වසර 20කට පසු ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවතට: ඔවුන් ඉතිරි කර යන උරුමය කුමක් ද?මීළඟට සිදුවන්නේ කුමක් ද?

    • Author, ලුයිස් බරූචෝ
    • Role, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 9

ඇමෙරිකා එක්සත් ජනපදය සැප්තැම්බර් 30 වන දා වන විට ඉරාකයේ ඉතිරිව සිටින සිය හමුදා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නියමිත අතර, ඒ සමග දශක දෙකකට වැඩි කාලයක් එරටට බලපෑ හමුදා මෙහෙයුමක් අවසන් වනු ඇත.

2003 වසරේ සදාම් හුසේන් බලයෙන් පහකළ ආක්‍රමණයෙන් ආරම්භ වූ මෙම හමුදා ක්‍රියාන්විතය, කැරලි සහ නිකායවාදී ප්‍රචණ්ඩත්වය මැද වසර ගණනාවක් පුරා ඉදිරියට ගියේ ය. ඇමෙරිකානු හමුදා 2011 වසරේදී ඉරාකයෙන් ඉවත් වුව ද, 2014 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) පරාජය කිරීමට සහය වීම සඳහා යළි පැමිණියේ ය.

ඉරානය සමග පවතින නොසන්සුන්තා හේතුවෙන් ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා නැවත වරක් ප්‍රහාරයකට ලක්වීමේ අවදානමකට මුහුණ දී සිටින පසුබිමක මෙම නවතම ඉවත් කර ගැනීම සිදුවනු ඇත.

කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන්නේ හමුදා ඉවත් වුව ද ඇමෙරිකානු බලපෑම අවසන් නොවනු ඇති බව ය.

දැන් සිදුවන්නේ කුමක් ද? ඒ ඇයි?

නිල වශයෙන් මෙම ඉවත් වීම සිදුවන්නේ, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) එරෙහි ඇමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර සන්ධාන මෙහෙයුම වන Operation Inherent Resolve අවසන් කිරීම සඳහා වොෂින්ටනය සහ බැග්ඩෑඩය අතර 2024 දී ඇති කර ගත් එකඟතාවකට අනුව ය.

2007 දී ඉරාක යුද්ධය උච්චතම අවස්ථාවට පත්ව තිබූ විට ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 170,000කට අධික පිරිසක් එරට ස්ථානගත කර තිබිණි. ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානයට අනුව, ඉවත් වීමේ එකඟතාව ඇති වීමට පෙර වූ 2023 දෙසැම්බර් වන විට එම සංඛ්‍යාව 2,400ක් පමණ දක්වා පහත වැටී තිබිණි.

ඉන්පසු, මාධ්‍ය වාර්තාවලට අනුව, ඇමෙරිකානු හමුදා සිය පැවැත්ම තවදුරටත් අඩු කරමින් කුර්දිස්තාන කලාපයේ කුඩා භට කණ්ඩායමක් පමණක් ස්ථානගත කර ඇත.

"ISIS සංවිධානය පරාජය කිරීමේ මෙහෙයුම ඉරාකය තුළ සිය අරමුණ සාර්ථක කරගෙන ඇති බැවින්, මෙම ඉවත් වීම පිළිබඳව පෙර පැවති ඉරාක රජය සමග එකඟතාවකට පැමිණ තිබුණා," යනුවෙන් වොෂින්ටනයේ ඇට්ලන්ටික් කවුන්සිලයේ 'ඉරාක ක්‍රියාන්විතය' (Iraq Initiative) වැඩසටහන හා සම්බන්ධ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු (non-resident senior fellow) වන සෆ්වාන් අල්-අමින් පවසයි.

මෙම පියවර ඉරාකය තුළ පවතින දීර්ඝ කාලීන දේශපාලන පීඩනය ද පිළිබිඹු කරයි.

2016 සහ 2019 අතර කාලය තුළ ඉරාකයේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස කටයුතු කළ ඩග්ලස් සිලිමන් පවසන්නේ, ඉරාකයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් ලෙස බොහෝ දෙනා දකින එක්සත් ජනපද හමුදා පැවැත්ම අවසන් කරන ලෙස අඛණ්ඩව බලයට පත්වූ රජයන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ය.

"ඉරාන-හිතවාදී කණ්ඩායම් සහ ප්‍රධාන වශයෙන් ෂියා ප්‍රජාවේ ඇතැම් කොටස්වලින් එල්ල වූ පීඩනය හමුවේ, ඉරාක රජයන් කිහිපයක් ම එම හමුදා රටින් ඉවත් කිරීම තහවුරු කර ගැනීම සඳහා පීඩනයක් එල්ල කරමින් සිටී," යනුවෙන් වොෂින්ටනයේ පිහිටි 'අරාබි ගල්ෆ් රාජ්‍යයන් පිළිබඳ ආයතනයේ' වත්මන් සභාපති සිලිමන්, බීබීසී වෙත පැවසීය.

ජනාධිපති බරැක් ඔබාමාගේ පාලන කාලයේදී 2011 දී ඇමෙරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වූ නමුත්, IS සංවිධානය රටේ විශාල ප්‍රදේශයක් අල්ලා ගැනීමෙන් පසු, බැග්ඩෑඩයේ ඉල්ලීම මත වසර තුනකට පසු යළි එහි පැමිණියේ ය. එතැන් සිට ඔවුන්ගේ කාර්යභාරය සටන් මෙහෙයුම්වල සිට පුහුණුව, උපදේශන සහ බුද්ධි තොරතුරු හුවමාරු කිරීම දක්වා වෙනස් විය.

එහෙත්, මෙම මාසයේදී සිදු කෙරෙන ඉවත්ව යාම සඳහා බලපා ඇත්තේ IS සංවිධානයට එරෙහි මෙහෙයුම නිල වශයෙන් අවසන් වීම පමණක්ම නොව, ආරක්ෂක ගැටලු ද ඊට සමාන අයුරින් බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

"මේක අවදානම පිළිබඳ කාරණයක් මිස ISIS නිසා නෙමෙයි; ඒ සඳහා වූ සාධාරණීකරණය වසර ගණනාවකට පෙර කල් ඉකුත් වුණා" එක්සත් රාජධානියේ RUSI නම් බුද්ධි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සහය සාමාජික එච්.ඒ. හෙලියර් පවසයි.

ඉරානය සම්බන්ධ කලාපීය ආතතීන් මධ්‍යයේ උතුරු ඉරාකයේ ඇමෙරිකානු පහසුකම්වලට එල්ල වූ මෑත කාලීන ප්‍රහාර හෙලියර් පෙන්වා දෙන්නේ, වොෂින්ටනය එහි ඉතිරි පිරිස් අවදානමට ලක්විය හැකි ඉලක්ක ලෙස වැඩි වැඩියෙන් සලකන බව ය.

අල්-අමීන් ද ඊට එකඟ වේ. IS විරෝධී සන්ධාන මෙහෙයුම අවසන් වූ පසු ද ඇමෙරිකානු හමුදා කණ්ඩායමක් ඉරාකයේ රඳවා තබා ගැනීම පිළිබඳව දෙරට නිලධාරීන් මීට පෙර සාකච්ඡා කළ බව ඔහු සඳහන් කරයි.

"හමුදා සංඛ්‍යාව අඩු කිරීම,සහ බලය ප්‍රදර්ශනය කරන්න ඔවුන් තිබෙන හැකියාව සීමිත වීම සැලකිල්ලට ගත්තා ම, ඉරාන යුද්ධය ඔවුන්ගේ පැවැත්ම වාසියකට වඩා අවදානමක් බව පෙන්වා දුන්නා," යැයි ඔහු පවසයි.

ඉරාකයේ ඇමරිකානු උරුමය කුමක් ද?

ආක්‍රමණයෙන් දශක දෙකකට වැඩි කාලයක් ගතව ඇතත්, ඉරාකයේ ඇමෙරිකානු හමුදා උරුමය පිළිබඳ තක්සේරු තවමත් තියුණු ලෙස බෙදී පවතී.

අල්-අමීන් එය "මිශ්‍ර ප්‍රතිඵල සහිත එකක්" ලෙස විස්තර කරයි.

"ඇමෙරිකානු ආක්‍රමණය එහි අරමුණු ඉටු කළේ නැහැ. තන්ත්‍ර මාරුව ද ස්ථාවර හා සමෘද්ධිමත් රටක් පිළිබඳ ඉරාක ජනයාගේ අපේක්ෂාවන් ඉටු කළේ නැහැ," යැයි ඔහු පවසමින්, එමගින් කලාපය අස්ථාවර වූ අතර ඉරානයට සිය බලපෑම ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලැබුණු බව කිය යි.

සිලිමන් ද සංක්‍රාන්ති සමය අර්බුදකාරී වූ බව පිළිගන්නා අතර, සදාම් හුසේන් ඉවත් කිරීමෙන් පසු ඇති වූ දේශපාලන වෙනස අගය කරන බව බොහෝ ඉරාක ජාතිකයන් තමන්ට පවසා ඇති බව සඳහන් කරයි.

"නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉරාකය පාලනය කළ යුතු ය යන අදහස මුල් බැසගෙන තිබෙනවා. එහෙත් මීට පෙර සැබෑ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයක් අත්විඳ නොමැති ජනතාවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ස්ථාපනය කිරීමට කාලයක් ගත වෙනවා," යැයි ඔහු පවසයි.

වොෂින්ටනයේ American University හි Global Kurdish Initiative for Peace ආයතනයේ අධ්‍යක්ෂ යෙරවන් සයීද් ද ධනාත්මක අදහසක් දරයි. "පසුගිය පාලනය ඉවත් කිරීම විශාල දෙයක්," යැයි ඔහු පවසමින්, එම පාලනය අවසන් කළ කෲරත්වය විවේචකයන් නොසලකා හරින බව කියයි.

දූෂණය තවමත් පවතින නමුත්, 2003 ට පෙර පැවති තත්ත්වයට වඩා අද ඉරාකයේ දේශපාලන නිදහස සහ බහුත්වවාදය වැඩි බව ඔහු විශ්වාස කරයි. විශේෂයෙන් ඉරාක කුර්දිස්තානය ඔහු උදාහරණයක් ලෙස දක්වයි.

හෙලියර් නම් මෙම උරුමය ප්‍රජාතන්ත්‍රවාදය වටා තක්සේරු කිරීම ප්‍රතික්ෂේප කරයි.

"ඇමෙරිකාව ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගුවා ද කියන ප්‍රශ්නය අහන එක නවත්වන්න ඕනේ. නැහැ. ඒක අවසන් වුණා," යැයි ඔහු පවසයි.

"සදාම් ඉවත් කිරීමෙන් අවසානයේ ඉරාන ජාල රාජ්‍යය තුළ ම මුල් බැස ගත්තා. ඒ මගින් වොෂින්ටනය ඉවත් කළ බල තුලනය නැති වුණා," ඔහුගේ අදහස අනුව, වඩාත් වැදගත් උරුමය කලාපීය බලපෑම යි.

කෙසේ වෙතත්, මෙම විශේෂඥයින් සිව්දෙනා ම එකඟ වන්නේ, 2003 දී ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් අපේක්ෂා කළ ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉරාකය තවමත් දුරස්ව සිටින බව ය.

ඔවුන් පවසන්නේ, දූෂණය පුළුල් ලෙස පැතිරී ඇති අතර, විශේෂයෙන් ම ඉරාක රජය පූර්ණ රාජ්‍ය පාලනය යටතට ගෙන ඒමට උත්සහ කරන බහුතරයෙන් ෂියා සටන්කාමී කණ්ඩායම්වලින් සමන්විත Popular Mobilization Forces (PMF) ජාලය තුළ, ආයුධ සන්නද්ධ කණ්ඩායම් තවමත් රාජ්‍යය සමග බලය බෙදාගෙන සිටින බව ය.

ඊළඟට කුමක් සිදුවේ ද?

ඉරාකයෙන් හමුදා ඉවත්වීම ඇමෙරිකානු බලපෑමේ අවසානයක් ලෙස අල්-අමීන් නොදකියි.

"ඉරාකය ඇමෙරිකානු ඩොලර්වලින් සිදු කරන තෙල් අලෙවි මත යැපෙන නිසා ඇමෙරිකාව තවමත් සැලකිය යුතු බලපෑමක් තබාගෙන ඉන්නවා. ඉරාකය තවමත් අවි අලෙවිය සඳහා ඇමරිකාව මත රඳා පවතිනවා. කලාපීය අසල්වැසියන් සමග ඇති අභියෝග හරහා යාමටත් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික සහය අවශ්‍ය යි."

එම බලපෑමේ කොටසක් වොෂින්ටනයේ රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම හරහා ක්‍රියාත්මක වන බව සයීද් පවසයි.

"ඔබට ලෝකයේ විශාලතම ඇමෙරිකානු තානාපති කාර්යාලය බැග්ඩෑඩ්හි තිබෙනවා. එර්බිල්හි ලෝකයේ විශාලතම ඇමෙරිකානු කොන්සල් කාර්යාලය තිබෙනවා," යැයි ඔහු පවසමින්, හමුදා ඉවත් වීමෙන් පසු ද එම ආයතනවල ආරක්ෂාව පවත්වා ගැනීමට සිදුවන බව සඳහන් කරයි.

සිලිමන් විශ්වාස කරන්නේ, "ඉතා ගැඹුරු හමුදා සම්බන්ධතාවක්" ඉදිරියටත් පවතිනු ඇති බව ය. එයට ඉරාක හමුදාව, Counter-Terrorism Service සහ කුර්දිස්තානයේ සන්නද්ධ බලකාය වන පෙෂ්මර්ගා සඳහා අඛණ්ඩ පුහුණුව හා සැලසුම් සහය ඇතුළත් වේ.

කෙසේ වෙතත්, විශාලතම අවිනිශ්චිතතාව ඉරානයේ සහය ලබන සටන්කාමී කණ්ඩායම් සම්බන්ධයෙනි. ඉරාක අගමැති අලි අල්-සයිදි මුලදී ඔවුන් සැප්තැම්බර් 30 වනදා වන විට රාජ්‍ය පාලනය යටතට ගෙන ඒමට අපේක්ෂා කළද, එම කණ්ඩායම් 2027 අවසානය දක්වා කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වේ.

මෙම කාලසීමාව පවා යථාර්ථවාදී ද යන්න පිළිබඳ විශේෂඥයන් අතර මතභේද පවතී.

"එහෙම වෙන්නේ නැහැ," යැයි සයීද් පවසමින්, එම කණ්ඩායම් ඉරාකයේ දේශපාලන හා මූල්‍ය පද්ධතිය තුළ දැඩිව මුල් බැසගෙන ඇති බව, පාර්ලිමේන්තු නියෝජනයක් ඇති බව සහ තෙහෙරානය සමඟ සමීප සබඳතා පවත්වන බව පෙන්වා දෙයි.

නමුත් සිලිමන් දකින්නේ ධනාත්මක පැත්තක් ද තිබිය හැකි බව ය. එක්සත් කිරීමේ සංකේතයක් ලෙස භාවිත කළ හැකි ඇමෙරිකානු හමුදා නොමැති විට, සටන්කාමී කණ්ඩායම්වලට වැදගත් දේශපාලන ආයුධයක් අහිමි විය හැකි බවත්, එමගින් බැග්ඩෑඩයට තවදුරටත් පීඩනය යෙදිය හැකි බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත්, ඔහු බරපතළ අවදානමක් පිළිබඳව ද අනතුරු අඟවයි. "මගේ තානාපති කාලයට පෙර සිට ම ඉරාක අගමැතිවරු කිහිප දෙනෙකු සමග මම කතා කරලා තියෙනවා. ඔවුන්ගේ කනස්සල්ල වන්නේ මෙය සිවිල් ගැටුමකට, එසේත් නැත්නම් සිවිල් යුද්ධයකට පවා හේතු විය හැකි බව."

2011 දී ඇමෙරිකානු හමුදා ඉවත් වූ පසු පැවති තත්ත්වයන් සිහිපත් කරමින් සයීද් ද IS සංවිධානය යළි හිස ඔසවනු ඇතැයි බිය පළ කරයි. ෂියා නායකත්වයෙන් යුත් බැග්ඩෑඩ් රජය එවකට සුන්නි නායකයන් අත්අඩංගුවට ගෙන දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් කළ බවත්, එම ක්‍රියාමාර්ග බොහෝ සුන්නි ජාතිකයන් අන්තවාදය වෙත තල්ලු කර IS සංවිධානයේ නැගී ඒමට දායක වූ බවත් ඔහු පවසයි.

සුන්නි ප්‍රජාවන් නැවතත් තමන්ට කෙසේ සලකයි ද? යන්න පිළිබඳව කනස්සල්ලෙන් සිටින බැවින්, අන්තවාදයේ අවදානම සැලකිය යුතු බව ඔහු අනතුරු අඟවයි.

එහෙත් සිලිමන් වඩාත් සුබවාදී ය. ඔහු පවසන්නේ වසර දහයකට පෙරට වඩා ඉරාක ආරක්ෂක හමුදා ශක්තිමත්ව ඇති අතර එවැනි තර්ජන පාලනය කිරීමට වඩාත් සූදානම් බව ය.

කලාපීය වශයෙන් ද, මෙම ඉවත් වීම ඉරාකයේ ඇමෙරිකාව සහ ඉරානය අතර බල තුලනය පිළිබඳ නව ප්‍රශ්න මතු කරන බව විශේෂඥයෝ පවසති.

අල්-අමීන් විශ්වාස කරන්නේ, ඉරානයට හැකි නම් "එහි බලපෑම තවදුරටත් තහවුරු කර ගැනීමට" උත්සහ කරනු ඇති බව ය. එමෙන් ම, මෙම ඉවත් වීම ස්ථිර දෙයක් ලෙස නොසැලකිය යුතු බව ද ඔහු අනතුරු අඟවයි.

"2011 දීත් ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත් වුණා. නමුත් වසර කිහිපයකට පසු ඔවුන් නැවත ආවා," යැයි ඔහු පවසයි. "මෙය කතාවේ එක් පරිච්ඡේදයක අවසානයක් මිස අවසාන පරිච්ඡේදය නොවේ."