මහජන ආරක්ෂක අමාත්‍යවරයා සුරේෂ් සලේ සම්බන්ධයෙන් අනාවරණය කළ කරුණු මොනවා ද?
හිටපු යුද හමුදා බුද්ධි අධ්යක්ෂ සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ හා යුක්තිසහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල (ජුනි 10) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.
ඔහු හෙළි කළ පළමු කරුණ වූයේ, තුවාන් (සුරේෂ්) සලේ විසින් පාස්කු ප්‍රහාර මාලාවට සති තුනකට පමණ පෙර මුස්ලිම් ජාතිකයින් සිව් දෙනෙකු යොමු කර මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගි වන පුද්ගලයන් සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට පියවර ගෙන ඇති බව ය.
තුවාන් සුරේෂ් සලේ විසින් මීගමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල සංවේදී තොරතුරු රැස් කිරීමට යොමුකළ මුස්ලිම් ජාතිකයින් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ඨාසයේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් සැකකරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනා ගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත්, එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදන් වී ඇති බවටත් අනවරණය වී අතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ය.
සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද හමුදා බුද්ධි අංශය විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු සපයන්නෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධ අංශයේ බුද්ධි අංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදුකිරීමට අවකාශය සැලසුණු බව සහ පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදුවූවක් බව එම බුද්ධි තොරතුරු සපයන්නා යුද හමුදා බුද්ධි අංශය වෙත දැනුම් දීමෙන් එම බුද්ධි තොරතුරු සැපයූ පුද්ගලයා අනීතකව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට පසුකාලීනව මුදා හැරීමට කටයුතු කර ඇති බවට ද අනාවරණය වී තිබේ.
ඔහුව මුදා හැරීමෙන් පසු, තුවන් සුරේෂ් සලේ විසින් එම බුද්ධි තොරතුරු සැපයූ පුද්ගලයා කොළඹ ගලධාරි හෝටලයට ගෙන්වාගෙන ඔහු හමුවී ඔහු සමග කරුණු සාකච්ඡා කර ඔහුගෙන් සමාව අයැද සිටි බවට මේ වන විට අනාවරණය වී අතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විමර්ශනයට අදාළ පැමිණිල්ලට විෂය මූලික වූ, මොහොමඩ් මිලාර් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා යන අය විසින් බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවේ වැඩසටහනකට හෙළි කරන ලද කරුණු අනුව තුවාන් සුරේෂ් සලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම සැලසුම්සහගතව සකස්කළ බව තහවුරු වී අතැයි ද ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව, මෙරට ජාතික ආරක්ෂාවට දැඩි බලපෑමක් කරමින්, පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර, තවත් පුද්ගලයින් විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කිරීම, අතිවිශාල දේපළ හානියක් සිදුකරමින්, මෙරට ආර්ථිකයට ඍජු බලපෑමක් කරමින් මෙරට ජාතීන් අතර සහසම්බන්ධතා බිඳ දමමින් 2019.04.21 වන දින හා පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාර මාලාව සහ ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නද්ධ බුද්ධි අංශ ප්‍රධානියෙකු සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී හා අන්දෝලනයට තුඩුදුන් කරුණු හෙළිදරව් වීම වැළක්වීමට කටයුතු කර ඇති බවත්, ඒ තුළින් තුවාන් සුරේෂ් සලේ යන සැකකරු 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2, ඌ, 3 ආ, ඈ , 5 අ, 1, 2 වගන්ති යටතේ ගැගෙන වැරදි සිදුකරමින් ඍජු හා වක්‍ර ආකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් කිරීමට එකී පිරිස මෙහෙය වූ පුද්ගලයින් හා පුද්ගලයින් කණ්ඩායම හෝ පාර්ශව හෙළිදරව් වීම වැළැක්වීමට කිරීම කටයුතු කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.









