබිණි.
'විත්තිකරුවන්ගේ බලපෑම් නිසා අසත්‍ය සාක්ෂි දුන්නා'
පසුගිය දා මෙම සාක්ෂිකරු අධිකරණයට දැනුම් දී තිබුණේ, විත්තිකරුවන්ගෙන් තමන්ට එල්ල වූ බලපෑම් හේතුවෙන් පෙර අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බව ය.
ඒ අනුව, සුමතිපාල සුරේෂ් නමැති සාක්ෂිකරුගේ සාක්ෂිය යළි සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ සාක්ෂිකරුගේ සාක්ෂිය යළි සටහන් කර ගැනීමට තීරණය කර තිබේ.
මෙම තත්ත්වය යටතේ විත්තිකරුවන්ගේ නීතිඥවරුන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දී ඇත්තේ, අධිකරණයේ එම තීරණයට එරෙහිව සිය සේවාදායකයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ය.
ඒ අනුව, අදාළ සාක්ෂිය දැනට සටහන් කර නොගන්නා ලෙසත්, එම නීතිඥවරුන් අධිකරණයෙන් කලින් ඉල්ලීම් කර තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ ඉල්ලීම පිළිබඳ නියෝගය සැප්තැම්බර් මස 4 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේ ය.