තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ කාන්තාවගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වෙයි

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ මිය ගොස් සිටියදී සොයාගත් කාන්තාවගේ මරණය ගෙළ සිර කිරීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි, පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, තෙල්දෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මේබව නිගමනය කර ( ජුනි 24 වැනිදා) අදාළ වාර්තාව ලබා දී ඇති බවයි.

සැකකාර අඹුසැමියන් යාපනයේදී අත්අඩංගුවට

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ (ජුනි 24) අලුයම යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසීය.

අම්පාර රෝහලේ භෞතික චිකිත්සකවරියක් ලෙස සේවය කරමින් සිටි 33 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුර, තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළින් සොයා ගැණුනේ ඉකුත් ජුනි 17 වැනිදාය.

ප්‍රධාන සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ බිරිඳ 35 හැවිරිදි කාන්තාවකි. සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

මියගොස් සිටින කාන්තාව කවුද?

මෙම කාන්තාව අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස 2023 වසරේ සිට සේවය කරමින් සිටි ඇති බවට මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීමට අම්පාර දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල උත්සහ කළ නමුත් එම අවස්ථාවේ අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොමැති බවට දුරකතන ක්‍රියාකරු පැවසීය.

'අයියේ මට සනීප නැහැ කියලා කෝල් එකක් දුන්නා'

මීට මාස 8කට පමණ පෙර ඇය පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර තිබූ බව බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ මියගිය කාන්තාවගේ සොහොයුරෙකු වන සමන්ත කුමාර පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, තම නැගණිය ඉකුත් ජූනි 16 වන දා සවස දුරකතන ඇමතුමක් ලබා දී තමා අසනීපයෙන් පසුවන බවත්, හැකි නම් පැමිණෙන ලෙසත් ඉල්ලීමක් කළ බව ය.

"නංගි අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් විදිහට වැඩ කළා. මගේ ඥාති පුතෙකුට නුවරඑළියේදී නංගිව හම්බ වේලා තිබුණා ජූනි 15 වන දා. ඒ හම්බ වුණාට පස්සේ එයා කියලා තිබුණා නිවාඩුවක් ගත කරන්න ආවා කියලා. ඊට පස්සේ මගේ ඥාති පුතාට සැක හිතිලා මේ ගැන මට දැනුම් දුන්නා.

"ඊට පස්සේ අපි චූටි නංගිට කෝල් එකක් දීලා ඇහුවා ම එයා හංගන්නේ නැතිව කිව්වා එයා එපාර්ට්මන්ට් එකකට ආවා කියලා. එහෙම කතා කරලා ජූනි 16 වන දා හවස මට කෝල් කරලා කිව්වා, 'අයියේ මට සනීප නැහැ. පුළුවන් නම් එන්න,' කියලා. මම අනුරාධපුරේ පදිංචි වෙලා ඉන්නේ. මම එහෙ ඉඳන් ආවා නුවරඑළියට.

මට පොඩි සැකයක් තිබුණ නිසා නුවරඑළිය පොලිසිය දැනුවත් කරලා ඒ වැඩ ටික කරන කොට තමයි CCTV එකේ තියෙන විදිහට අර බෝයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා එයාව උස්සගෙන යනවා දැක්කේ," ඔහු පැවසුවේ ය.

'ඒ ඔක්කොම ලොකු බොරුවක්'

සමන්ත කුමාර තවදුරටත් පැවසුවේ, විදේශගත වීම සඳහා තම නැගණියගේ පෙම්වතා ඇයගෙන් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් ලබා ගෙන තිබූ බව ය.

"නංගිගේ පෙම්වතාව මීට කලින් අපිට හඳුන්වලා දීලා තිබුණා. මේ දෙන්නගේ සම්බන්ධයට මාස 8ක් වගේ වෙන්නේ. ඒ මාස 8 ඇතුළත තමයි නංගි බැංකුවෙන් ලක්ෂ 50ක් අරන් තවත් කිහිප දෙනෙකුගෙනුත් සල්ලි අරන්, ඔක්කොම ලක්ෂ 150කට වැඩි ගාණක් ණය වෙලා තියෙනවා.

"ඒ සල්ලි අරන් දීලා තියෙන්නේ එයාගේ පෙම්වතාට. ඒ සල්ලි අරන් තියෙන්නේ විදේශගත වෙන්න කියලා කිව්වට දැනට අපිට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඒ ඔක්කොම ලොකු බොරුවක්," ඔහු සඳහන් කළේ ය.

මූලික පොලිස් විමර්ශනවලින් අනාවරණය වූ කරුණු

මියගොස් සිටින කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක ජූනි මස 3 සිට දින 10කට වැඩි කාලයක් නවාතැන් ගෙන සිට තිබෙන බවට මූලික පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල කළ විමසීමකදී නුවරඑළිය පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේ ය.

මෙම කාන්තාව අවස්ථා කිහිපයකදී හෝටලයෙන් පිටතට ගොස් නැවත හෝටලයට පැමිණ ඇති බව එම නිලධාරියා සඳහන් කළේ ය.

"මේ කාන්තාව පෙම්වතා එක්ක හෝටලයට ආවට එතැන නතර වෙලා ඉඳලා තියෙන්නේ එයා විතරයි. ඒයා හෝටලෙන් එළියට යනවා-එනවා එහෙම තමයි ඉඳලා තියෙන්නේ. පෙම්වතා ආපහු එන්නේ ඔය සිද්ධිය වෙච්ච දවසේ," එම නිලධාරියා බීබීසී සිංහල වෙත පැවසුවේය.

ඔහු ජූනි 16 වන දා රාත්‍රියේදී හෝටලයට පැමිණ පසුව සිය පෙම්වතියගේ මුහුණ කළු පැහැති රෙද්දකින් වසා, ඇයව රැගෙන යන අයුරු එම හෝටලයේ CCTV කැමරාවල සටහන් වී තිබුණු බව නුවරඑළිය පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.

ඉන් පසුව මෙම කාන්තාවගේ මළ සිරුර තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී පොලිසිය විසින් සොයා ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් බීබීසී සිංහල වෙත පැවසුවේ, සැකකරු මෙම කාන්තාවට ඔහු සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු අසත්‍ය ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොඑසේ නම් වෙනත් ආකාරයකින් සිදු වූ මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.