මිනිත්තු පහක නර්තන විවේකයකින් හිමිවන පුදුම සහගත ප්‍රතිලාභ

හෙඩ්ෆෝන් සහිතව සංගීතයට සවන් දෙමින්, නටමින් සහ විනෝද වෙමින් සිටින තරුණ කාන්තාවක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, මෙලීසා හෝගන්බූම්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 6

යම් දෙයකට අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය වීමේ සිට ඉහළ නිර්මාණශීලීත්වයක් ලබා ගැනීම දක්වා, නර්තනය මගින් මොළයේ බලය වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිලාභ රැසක් පිරිනමයි. එමෙන්ම එහි බලපෑම විඳගැනීමට ඔබට නර්තනයේ යෙදෙමින් පැය ගණනක් ගත කිරීමට අවශ්‍ය වන්නේ ද නැත.

මම මගේ කාර්යාලයේ පරිගණකය ඉදිරිපිට සිටගෙන, 'ග්‍රීෂ්ම සෘතු ගීත ලැයිස්තුවකට' කිසිඳු ගැලපීමක් නොමැතිව එහා මෙහා සෙලවෙමි. වේලාව දහවල් 01 පමණ වන අතර මම සිටියේ රැකියාවේ නිරත වෙමිනි. නමුත් මෙය වැඩ කල්දැමීමේ ක්‍රමවේදයක් නොවේ. මම නර්තනයේ යෙදෙන්නේ මගේ මොළයට එයින් ලැබෙන ප්‍රතිලාභය නිසා ය.

ව්‍යායාම කළ යුත්තේ කොපමණ ප්‍රමාණයක් ද සහ කුමන අවස්ථාවේදී ද යන්න පිළිබඳව නිමක් නොමැති උපදෙස් තිබේ. බොහෝ විට එය බැරෑරුම් කාරණයකි. නමුත් නිශ්චිත ක්‍රමවේද අනුගමනය කිරීම හෝ ඉරියව් ගැන වද වීම මගින් ව්‍යායාම කිරීමේ ප්‍රීතිය නැති වී යාමට හෝ ඊටත් වඩා නරක ලෙස, එය කල් දැමීමට අප යොමු විය හැක. එහෙත් දවස පුරා ම පාහේ සුළු වශයෙන් චලනය වීම ඉතා පහසු ය.

එබැවින් නර්තනය මගින් මගේ මනෝභාවයට සහ මොළයට ධනාත්මක බලපෑම් රාශියක් ඇති කළ හැකි බව මගේ මිතුරෙකු පැවසූ විට එම ප්‍රතිලාභ නිතර ලබාගත හැකිදැයි සොයා බැලීමට මට අවශ්‍ය විය.

එසේ කිරීමෙන් මගේ මනෝභාවයට සහ ඵලදායීභාවයට කිසියම් යහපත් බලපෑමක් සිදුවේදැයි බැලීමට, සතියක් පුරා දිනපතා නර්තනය සඳහා මිනිත්තු පහක විවේකයක් ලබා ගැනීමට මම මට ම අභියෝග කළෙමි.

පළමු දිනයේදී, දහවල් කාලයේ තනිවම නටමින් සිටීම මට තරමක් අමුතු හැඟීමක් ඇති කළේ ය. නමුත් නැවත වාඩි වූ විට, සාමාන්‍යයෙන් එම වේලාවට දැනෙන වෙහෙස වෙනුවට මට වැඩි ජවයක් දැනුණි. පුදුමයට කරුණක් නම්, එය මට කොතරම් ප්‍රීතිමත් අත්දැකීමක් වූවා ද කිවහොත් තවත් වැඩි වේලාවක් නටමින් සිටීමට පවා මට ආසාවක් ඇතිවිය.

මම අත්විඳි දේ සාක්ෂි මගින් සනාථ කර ඇත. නර්තනය මගින් වෙනත් ව්‍යායාම ක්‍රමවලින් වෙනස් වන ශාරීරික, සංජානනීය සහ සාමාජික ප්‍රතිලාභවල අද්විතීය සංකලනයක් ලබා දෙයි. මම සොයාගත් පරිදි, මිනිත්තු පහක් වැනි සුළු කාලයක් සඳහා වුවද එලෙස සිදු කිරීමෙන්, අපගේ සෞඛ්‍යයට විශේෂයෙන්ම අපගේ මොළයට ධනාත්මක බලපෑම් රාශියක් ඇති කරයි.

නර්තනය මගින් වැඩිදියුණු වන ශාරීරික සුවතාව

අප වයසට යන විට ක්‍රමයෙන් නර්තනයෙන් ඈත් වීමට පෙළඹුණත්, අප ඒ සඳහාම උපත ලබා ඇතැයි නර්තන මනෝවිද්‍යාඥයෙකු මෙන් ම හිටපු වෘත්තීය නර්තන ශිල්පියෙකු වන පීටර් ලොවට් පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නර්තනය මෙතරම් ප්‍රතිලාභදායක වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, එහි ඇති චලනය සහ රිද්මයේ එකතුවයි. ගර්භාෂය තුළ සිටින විට පවා චලනයන් සහ රිද්මයන්ට ප්‍රතිචාර දැක්වීමේ ජීව විද්‍යාත්මක නැඹුරුතාවයක් අප සතුව පවතී. මෑතකදී කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ, අලුත උපන් බිලිඳුන්ට පවා රිද්මයානුකූල රටාවන් හඳුනා ගැනීමට හැකියාව ඇති බව යි.

"වෙනත් ක්‍රියාකාරකමකින් එකවර ලබාගත නොහැකි, අපගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට අතිශයින්ම වැදගත් වන කරුණු තුනක් එකට යා කිරීමට යම් ලෙසකින් නර්තනය සමත් වෙනවා," ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ස්නායු විද්‍යාඥවරියක සහ හිටපු වෘත්තීය බැලේ නර්තන ශිල්පිනියක වන ජූලියා එෆ්. ක්‍රිස්ටෙන්සන් පවසයි.

මා සමග අදහස් දක්වමින් ක්‍රිස්ටෙන්සස් පෙන්වා දෙන්නේ ස්වායු ව්‍යායාම, සමාජීය සබඳතා සහ සංගීතයට අනුගතව තමන්ගේ නිර්මාණාත්මක හැඟීම් ප්‍රකාශ කිරීමෙන් ලැබෙන ප්‍රීතිය එමගින් හිමිවන ප්‍රයෝජන බව යි. නර්තනයට ඔබේ ශාරීරික සුවතාවය වර්ධනය කළ හැකි අතර, අප අන් අය සමග එකතු වී නර්තනයේ නිරත වන්නේ නම් සමාජ ගතවීම මගින් ලැබෙන අතිරේක සෞඛ්‍ය ප්‍රතිලාභද හිමි වේ. අපගේ චලනයන් අන් අයගේ චලනයන් සමඟ එක්වී සිදුකරමින් නර්තනයේ යෙදෙන විට, ශරීරයට සතුට දනවන එන්ඩෝෆින් සහ බැඳීම් ඇති කිරීමට වැදගත් වන හෝමෝන නිකුත් වීම සිදුවේ.


විනෝදජනක නර්තන ක්‍රියාකාරකමක සිසුන්ට නායකත්වය දෙන පාසල් ගුරුවරිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සංජානන ප්‍රතිලාභ

නර්තනය අපට බොහෝ සෙයින් හිතකර වන අතර එයට අපගේ ශරීරයේ බොහෝ කොටස් මෙන් ම අපගේ මොළය ද සම්බන්ධ වේ. නිදහස් චලනයේ නිරත වෙනවා වෙනුවට, ඔබ යම් නර්තන විලාසයක් පුහුණු වන්නේ නම්, ඔබ සංකීර්ණ චලන රටාවක් ඉගෙන ගන්නා අතර සංගීතයට අනුව නිර්මාණය කළ නර්තන පෙළගැස්මක් මතක තබා ගැනීමටද සිදු වේ. මෙලෙස නර්තන විලාසයක් පුහුණු වීමෙන් අපගේ සිතීමේ සහ මතක තබා ගැනීමේ හැකියාව වර්ධනය වන බවට සාක්ෂි පවා ඇත.

මගේ සිදුවීමේදී තනිවම නර්ථනයේ යෙදීමට අලුත් චලනයන් සොයා ගන්නවාට සාපේක්ෂව අන්තර්ජාලයෙන් සොයාගත් නර්තන අනුපිළිවෙලක් අනුගමනය කිරීම පහසු බව මම තීරණය කළෙමි.

මම හුදෙකලාව නර්තනයේ යෙදුණ ද, එය පවා මගේ මුහුණට සිනහවක් එක් කළ බව මම සොයා ගත්තෙමි. අන්තර්ජාලයේ උපදේශකයෙකුගේ සංකීර්ණ නර්තන රටාවන් අනුගමනය කිරීමට උත්සාහ කිරීමේදී ඇතැම් අවස්ථාවලදී මගේ චලනයන් නොගැලපුණ ද පුහුණුවත් සමග මට එම චලනයන් හුරු වූ අතර ඒවා නිවැරදිව කිරීමට වැඩි විශ්වාසයක් ඇති විය.

මොහොතකට අපගේ මනෝභාවය එහා මෙහා ගෙන යමින්, නර්තනය මගින් මානසික සුවතාවය මෙන්ම සංජානනීය සෞඛ්‍යය ද වර්ධනය වන බවත්, මනෝභාවය, විෂාදය අඩු කිරීමට සහ ජීවන තත්ත්වය උසස් කිරීමට අනෙකුත් ව්‍යායාමවලට වඩා වැඩි දායකත්වයක් ලබා දිය හැකි බවත් අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. එමෙන් ම වැඩිහිටියන් අතර ඇතිවන ඩිමෙන්ෂියා අවදානම අඩු කිරීමට ද නර්තනය උපකාරී වන බව සොයාගෙන ඇත.

සුළු වේලාවක් නර්තනයේ නිරතවීම පවා අපට වාසිදායක විය හැක. පාසල් ළමුන් යොදාගෙන මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සමවයස්වල පසුවන්නන්ගෙන් සැදුම්ලත් සමූහ නර්තන ක්‍රියාකාරකමක මිනිත්තු පහක් නිරතවීමෙන් පසුව ළමුන්ගේ ඊළඟ ගණිත පාඩම සඳහා වූ අවධානය යොමු කිරීමේ හැකියාව වර්ධනය වූ අතර අනෙකුත් බොහෝ ස්වායු ව්‍යායාමවලට වඩා ළමුන් එයින් ප්‍රීතියට පත්වූ බව යි. මෙම අධ්‍යයනයේ සම-කතුවරයෙකු වන ග්‍රීසියේ තෙසලෝනිකිහි ඇරිස්ටෝටල් විශ්වවිද්‍යාලයේ ජෛව යාන්ත්‍රික රසායනාගාරයේ සහකාර මහාචාර්ය වසිලියස් පනවුට්සකොපූලස් පවසන්නේ මෙවැනි කෙටි විවේකයන් අවධානය සහ ඵලදායීතාවයට උපකාරී වන බව සහ එසේ නොමැති වුවහොත් "වෙහෙසකර බවක්" ඇතිවිය හැකි බවයි.

නර්තනය අපව වඩාත් නිර්මාණශීලී කරන්නේ කොහොම ද?

"මිනිත්තු පහක නර්තන පුහුණුවකින් වුවද නිර්මාණශීලිත්වය වර්ධනය කරගන්න පුළුවන්. මේක අලුත් අදහස් වර්ධනයේ බලපෑම සම්බන්ධයෙන් ඇති විශාල පර්යේෂණ ප්‍රමාණයකට සම්බන්ධයි," ක්‍රිස්ටෙන්සන් පවසයි. යම් ගැටලුවකට විසඳුමක් සෙවීමට පෙර පසුදිනට කල් තබනවා වැනි සංකල්පයකට සමානව, "ඔබ නර්තන චලනයන්හි යෙදීම මගින් අදාළ ගැටලුව විසඳීමට අවශ්‍ය මොළයේ කොටස් සක්‍රීය කරනවා."

එලෙසම ක්ෂණිකව නිර්මාණය කරමින් සිදුකරන නර්තන මගින් විවිධාකාරයෙන් සිතීමේ හැකියාව එනම් අභියෝගයක් විසඳීම සඳහා නව අදහස් උපදවා ගැනීමේ හැකියාව වර්ධනය කරන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. "අපගේ රාමුගත වූ සිතීමේ රටාවලින් මිදීමට එය උපකාරී වෙනවා," ඇය වැඩිදුරටත් පවසයි.

මම සංකීර්ණ නර්තන පියවර සමූහයක් අනුගමනය කළ ද, නර්තන විවේකයෙන් පසුව මගේ කාර්යක්ෂමතාව (සහ සැබවින්ම මෙම ලිපිය ලිවීමේ ක්‍රියාවලිය) ගැටීමකින් තොරව ගලා යාමට පටන් ගත් බැවින්, මෙම අදහස මා හට ද මැනවින් තහවුරු විය. ඇතැම්විට ඊළඟ අවස්ථාවේදී මම කලින් නොසිතූ, එකවර සිතට එන නර්තන චලනයන් කිහිපයක් කර බලා, එයින් මට තවත් අමතර උත්තේජනයක් ලැබේදැයි බැලීමට සිතා සිටිමි.

ඇත්ත වශයෙන්ම, නර්තනයේ යෙදීමෙන් පැහැදිලි ශාරීරික ප්‍රතිලාභ ද හිමිවේ. එමගින් අපව වඩාත් ශක්තිමත් කිරීමටත්, අපගේ සමතුලිතතාවය වර්ධනය කිරීමටත්, ශරීරය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමටත් හැකි වන අතර, එමගින් ඇද වැටීමේ අවදානම ද අඩු කරයි. පාකින්සන් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා වෛද්‍යවරුන් නර්තනය ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමට එක් හේතුවක් වන්නේ ද එහෙයිනි.

ඔබ ප්‍රියකරන සංගීතයක් සහ රටාවක් සොයා ගැනීම

මෙම පුරුද්ද ආරම්භ කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව අදහස් දක්වන ක්‍රිස්ටෙන්සන් පවසන්නේ, පළමු තීරණාත්මක පියවර ලෙස ඔබ කැමැත්තක් දක්වන සංගීතයකට නර්තනයේ යෙදීම නිර්දේශ කරන බව යි. ඔබට අන්තර්ජාලය ඔස්සේ ඔබ ප්‍රිය කරන නර්තනයක් සොයාගෙන එය අනුගමනය කළ හැකි ය.

අමතර සමාජ ප්‍රතිලාභයක් සඳහා, ක්‍රිස්ටෙන්සන් නිර්දේශ කරන්නේ ආධුනිකයින් සඳහා පැවැත්වෙන පන්තියකට හෝ ව්‍යායාම නර්තන පන්තියකට සම්බන්ධ වීම යි.

ලොවැට් සොයාගත් පරිදි, මිනිසුන් මුහුණ දෙන පොදු බාධාවක් වන්නේ නර්තනයේ යෙදීමට ලැජ්ජාවක් දැක්වීම හෝ ඔවුන්ගේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොමැති වීම යි. අපගේ වීඩියෝ ඇමතුම අතරතුර තම උඩුකය සහ දෑත් සලමින් ඔහු පැවසුවේ අප මෙම බාධාව ඉවත් කළ යුතු බව යි. "අප කළ යුත්තේ සෑම ශරීරයක්ම නර්තනයට සුදුසු ශරීරයක් බව ජනතාවට ඒත්තු ගැන්වීම යි," යනුවෙන් පැවසූ ඔහු තමන් තවමත් දිනපතා නර්තනයේ යෙදෙන බවද සඳහන් කළේ ය.

පැනවුට්සාකොපවුලස් මෙයට එකඟ වන අතර ඔහු පවසන්නේ නර්තනය හෝ වෙනත් යම් ක්‍රියාකාරකමක් වුව ද අප නිවැරදිව හා නිතිපතා ව්‍යායාම කරන විට අපගේ ජීවන තත්ත්වය උසස් වන බව යි. නර්තන ශිල්පීන් නිශ්චිත නර්තන පියවර මතක තබාගෙන අනුගමනය කළ යුතු බැවින්, එමගින් ආත්ම අභිමානය සහ ස්වයං පාලනය වර්ධනය වේ. "ඔබට අවස්ථාවක් තිබෙනවා නම් එය ලබාගෙන උපරිම ප්‍රයෝජන ගන්න," ඔහු පවසයි.

මට නම් මිනිත්තු පහක නර්තන රටාවක් සඳහා අන්තර්ජාලයේ කළ සෙවීමකින් අත්හදා බැලීමට බොහෝ විකල්ප හමු විය. ඉතින් ඔබ ඔබගේ හැකියාවට ගැළපෙන එකක් තෝරා ගැනීමට පමණක් සැලකිලිමත් වන්න. කිසිවෙකු මා දෙස බලා නොසිටි බැවින් මට සැනසීමක් දැනුණ ද, මගේ විශ්වාසය ගොඩනැගුණු පසු විශාල පිරිසක් සමග නර්තනයේ යෙදීම මගේ ඊළඟ පියවර විය හැකි යි.