ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පසිඳු සූරියබණ්ඩාර: චන්දිමාල් වෙනුවට හදිසියේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවූ මැදපෙළ පිතිකරු කවුද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 165ක ජයක් හිමි විය.
එම තරගයේ සිව් වන දිනය වූ ඊයේ (අගෝ: 18) සිදුවූ විශේෂ සිද්ධියක් වූයේ, කණ්ඩායමේ පළමු 11 දෙනා අතර නොසිටි ක්‍රීඩකයෙකු පන්දුවට පහර දීමට පිටියට පිවිසීම ය.
තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබිණි.
හතරේ පහරක් වැළැක්වීමට උත්සහ කිරීමේදී චන්දිමාල් ආබාධයට ලක්වූ අතර පසුව ඔහු ස්කෑන් පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කෙරිණි. කෙසේ වෙතත්, ඔහුට අභ්‍යන්තර තුවාල කිසිවක් සිදුව නොමැති බව තහවුරු වී තිබිණි.
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ සහ කණ්ඩායම් භෞතචිකිත්සකවරයාගේ නිර්දේශ මත, දිනේෂ් චන්දිමාල් නැවත තරගයට එක්වීමට තරම් සුදුසු ශාරීරික මට්ටමක නොමැති බවට තක්සේරු කර තිබිණි. ඒ අනුව මෙම ආදේශ කිරීම සඳහා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට්ගේ ද අනුමැතිය හිමි විය.
පසිඳු සූරියබණ්ඩාර යනු කවුද?
1999 ඔක්තෝබර් මස 19 වන දා කොළඹදී උපත ලැබූ දොන් පසිඳු සංජුල සූරියබණ්ඩාර කොළඹ රාජකීය විදුහලේ ආදී සිසුවෙකි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් ලබා නොසිටි පිතිකරුවෙකු වූ පසිඳු සූරියබණ්ඩාරට සිය පළමු විදෙස් සංචාරයට එක්වීමේ අවස්ථාව හිමිවූයේ, පසුගිය පෙබරවාරි මාසයේදී බටහිර ඉන්දිය කොදෙව් තරගාවලිය සඳහා ය.
කෙසේ වුව ද, ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවී ය. දකුණත් මැදපෙළ පිතිකරුවෙකු වන පසිඳු දේශීය තරග බිමේදී දක්ෂතා දක්වා ඇති පිතිකරුවෙකි.
දේශීය තරග බිමේ දැක්වූ දක්ෂතා
දේශීය තරග වාරයේදී පසිඳු සූරියබණ්ඩාර සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් විය. පළමු පෙළ තරග 68 කදී ඉනිම් 102ක් තුලදී ලකුණු 4,893ක් රැස් කර ඇති ඔහු, එහිදී ශතක 14ක් සහ අර්ධ ශතක 23ක් රැස් කර තිබේ. එහිදී ඔහු එක් ඉනිමකදී වාර්තා කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වුයේ ලකුණු 242කි.
එමෙන් ම, A කාණ්ඩයේ තරග 62කට ක්‍රීඩා කරමින් ඉනිම 59කදී ලකුණු 1575ක් රැස් කර ඇති පසිඳු, එහිදී අර්ධ ශතක 12ක් රැස් කිරීමට සමත්ව තිබේ.
විස්සයි 20 තරග 25කට ක්‍රීඩා කරමින් එක් අර්ධ ශතකයක් සමග ලකුණු 401ක් රැස් කිරීමට ද ඔහු සමත්ව තිබේ.
2018 වසරේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට පසිඳු සුරියබණ්ඩාරට අවස්ථාව හිමිවිය. එහිදී ඔහු තරග දෙකකදී එක් ශතකයක් සහ අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 230ක් රැස් කිරීමට සමත් විය.
පළමු ටෙස්ට් තරගයේදී රැක ගත් උඩ පන්දුව
දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක්වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සමග පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ආදේශක ක්‍රීඩකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර කණ්ඩායමට කැඳවීමෙන් පසු ඉන්දීය කණ්ඩායමේ දෙවන ඉනිමේදී මැදපෙළ පිතිකරු රවීන්ද්‍ර ජඩේජා දුන් උඩපන්දුව රැක ගැනීමට පසිඳු සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදී පන්දුවට පහරදීමට අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි පසිඳු, පළමු පන්දුවෙන් ම ලකුණු නොලබා දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිමෙනි.