ඇතැම් පුද්ගලයින් වෙත මදුරුවන් වැඩිපුර ඇදී එන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැත්රීන් වෑන්ග්
- Role, බීබීසී
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
මට මදුරුවන්ගේ ආකර්ෂණය වැඩි යි. කාන්දමක් මෙන් උන් මා සොයාගෙන එයි.
ගිම්හාන නිවාඩුවට මම ලෝකයේ කොතැන සිටිය ද එක් දෙයක් ස්ථිරව ම සිදුවේ: ඒ මට අනිවාර්යයෙන් ම මදුරුවන් දෂ්ට කිරීම ය. එය සති ගණනාවක් පුරාවට මා පීඩාවට පත් කරන කැසීම්, ආසාදන සහ තුවාල හට ගැනීමට හේතු වේ.
කෙසේ වෙතත්, මා සමග සිටින අනෙක් පිරිසට මදුරුවන්ගෙන් කිසිදු උපද්‍රවයක් සිදු නොවේ. ඔවුන්ට එක මදුරුවෙකු හෝ දෂ්ට නොකරයි. ඒ වගේ ම ඔවුන්ට මදුරු දෂ්ටනයක් සිදුවුවහොත් සාමාන්‍යයෙන් රතු පැහැ ලපයක් පමණක් පෙනෙන්නට තිබේ. මගේ මිතුරු මිතුරියන් මට දිගු කාලයක් පුරාවට සරදම් කර ඇත්තේ මගේ රුධිරයේ ආකර්ෂණීය මිහිරි රසයක් තිබිය යුතු බව පවසමිනි.
ඒවා නිවැරදි බව පෙනෙන්නට තිබේ. ශ්වසනය සහ ශරීරයේ ඇති වන දහඩිය ගන්ධය ඇතුළු විවිධ ජීව විද්‍යාත්මක සාධක අපගේ සිරුරෙන් පිටවන අතර මදුරුවන් අප වෙත ඇදී එන්නේ මේවායේ බලපෑම නිසා ය. ඇතැම් පුද්ගලයන්ට මෙම සලකුණු නොබිඳිය හැකි තරම් ශක්තිමත් වේ.
ලේ උරා බොන සත්වයින් ඔබ සොයා එන ආකාර 03ක් වේ.
ඔබ දෂ්ටනයකට ලක්වීමට නියමිත බව සංඥා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව යි
මදුරුවන්ගේ ගැහැනු සතුන් පමණක් මිනිසාට දෂ්ට කරයි. ඔවුන්ගේ බිත්තර මේරීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීම සඳහා එම සතුන් අපගේ රුධිරය වෙත ඇදී එයි. එම සතුන් මීටර් 10ක් (අඩි 33ක්) පමණ ඈත සිට ම තමන්ගේ ඉලක්කය හඳුනා ගැනීමට, පෙනීම මෙන් ම ගන්ධය ද පොදුවේ භාවිත කරයි. ප්‍රාශ්වාසයෙන් සහ සමෙන් අප පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායු ධාරා මේ අතර වේ.
මිනිසාගේ ප්‍රාශ්වාස වාතය කාබන් ඩයොක්සයිඩ් සංඥාවක් යොමු කරන අතර, එමගින් මදුරුවන්ගේ ආඝ්‍රාණ අවයව උත්තේජනය කරමින් ගොදුරක් සොයා යාම සක්‍රීය කරවයි. වැඩිහිටියන් දරුවන්ට සාපේක්ෂව වඩා වැඩි කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පිට කරන බැවින් එම සතුන් වැඩිහිටියන් වෙත ආකර්ෂණය වීමේ ප්‍රවණතාව වැඩි ය.
එයින් අදහස් කරන්නේ, මදුරුවන් මිනිසුන් නොවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභවයන් වෙත ද ආකර්ෂණය වන අතර එමගින් වියළි අයිස් සහ බෝතල් කළ කාබන් ඩයොක්සයිඩ් වායුව මදුරු උගුල් සඳහා ප්‍රයෝජනවත් මෙවලම් ලෙස සුදුසු බව ය.
ශරීර උෂ්ණත්වය නිසා ආකර්ෂණය වැඩි වේ
අධ්‍යයනවලින් පෙනී යන්නේ, මදුරුවන් තාපය හා තෙතමනයට ද ආකර්ෂණය වන බව ය. (කාබන් ඩයොක්සයිඩ් නිසා මේ උණුසුම වෙත ඇති වන ආකර්ෂණය වැඩි වේ).
ගර්භණී කාන්තාවන් වෙත මදුරුවන් ආකර්ෂණය වීම සාමාන්‍ය කාන්තාවන්ට සාපේක්ෂව දෙගුණයකින් වැඩි ය.
ගැබ්ගැනීම නිසා සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය සහ හුස්ම ගන්නා වේගය ඉහළ යන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගෙන් පිට වන තාපය සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද ඉහළ යයි.
''ඔබේ ශරීරය තුළ කුඩා උඳුනක් තිබෙනවා; ඔබ උණුසුම්,'' එක්සත් රාජධානියේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය කීට විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් ලින්ඩ්සේ පවසයි.
ශාරීරික ව්‍යායාමවල නිරත වන පුද්ගලයන්ට ද ව්‍යායාම කරන අතරතුර සහ ඉන්පසුව, තාවකාලිකව මදුරුවන් වැඩි වශයෙන් ආකර්ෂණය විය හැක. එයට හේතුව සිරුරේ පරිවෘත්තීය අවශ්‍යතාව ඉහළ ගොස් කාබන් ඩයොක්සයිඩ් නිපදවීම වැඩි වීම සහ සිරුර වඩාත් උණුසුම් වී දහඩිය දැමීම ය.
සාමාන්‍යයෙන් වැඩි තාපයක් සහ ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් පිට කරන ශරීර ස්කන්ධය සාපේක්ෂව වැඩි පුද්ගලයින් වෙත ද මදුරුවන් ආකර්ෂණය විය හැක.
සමෙන් පිට වන සුවඳ ආකර්ෂණය වැඩි කරයි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මදුරුවන් සමීප වන විට (මීටර් 10ක් හෝ අඩි 33ක් ඇතුළත), ඔවුන් වින්දිතයින් හඳුනා ගන්නේ සමේ සහ හුස්ම හරහා පිට වන ගන්ධය වැනි ඉඟි මාලාවක් භාවිත කරමිනි.
"ශරීරයේ ගන්ධයෙන් තමයි මදුරුවෙකු දෂ්ට කරන්නේ කාට ද කියලා හොයා ගන්නේ'' ලින්ඩ්සේ පවසයි. "කුඩා, වැඩි වාෂ්පශීලීත්වයෙන් යුතු රසායනික ද්‍රව්‍ය තමයි වෙනස ඇති කරන්නේ. මදුරුවන් ජීවත් වෙන්නේ රසායනික ලෝකයක."
අනෙක් විද්‍යාඥයින් සමග එක්වී සිටින ලින්ඩ්සේ ''මිහිරි රුධිරය'' සහිත පුද්ගලයින් වැඩි වශයෙන් මදුරු දෂ්ටනයට ලක්වන බවට පවතින මිථයාව අසත්‍ය බව පැහැදිලි ඇත. ඒ වෙනුවට ඔවුන් සොයා ගෙන ඇත්තේ මදුරුවන් ඇදී එන්නේ අපගේ ආවේණික ''සමේ ගන්ධය'' වෙත බව ය.
සම මතුපිට සිටින ක්ෂුද්‍ර ජීවීන්ට කාබෝහයිඩ්‍රේට, මේද අම්ල සහ පෙප්ටයිඩ බිඳහෙළිය හැක. ඒවා වාෂ්පශීලී කාබනික සංයෝග බවට පත්වන අතර, ඉතා පහසුවෙන් වාතයට මුසු වේ. මදුරුවන්ට මේවා වෙන්කර හඳුනා ගත හැක. අපගේ සම මතුපිට වාෂ්පශීලී කාබනික සංයෝග වර්ග 500කට වඩා ඇත.
මදුරුවන් අපගේ සම මත තිබෙන ඇමෝනියා සහ ලැක්ටික් අම්ලයට ආකර්ෂණය වන අතර කාබොක්සිලික් අම්ල පැවතීම මෙම ආකර්ෂණය වඩාත් ශක්තිමත් කරයි.
එක්සත් ජනපදයේ රොක්ෆෙලර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පැය හයක් පුරා නයිලෝන් අත් ආවරණ පැළඳ සිටි පුද්ගලයින් 64 දෙනෙකුගේ සමේ ගන්ධය විශ්ලේෂණය කලහ. මෙහිදී නයිලෝන් සාම්පල 'සුවඳ එකතු කරන මෙවලමක්' ලෙස ක්‍රියා කළ අතර මදුරුවන්ට මෙම නයිලෝන් සාම්පල තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබිණි. එහිදී කාබොක්සිලික් අම්ල වැඩිපුර අඩංගු පුද්ගලයන්ගේ සුවඳ හඹා යාමට මදුරුවන් පැහැදිලි ලෙස ම පෙළඹෙන බව තහවුරු විය.
පර්යේෂකයින් එක් එක් පුද්ගලයා සඳහා ආකර්ෂණීයතා ලකුණු ගණනය කළ අතර, එහිදී සොයා ගැනුණේ, ඉහළ ම ලකුණු ප්‍රමාණය අඩු ම ලකුණු ප්‍රමාණයට වඩා 100 ගුණයක් වැඩි බව ය. ජීවන රටාව මාරු වුව ද, මෙම වෙනස්කම් වසර ගණනාවක් පුරාවට එක ම මට්ටමක පැවනිණි. "මදුරුවන්ට ඔබේ සාපේක්ෂ ආකර්ෂණය බොහෝ දුරට ස්ථාවර යි," ලින්ඩ්සේ පවසයි.
සම මතුපිට සිටින ක්ෂුද්‍ර ජීවීන්ට මදුරුවන් අප වෙත ආකර්ෂණය වීම කෙරෙහි ද බලපෑම් එල්ල කළ හැක.
නෙදර්ලන්තයේ වැගනින්ගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සොයා ගත්තේ, මැලේරියා මදුරුවන් වැඩිපුර ඇදී යන පුද්ගලයන්ගේ සම මත, අඩු මදුරු ආකර්ෂණය ඇති පුද්ගලයන්ට වඩා වෙනස් බැක්ටීරියා ප්‍රජාවක් සිටි බව ය. එය ප්‍රමාණයෙන් වැඩි නමුත් විවිධත්වයෙන් අඩු එකකි. මෙයට හේතුව මිනිස් සිරුරේ ගන්ධය නිපදවීමේදී සමේ බැක්ටීරියා වැදගත් කාර්ය භාරයක් ඉටු කිරීම විය හැකි අතර, බැක්ටීරියා නොමැති නම් මිනිසාගේ දහඩිය ගන්ධය මිනිසාගේ නාසයට නොදැනේ.
නිවුන් දරුවන් ඇසුරෙන් සිදුකළ අධ්‍යයනවලදී සර්වසම නිවුන් දරුවන් වෙත මදුරුවන් එක හා සමානව ඇදී ගිය ද සර්වසම නොවන නිවුන් දරුවන් වෙත ඇදීයාමේදී වෙනස්කම් තිබිණි. එමගින් යෝජනා කෙරෙන්නේ මදුරුවන් දෂ්ට කිරීමට බලපාන ශරීර ගන්ධය පරම්පරාවෙන් උරුම විය හැකි බව ය.
සියලු දෂ්ටනයන් සමාන නොවේ
මදුරු දෂ්ටනයන් සඳහා පුද්ගලයින්ට වෙනස් මාර්ග ඔස්සේ ප්‍රතික්‍රියා දැක්විය හැක. ජාන ආශ්‍රිතව සිදු කළ පුළුල් අධ්‍යයනයකදී මදුරු දෂ්ට කිරීම් සඳහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ජාන සහ අපගේ ශරීර ප්‍රතික්‍රියා කරන ආකාරය කෙරෙහි ඒවායේ බලපෑම අතර ශක්තිමත් ජානමය සම්බන්ධයක් පවතින බව සොයා ගෙන ඇත. සිත්ගන්නා කරුණ නම්, මෙම ජානමය කලාප අසාත්මිකතාවන්ට සම්බන්ධ ඒවා සමග ද ගැලපීම ය.
මීට අමතරව මදුරු දෂ්ට කිරීම්වලදී විශාල, ප්‍රබල ප්‍රතික්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවක් (ප්‍රමාණය සහ කැසීම) ඔබට මදුරුවන්ගේ ආකර්ෂණයක් ලෙස හැඟෙන්නට පුළුවන. "සමහර අය සිතන්නේ ඔවුන් වැඩිපුර ප්‍රතික්‍රියා කරන නිසා ඔවුන්ට වැඩිපුර දෂ්ට කරනවා කියල යි," ෆර්ගියුසන් පවසයි. "ඇතැම් පුද්ගලයින් නිතර ම මදුරු දෂ්ටනයට ලක්වන නමුත් ප්‍රතික්‍රියා දක්වන්නේ සුළු වශයෙන්."
අප අතර සිටින ඇතැමෙකු ජීව විද්‍යාත්මකව පහසු ඉලක්ක බවට පත් වුව ද, කිසිවෙකුට පූර්ණ ලෙස ආරක්ෂිතව සිටිය නොහැක. ෆර්ගියුසන් පවසන පරිදි "ඔබට මදුරුවන් දෂ්ට කරන්නේ නැහැ කියා ඔබ විශ්වාස කළත්, ඔබ ඔබව ම ආරක්ෂා කර ගත යුතු යි.''































