තීරණ ගැනීමේ හැකියාව වැඩි දියුණු කරගන්න විදිහ ගැන කුහුඹුවෙකුගෙන් උපදෙස්

ඡායාරූප මූලාශ්‍රය, Pawich Sattalerd via Getty Images
- Author, සොෆියා ක්වාලියා
- Role, BBC.com
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
ගැඹුරින් සිතීමට ඇති හැකියාව නිසා පරිණාමීය පිරමීඩයේ ඉහළින් ම සිටින්නේ තමන් බව සිතීමට මිනිසුන් වන අපි කැමැත්තෙමු. නමුත් ඒ සියලු සංකල්පනා ඇතැම් විට අපව එතරම් දුරකට රැගෙන නොයයි. අපි වැරදි නොකරන අය නොවෙමු. ඇත්තට ම, බොහෝ අවස්ථාවලදී අපි ගන්නා තීරණ වැරදි විය හැකියි.
අනෙක් අතට, පොපි ඇටයක තරම් කුඩා මොළ තිබුණ ද තීරණ ගැනීමේදී කෘමීහු පුදුමසහගත ප්‍රඥාවක් පෙන්වති. ඇත්ත වශයෙන් ම, කෘමීන් සතු ගැටලු විසඳීමේ කුසලතා රැසක් සැබෑ ලෝකයේ කර්මාන්ත ක්ෂේත්රයන්හි කාර්යක්ෂමව සිතීම සඳහා යොදා ගැනෙන මානව ඇල්ගොරිතම නිර්මාණය කිරීමට පොළඹවා ඇත.
මෙහි දැක්වෙන්නේ නුවණැති තීරණ ගැනීම සම්බන්ධයෙන් කෘමීන්ගෙන් අපට ඉගෙන ගත හැකි කරුණු පහකි.
කුහුඹුවන්ගේ ප්‍රශස්තකරණය
යමක් සිදු කිරීම සඳහා හොඳ ම ක්‍රමය තෝරා ගැනීම පහසු කාර්යයක් නොවේ; විශේෂයෙන් ම මෙතරම් උත්තේජක සහිත ලෝකයක එය එසේ ම ය. මෙය 'තේරීම් බහුලතාව' (choice overload) ලෙස හැඳින්වේ.
ඔවුන්ගේ ඊළඟ ආහාර සොයා ගන්නා ස්ථානය පිළිබඳව සාමූහික තීරණයක් ගැනීමේදී කුහුඹුවෝ ද මෙවැනි ම ගැටලුවකට මුහුණ දෙති. නමුත් විවිධ කුහුඹු විශේෂ අතර පොදු වූ ඉතා දක්ෂ උපක්‍රමයක් ඔවුන් සතුව පවතී.
මුලින් ම, කුහුඹුවන් කිහිප දෙනෙක් තම කූඩුවෙන් පිටවී, ළඟ ම සහ වඩාත් හොඳ ආහාර ලබාගත හැකි ස්ථානයක් සොයා පිටව යති. අලුත් දේ සොයා යාමට උනන්දුවක් දක්වන කුහුඹුවෝ, පෙර සැලසුමක් නොමැතිව පිටත්වී, විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් හැකි සෑම විකල්පයක් ම සොයා බලති. ඔවුහු යන ගමනේදීත් ආපසු එන අතරතුරත්, පසුකාලීනව අනෙකුත් කුහුඹුවන්ට අනුගමනය කළ හැකි වන පරිදි පස මත ඉතා සුළු වශයෙන් රසායනික සලකුණක් (ෆෙරමෝන් සලකුණක්) තබා යති. කාලයත් සමග මෙම ෆෙරෝමෝන වාෂ්ප වී යන අතර කුහුඹුවන් බොහෝ විට අනුගමනය කරන්නේ වඩාත් ප්‍රබල ෆෙරමෝන් සාන්ද්‍රණයක් ඇති මාර්ගයයි.

ඡායාරූප මූලාශ්‍රය, Muhammad Owais Khan via Getty Images
වඩාත් කාර්යක්ෂමව ආහාර මූලාශ්‍ර සොයාගත් කුහුඹුවෝ ඉක්මනින් ම ආහාර රැගෙන කූඩුවට ආපසු එති. ආපසු එන අතරතුර ඔවුහු කලින් තැබූ රසායනික සලකුණු සම්පූර්ණයෙන් වාෂප් වී යාමට පෙර තවත් ශක්තිමත් කරති. ඒ නිසා අනෙක් කුහුඹුවන්ට එම මාර්ගය පහසුවෙන් සොයාගත හැකි ය. මේ නිසා, කාලයත් සමග වැඩි කුහුඹුවන් පිරිසක් එම මාර්ගය භාවිත කරමින් යන එන අතර, ඔවුන් තබන ෆෙරමෝන් සලකුණු එකතු වීමෙන් එම මාර්ගයෙන් නිකුත් වන ගන්ධය වඩාත් ප්‍රබල වේ.
එබැවින්, සැබවින් ම කෙටි මාර්ග කාලයත් සමග තවදුරටත් ශක්තිමත් වන අතර, අනෙක් මාර්ග ක්‍රමයෙන් අතුරුදන් වී යයි. අවසානයේදී ජනපදය සාමූහිකව එක්වී කෙටි ම සහ වඩා කාර්යක්ෂ ම මාර්ගය සොයා ගන්නේ කිසිදු කුහුඹුවෙකු එය තමන් සොයා ගත් මාර්ගය බව නියත වශයෙන් දැනගැනීමෙන් තොරව ය.
''මෙයින් ඉගෙන ගන්න පුළුවන් මූලික පාඩම තමයි...මධ්‍යගත පාලනයකින් තොරව වුණත් කාර්යක්ෂම සාමූහික තීරණ ගන්න පුළුවන් කියන එක," බෙල්ජියමේ යුනිවෙර්සිටේ ලිබ්ර ද බ්රසෙල්හි කෘත්‍රිම බුද්ධි විද්‍යාගාරයේ සමඅධ්යක්ෂ මාර්කෝ ඩොරිගෝ පවසයි. "(කුහුඹුවන් යනු) සීමිත හැකියාවන් සහ තම අවට පරිසරය පිළිබඳ තොරතුරු පමණක් සහිත වූ සරල ජීවීන් කොට්ඨාශයක් වුවත්, සංකීර්ණ සම්බන්ධීකරණ ගැටලු සාමූහිකව විසඳා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත."
කුහුඹු ජනපද ප්‍රශස්තකරණ ක්‍රමය ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය මානව කාලසටහන් සැකසීම, විදුලි සංදේශ, ප්‍රවාහන සහ සැපයුම් වැඩිදියුණු කිරීම සඳහා ඇල්ගොරිතමයක් බවට පත් කර ඇත. උදාහරණයක් ලෙස, දුම්රිය මාර්ග සැලසුම් කිරීම සඳහා විශේෂඥයින් විසින් මෙම කුහුඹු ප්‍රශස්තකරණ ඇල්ගොරිතම භාවිත කර ඇති අතර ඩොරිගෝ සන්නිවේදන ජාල තුළ තොරතුරු කාර්යක්ෂමව හුවමාරු කිරීම සඳහා 'AntNET' නම් පද්ධතියක් ද නිර්මාණය කළේ ය.
ප්‍රජාතාන්ත්‍රික මී මැස්සන්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නව වදයක් තැනීම සඳහා සුදුසු ස්ථානයක් සොයා ගැනීමට අවශ්‍ය වූ විට මී මැස්සෝ ද කූඹීන්ගේ ආහාර සෙවීමේ ප්රශස්ත ක්‍රමවේදයට බෙහෙවින් සමාන ක්‍රමයක් භාවිත කරති.
කුහුඹුවන් මෙන්, මී මැසි ගවේෂකයන් කිහිප දෙනෙක් විවිධ ස්ථාන සොයා බලමින් අහඹු ලෙස පියාසර කරති. නමුත්, කුහුඹුවන් මෙන් ෆෙරමෝන සලකුණු තබා යනවා වෙනුවට, ඔවුහු ආපසු වදය වෙත පැමිණ තමන් සොයාගත් ස්ථාන ගැන අනෙක් මී මැස්සන්ට ඍජුවම තොරතුරු ලබා දෙති. ඒ සඳහා ඔවුහු 'වැගල් නැටුම' (waggle dance) නම් විශේෂ ක්‍රමයක් භාවිත කරති. තම සිරුරු රිද්මයානුකූලව සොලවමින්, සොයාගත් නව ස්ථානය කොතරම් සුදුසු ද යන්න ගැන තොරතුරු සෙසු මී මැස්සන්ට සන්නිවේදනය කරති. එම ස්ථානය කොතරම් ආරක්ෂිත ද, කොතරම් සමීප ද, කොතරම් විශාල ද සහ පිහිටීම කොතරම් සුදුසු ද වැනි කරුණු ඒ හරහා දැනුම් දෙති. නව වදයක් සඳහා එම ස්ථානය වඩාත් සුදුසු වන තරමට, ඔවුන්ගේ නැටුම දිගු මෙන් ම වඩාත් ප්‍රබල වේ.
එමෙන් ම, මෙම මී මැසි නර්තනය එය ඇති නිශ්චිත ස්ථානය - කොපමණ දුරක් යා යුතු ද යන්න සහ සෙසු මී මැස්සන් පියාසර කිරීමට අවශ්‍ය දිශාව පිළිබඳව ද විස්තර කරන අතර තවත් මී මැසි කණ්ඩායමක් මෙම සොයා ගැනීම් තහවුරු කිරීමට පිටත් කර යවයි. ඔවුන් නැවත පැමිණි විට ඔවුන්ගේ පූර්වගාමිකයින්ට සහය පළ කරමින් හෝ නව විකල්ප ඉදිරිපත් කරමින් ඔවුහු ද ඔවුන්ගේ තීන්දුව නර්තනයෙන් ම ලබාදෙති.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images
කාලයත් සමග, එක් ස්ථානයක් අනෙක් ඒවාට වඩා නිරායාසයෙන් ම ජනප්‍රිය වීමට පටන් ගනී. ගවේෂණයට ගිය මී මැස්සන් සැලකිය යුතු ගණනක් එක ම ස්ථානයක් පිළිබඳව ධනාත්මක ඉඟියක් ලබා දෙමින් වැගල් නැටුම් ඉදිරිපත් කරමින් ආපසු පැමිණෙති. ඉන්පසු, ප්රජාතන්ත්රවාදී සමාජයක මිනිසුන් ඡන්දයකින් තීරණයකට එළඹෙන ආකාරයට ම, මුළු මී මැසි ජනපදය ම එම ස්ථානය වෙත ගමන් කරයි.
උදාසීන පළඟැටියන්
මිනිසුන් අදහස් වෙනස් කිරීමට පෙළඹවීම පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් ම කණ්ඩායමක් විකල්ප දෙකක් අතර බෙදී සිටින විට එය තවත් අසීරු වේ. එවැනි අවස්ථාවලදී සාකච්ඡාව ඉක්මනින් ම 'මේක හෝ ඒක' යන කළු-සුදු තත්ත්වයකට පත්විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෑම කෙනෙකු ම තම තමන්ගේ ස්ථාවරයට තවත් දැඩිව ඇලී සිටීමට පෙළඹේ.
වාසනාවකට මෙන්, පළඟැටියන් පිළිබඳව සිදු කළ මෑතකාලීන අධ්‍යයනයක් මෙම සුලභ උභතෝකෝටිකයෙන් මිදිය හැකි මාර්ගයක් පෙන්වා දෙයි.
පියාසර කිරීමට තරම් වර්ධනය වී නොමැති, තවමත් ළාබාල අවධියේ සිටින පළඟැටියන් "marching locusts" ලෙස හැඳින් වෙන අතර එම සත්වයින්ට පියාසර කළ නොහැකි බැවින්, ඇවිදමින් ගමන් කරති. බ්‍රිතාන්‍යයේ බාත් විශ්වවිද්‍යාලයේ ගණිත ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටියන් (කිට්) යේට්ස්, සිය පර්යේෂණයකදී එවැනි පළඟැටියන් කණ්ඩායම් වළලු හැඩැති පර්යේෂණ භූමියක තබා, ඔවුන් කණ්ඩායමක් ලෙස ගමන් කළ යුතු දිශාව තීරණය කරන්නේ කෙසේදැයි නිරීක්ෂණය කළේ ය. එහිදී ඔහු නිරීක්ෂණය කළේ, ඔවුන් කෙටි වේලාවක් එක තැන නතර වී සිටීමෙන් පසු, නිතර ම තම ගමන් දිශාව වෙනස් කරන බවයි.
අවසානයේදී හෙළි වූයේ, පළඟැටියන් වැඩි පිරිසක් ටික වේලාවකට නතර වී උදාසීන තත්ත්වයකට පත්වන එම කෙටි අවස්ථාව නිසා ම, රංචුවට තම පැරණි තීරණය අත්හැර නව තීරණයක් වෙත යා හැකි වන බවයි.
මෙම පර්යේෂණයේදී යේට්ස් මිනිසුන් 19 දෙනෙකු සම්බන්ධ කරගෙන සමාන අත්හදා බැලීමක් ද සිදු කළේ ය. ඒ සඳහා ඔහු සහභාගිවන්නන්ට X හෝ Y යන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට හෝ කිසිවක් තෝරා නොගෙන වැළකී සිටීමට හැකි ක්‍රීඩාවක් භාවිත කළේ ය. පළඟැටියන්ගේ හැසිරීමට සමානව, මිනිසුන්ටත් තීරණයකින් වැළකී සිටීමේ විකල්පය ලබා දුන් විට, කණ්ඩායමට X හෝ Y යන එක් තීරණයක් පිළිබඳ එකඟතාවකට ළඟාවීම වඩාත් පහසු වූ බව ඔහු සොයා ගත්තේය. යේට්ස් පවසන පරිදි, එවැනි අවස්ථාවලදී කණ්ඩායම් "වැඩි වේගයකින් සහ අඩු ගැටුම් සහිතව" එකඟතාවකට පැමිණි අතර, එම වැළකී සිටීමේ විකල්පය නොතිබූ අවස්ථාවලදී එය එතරම් පහසු නොවීය.
ඊට හේතුව ලෙස යේට්ස් පැහැදිලි කරන්නේ, විශාල සහ ඉහළ ක්රියාකාරීත්වයක් ඇති කණ්ඩායමක් තුළ, බොහෝ කුඩා හා ස්වාධීන බලපෑම් රැසක් සාමාන්‍ය බැවින්, කණ්ඩායමේ සමස්ත දිශානතිය වෙනස් කිරීම අපහසු වීමයි. නමුත් බොහෝ පුද්ගලයින් මොහොතකට හෝ මධ්‍යස්ථ ස්ථාවරයකට පැමිණියහොත්, තීරණ ගන්නන්ගේ කණ්ඩායම කුඩා වේ.
"ක්‍රියාකාරීව තීරණයට දායක වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු වූ විට, කුඩා බලපෑමක් වුව ද කණ්ඩායමේ සමස්ත දිශාවට වඩා විශාල බලපෑමක් ඇති කරන බවයි. උදාහරණයක් ලෙස, කුඩා පිරිසක් වෙනත් මතයකට මාරු වීම, කණ්ඩායමේ තීරණය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකිය," යේට්ස් පවසයි.
යේට්ස් පවසන පරිදි, පළඟැටියන් අපට උගන්වන වැදගත් පාඩම වන්නේ මධ්‍යස්ථව සිටීම හෝ තීරණයක් ගැනීමෙන් තාවකාලිකව වැළකී සිටීම, සෑම කෙනෙකුටම තම මතය නැවත සලකා බැලීමටත් අවසානයේ එකඟතාවකට පැමිණීමටත් අවශ්‍ය ඉඩකඩ සලසා දෙන බවයි. එහි ප්‍රධාන පණිවිඩය වන්නේ මෙයයි: පවතින තත්ත්වය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, තීරණයක් ගැනීමට නොහැකි අය ගැන කණස්සල්ලට පත් නොවන්න. ඒ වෙනුවට, වැඩි පිරිසකට ටික වේලාවකට හෝ මධ්‍යස්ථව සිටීමට අවස්ථාව ලබා දෙන්න.
පෞරුෂයක් සහිත කැරපොත්තන්
විවාදයකදී ප්‍රබල පෞරුෂයන් සහිත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිටින විට, සාමූහික නිගමනයකට එළඹීම විශේෂයෙන්ම අපහසු කාර්යයකි. "ප්‍රධාන චරිතයකට හිමි ආධිපත්‍යය" (main character energy) වැනි ස්වභාවයක් පෙන්නුම් කරන බොහෝ දෙනෙකුට, සාමූහික මතය අභිබවා යමින් විවාදය තමන්ට අවශ්‍ය දිශාවට හැරවීමේ හැකියාව පවතී.
නමුත් කැරපොත්තන් යොදා ගෙන කරන ලද අධ්‍යයනයකින් යෝජනා කරන්නේ කණ්ඩායම අතර සිටින ශක්තිමත් පෞරුෂයක් සහිත පුද්ගලයින්ට තීරණ ගැනීම වේගවත් කළ හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Soumyabrata Roy/NurPhoto via Getty Images
ඇතැම් කැරපොත්තන් නිර්භීත වන අතර, අනෙක් සතුන් බියගුලු ය. එබැවින් ජපානයේ ටෝකියෝ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය අයිසැක් ප්ලානාස්-සිට්ජා, කැරපොත්තන් කණ්ඩායම් ලෙස එක්රැස් වන ආකාරය අනුකරණය කරන පරිගණක සමාකරණ සිදු කළේය. උදාහරණයක් ලෙස, ශීතකරණයක පිටුපස ඇති අඳුරු මුල්ලක ඔවුන් සැඟවී සිටින ආකාරය එම සමාකරණ මගින් නිරූපණය කළ හැකි විය. ඔහු එම පද්ධතිය විවිධ ආකාරයෙන් වෙනස් කරමින් පරීක්ෂා කළේ ය. පළමුව, පෞරුෂමය වෙනස්කම් කිසිවක් නොමැති තත්ත්වයක්, දෙවනුව යම් පෞරුෂමය වෙනස්කම් ඇති තත්ත්වයක්, සහ අවසානයේ පෞරුෂමය වෙනස්කම් විශාල වශයෙන් පවතින තත්ත්වයක් ලෙස එය සකස් කළේ ය.
අවසානයේදී හෙළි වූයේ, සියලු ම කැරපොත්තන් එකම ආකාරයෙන් හැසිරෙන බවට උපකල්පනය කළ ආකෘතිවලට, සැබෑ ලෝකයේ කැරපොත්තන් තීරණ ගන්නා ආකාරය නිවැරදිව නිරූපණය කිරීමටවත් නොහැකි වූ බවයි. ඊට වෙනස්ව, පෞරුෂමය විවිධත්වය වැඩි කණ්ඩායම් සාමූහික තීරණවලට වඩා ඉක්මනින් පැමිණියේ ය. ඊට හේතුව වූයේ ඔවුන් අතර සමාජ අන්තර්ක්‍රියා වැඩි වශයෙන් සිදු වීමයි.
"මම ගොඩක් පුදුම වුණා. මම යම්කිසි ප්‍රවණතාවක් දකින්න බලාපොරොත්තු වුණත්, මේ තරම් පැහැදිලි සහ නැවත නැවතත් සිදුවන රටාවක් දැකීමට බලාපොරොත්තු වුණේ නැහැ," ප්ලැනාස් - සිට්ජා පවසයි.
එමගින් අදහස් කෙරෙන්නේ, නිර්භීත හෝ ගවේෂණශීලී සතුන් පමණක් සිටින කැරපොත්තන් කණ්ඩායම්වලට රොක් වී සුදුසු නවාතැනක් තෝරා ගැනීම වඩාත් අපහසු වන බවයි, ඒ, ඔවුන් බොහෝසෙයින් චලනය වන බැවිනි, ඔහු පවසයි. එමෙන් ම, ලැජ්ජාශීලී සතුන් රැසක් සිටින කණ්ඩායම්වලට ඉක්මනින් පදිංචි විය හැකි වුව ද, ඔවුන් දුර්වල නවාතැනක් තෝරා ගැනීමේ අවදානමක් පවතී.
"අවසානයේදී සාමූහික බුද්ධිය මෙහෙයවනු ලබන්නේ සහයෝගීතාවයේ මට්ටම සහ හැසිරීම්වල විවිධත්වය අතර පවතින සියුම් සමතුලිතතාව මගිනි," ප්ලැනාස් - සිට්ජා පවසයි. "මෙවැනි කුඩා සතුන් තුළ පවා පෞරුෂය වැදගත් වන්නේ නම්, සමාජ සංකීර්ණතාවයේ අතිරේක ස්ථර සහිත සමාජවල ජීවත් වන සතුන් කෙරෙහි එමගින් ඇති කළ හැකි බලපෑම ගැන අපට හිතාගන්න පුළුවන්."
තීරණ ගැනීමට පෙර සිතා බලන මැස්සෝ
ඇතැම් අවස්ථාවලදී, අපට අභ්‍යන්තරයෙන් දැනෙන හැඟීම අමතක කර දමා, තර්කානුකූල යැයි අපි සිතන තීරණ ගනිමු. එම තීරණ ඇතුළතින් වැරදි බවක් දැනුණත් එසේ කරන්නෙමු. තවත් අවස්ථාවලදී, අපගේ දැඩි විශ්වාසයන්ට අනුව ක්‍රියා කරමින්, කළ වැරදිවලින් පාඩම් ඉගෙන නොගන්නෙමු.
අපගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ වඩාත් ස්වයං-අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ කෙසේදැයි පලතුරු මැස්සන්ගෙන් අපට බොහෝ දේ ඉගෙන ගත හැකි බව පෙනී යයි.

ඡායාරූප මූලාශ්‍රය, Joao Paulo Burini via Getty Images
පර්යේෂණවලින් පෙන්නුම් කරන්නේ, තමන්ගේ සෑම ක්‍රියාවක් ම තීරණය කිරීමේදී බාහිර තොරතුරු සහ අභ්‍යන්තර සංඥා එකට සම්බන්ධ කර ගැනීමේ හැකියාව පලතුරු මැස්සන්ට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. උදාහරණයක් ලෙස, සුවඳ වර්ග දෙකක් අතර තෝරාගැනීමේදී, එම සුවඳ එකිනෙකට වැඩි වශයෙන් සමාන වන තරමට, මැස්සෝ තීරණයක් ගැනීමට වැඩි කාලයක් ගත කරති. එය හරියට එක් එක් විකල්පයේ වාසි සහ අවාසි කිරා මැන බලනවාක් මෙනි.
රසවත් නමුත් පෝෂණ ගුණයෙන් අඩු ආහාරයක් සහ තිත්ත රසයක් ඇති නමුත් පෝෂ්‍යදායී සීනි සහිත ආහාරයක් අතර තෝරාගැනීමක් කිරීමට සිදු වූ විට, මැස්සන්ට එම තේරීමේ සමස්ත වටිනාකම කිරා බැලිය හැකිය. ඒ අනුව, වැඩි පෝෂණයක් ලබාගැනීම වෙනුවෙන් අප්‍රසන්න රසයක් ඇති ආහාරය පවා ඉවසමින් ආහාරයට ගැනීමට ඔවුන්ට හැකිය.
මැස්සන් තර්ජනයක් සමග ලැබෙන විශාල ත්‍යාගයකට වඩා, අවදානමක් නැති බව තහවුරු කළ හැකි කුඩා ත්‍යාගයක් තෝරාගැනීමට වැඩි ඉඩක් ඇත. නමුත්, ඔවුන් ඉතා කුසගිනිව සිටින විට හෝ දැඩි ආතතියකට පත්ව සිටින විට තත්ත්වය වෙනස් විය හැකිය. ධනාත්මක ගන්ධයක් සමග ත්‍යාගයක් හෝ ඍණාත්මක ගන්ධයක් සමග ත්‍යාගයක් ලබාදීමට පුහුණු කළ විට, නිරෝගී මැස්සෝ බොහෝ විට පැහැදිලිව හඳුනාගත නොහැකි සුවඳක් වෙතත් ළඟා වී, එයින් කුමක් සිදුවේදැයි සොයා බැලීමට කැමැත්තක් දක්වති. එහෙත්, ආතතියට පත් මැස්සෝ එවැනි අවදානමක් ගැනීමට අඩු කැමැත්තක් දක්වති.
මැස්සන් මෙන් ම, ඇතැම් විට අපගේ අභ්‍යන්තර තත්ත්වයන් අපගේ විනිශ්චය කෙරෙහි බලපෑම් කළ හැකි ය. එහෙත්, අපගේ ඉව සහ අත්දැකීම් තුළින් ඉගෙනගත් දේවල්, අප ගැනත් අන් අය ගැනත් අප නිරන්තරයෙන් ලබාගන්නා ඉතා කුඩා සංවේදන කොටස් රාශියකින් සැදුම්ලත් සංකීර්ණ එකතුවක්, ඇතැම් අවස්ථාවලදී හොඳ විනිශ්චයකට එළඹීමට අපට උපකාරී විය හැකි බව ද මැස්සන් අපට සිහිපත් කරයි.






























