ජාත්‍යන්තර මුහුදේ සිට ගාල්ල වරායට: ඉරාන නාවිකයින් 40ක් යළි සිය රටට යැවූ මෙහෙයුම

    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබූ ඉරානයට අයත් නෞකා කිහිපයක සේවය කරමින් සිටි නාවිකයින් 40 දෙනෙක් සෞඛ්‍ය හේතු මත නැවත සිය රට වෙත පිටත් කර යැවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බීබීසී සිංහල කළ විමසීමකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ පැවසුවේ හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් ලද දැනුම්දීමක් මත මෙම පිරිස ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කළ බවයි.

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ ඉරානයට අයත් ටැංකර් සහ බහාලුම් ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ඉකුත් ජූලි මාසයේ සිට නැංගුරම් ලා ඇති බව මීට පෙර බීබීසී සිංහල සහ BBC Verify කණ්ඩායම සිදුකළ කරුණු සොයා බැලීමකදී නිරීක්ෂණය විය.

සිදුවුණේ කුමක් ද?

මෙම නෞකාවල සේවය කළ නාවිකයින් මෙරටට රැගෙන ඒමේ කටයුතු සම්බන්ධීකරණය කර ඇත්තේ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා බීබීසී සිංහල වෙත පැවසීය.

"ඊයේ (ඔක්තෝබර් 24) ඉරාන නෞකාවල සිටි පිරිසක් ගාල්ල වරායට රැගෙන ආවා. ඔවුන්ගෙන් හදිසි වෛද්‍ය අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ආපදා (distress) ඇමතුමක් ලැබී තිබුණා. ඒ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය කර, 40 දෙනෙකුගෙන් සමන්විත ඉරාන නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ගොඩබිමට රැගෙනවිත් ගාල්ලේ සිට කොළඹට ප්‍රවාහනය කර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සැලසුම් කර තිබුණේ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය මගින්.

ඔවුන්ට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් ලබාදී අනතුරුව නැවත පිටත් කර යැවීමට කටයුතු කළා. ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉරාන තානාපති කාර්යාලය අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කළා. මෙවැනි ආපදා ඇමතුමකට ප්‍රතිචාර දැක්වීම අපගේ ජාත්‍යන්තර වගකීමක්. ඒ අනුවයි ඉරාන තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කරමින් මෙම 40 දෙනා පිටත් කර යැවීමට කටයුතු කළේ," යැයි ඔහු පැවසීය.

ගාල්ල වරායට රැගෙන ආ නාවිකයින් 40 දෙනා නෞකා කිහිපයක සේවය කරමින් සිටි පිරිසක් බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"මෙම 40 දෙනා එකම නෞකාවක සේවය කළ පිරිසක් නොවෙයි. නෞකා කිහිපයක සේවය කළ පිරිසක් මෙහි සිටියා. කෙසේ වෙතත්, ඔවුන් අයත්ව සිටියේ නෞකා කීයකටද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු අප සතුව නැහැ," යැයි ඔහු පැවසීය.

'ආයතන කිහිපයක් එක්ව සිටියා'

ඉරාන වෙළෙඳ නෞකාවල සේවය කරමින් සිටි මෙම නාවිකයින් ගාල්ල වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහය ලබාගෙන තිබුණේද යන්න පිළිබඳ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් තුෂාර රොද්‍රිගෝ මහතා පැවසුවේ, එම ක්‍රියාවලිය සඳහා ආයතන කිහිපයක සම්බන්ධීකරණය පැවති බවයි.

"නාවික හමුදාව පමණක් නොව, සම්බන්ධීකරණ ආයතන කිහිපයක් මේ සඳහා සම්බන්ධ වෙනවා. දේශීය නැව් සේවා නියෝජිත ආයතන (shipping service agencies) ද ඒ අතර සිටිනවා. ඒ නිසා මෙය නාවික හමුදාව විසින් පමණක් ක්‍රියාත්මක කළ මෙහෙයුමක් නොවෙයි. බොහෝ අවස්ථාවල මෙවැනි කටයුතු සිදු වන්නේ අදාළ නෞකා සමාගම් සහ ඒවායේ නියෝජිත ආයතන හරහායි."

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ නෞකා සමාගම් සමග කටයුතු කරන දේශීය නියෝජිත ආයතන විසින් මෙම පහසුකම් සැපයීමේ කටයුතු සිදුකර ඇති බවයි.

පහසුකම් සැපයීම ශ්‍රී ලංකාවට ගැටලුවක් වෙයිද?

ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඉරාන නෞකාවන් බොහොමයක් ඇමෙරිකානු සම්බාධකවලට යටත් නෞකා වන බැවින්, එවැනි නෞකාවන්ට සහාය සැපයීම හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකිද යන්න බීබීසී සිංහල මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් තුෂාර රොද්‍රිගෝ කියා සිටියේ, ජාත්‍යන්තර නීතිය අනුව මානුෂීය හේතු මත හදිසි වෛද්‍ය තත්ත්වයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ඕනෑම රටක් බැඳී සිටින බවයි.

"මෙයින් අදහස් වන්නේ අපි එම නෞකාවලට සහාය ලබාදෙනවා කියන එක නොවෙයි. සාමාන්‍යයෙන් ආපදා ඇමතුමක් (distress call) ලැබුණු පසු ඊට ප්‍රතිචාර දැක්වීම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්ප්‍රදායක්. ජාත්‍යන්තර නීතිය යටතේත් එවැනි ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට අපි බැඳී සිටිනවා.

මීට පෙරත් මෙවැනි අවස්ථාවලදී කටයුතු කර තිබෙනවා. මෙය දිගටම ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රියාවලියක්. මෙහි ප්‍රධාන කරුණ වන්නේ වෛද්‍ය හදිසි තත්ත්වයක් හේතුවෙන් ආපදා ඇමතුමක් ලැබුණු විට ජාත්‍යන්තර නීතියට අනුව ඊට ප්‍රතිචාර දැක්වීමේ වගකීමයි. ඒ අනුව ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙම පිරිස ගොඩබිමට රැගෙනවිත් අදාළ රටේ තානාපති කාර්යාලය හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කළා," යැයි ඔහු පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගාල්ල වරාය හරහා ගොඩබිමට රැගෙන ආ එම වෙළෙඳ නෞකාවල නාවිකයින් ඊයේ (ඔක්තෝබර් 24) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා නැවත සිය රට බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඇමෙරිකාව සහ ඉරානය අතර පසුගිය පෙබරවාරි මාසයේ සිට පවතින යුදමය ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපය ලෝක අවධානයට ලක්ව තිබේ. එම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ද අනපේක්ෂිත ලෙස එම භූ දේශපාලනික අර්බුදයේ සංවේදී ස්ථානයක පසුවන රටක් බවට පත්ව ඇත.

ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ, 2026 මාර්තු 4 වන දා ගාල්ලට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේදී ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' යුද නෞකාව ඇමෙරිකානු නාවික හමුදා සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීම යි. එම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

ඉන් පසුව මානුෂීය හේතු මත මෙරට පාලනයට ගනු ලැබූ ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Bushehr' නෞකාව ඉකුත් මාර්තු මස 09 වන දා සිට ත්‍රිකුණාමලයේ නැංගුරම් ලා තිබේ. එම නෞකාවේ සිටි ඉරාන නාවිකයින් 208 දෙනෙකු නාවික හමුදාවේ වැලිසර පිහිටි කඳවුරේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව, ඔවුන් පසුව ගුවන් මගින් ඉරානයට පිටත් කර යැවිණි.

එවැනි පසුබිමක් තුළ, ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ ඉරානයට අයත් නෞකා රැසක් ස්ථානගතව ඇති බවට වාර්තා වූ අතර, බොහෝ දෙනාගේ අවධානය ඊට යොමුවිය.