සුරේෂ් සලේ වධ හිංසාවලට ලක් කර තිබේ ද?: අධිකරණයෙන් විශේෂ නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
අත්අඩංගුවේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවේදී වධ හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුනි 10) පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කළේ ය.
එම වෛද්‍ය මණ්ඩලයට විශේෂඥ මනෝ වෛද්‍යවරුත් තුන් දෙනෙකු සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකු පත් කරන බවත් නියෝගයේ සඳහන් විය.
ඒ අනුව අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය තුසිත මෙන්ඩිස්, චිත්තාහරි අබේනායක, දසන්ති අක්මීමන, දුලයිකා අමරසිංහ වාස්, වජිර ධර්මවර්ධන යන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් අධිකරණය විසින් පත් කරන ලදී.
එම වෛද්‍ය පරීක්‍ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
එම වෛද්‍ය වාර්තාව මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වධ හිංසාවලට භාජනය වී ඇති බවට ඔහුගේ නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් ඉකුත්දා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
එම අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම සැකකරු වධ හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර වාර්තාවක් කැඳවීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ය.
එහිදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් අද මෙම නියෝගය අද නිකුත් කරනු ලැබී ය.
අද දින (ජූනි 10) සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පැවසූ පරිදි, අදාළ නියෝගය පිටු 17කින් සමන්විත වේ.
පිටු 17ක නියෝගයේ සඳහන් වන කරුණු
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අධිකරණයේ පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා ඉකුත් අප්‍රේල් මස 22 වන දා කරනු ලැබූ නියෝගයකට අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් පෝෂණවේදී, අක්ෂි සහ මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට පියවර ගෙන ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු සම්බන්ධයෙන් අදාළ වෛද්‍ය වාර්තා කැඳවන ලෙස නියෝග නිකුත් කර තිබුණේ අදාළ සැකකරු වධ හිංසාවලට භාජනය වී ඇති බවට නිගමනය කිරීම හේතුවෙන් යැයි විත්තියේ නීතිඥවරුන් නිකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 09 (අ) (3) වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවේ පසුවන යම් සැකකරුවෙකු වධ හිංසාවලට භාජනය වී ඇති බවට සෑහීමකට පත්වන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයාට නියෝග නිකුත් කිරීමට හැකියාව පවතින බව නියෝගයේ දැක්වෙයි.
එහෙත් මේ සම්බන්ධයෙන් පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා කර ඇති නියෝගය පරීක්ෂා කිරීමේදී ඔහු අදාළ වෛද්‍ය වාර්තා කැඳවීමට පියවර ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 09(අ)(3) වගන්තිය යටතේ නොවන බවට පැහැදිලි වන බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ ය.
මෙම සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඉකුත් පෙබරවාරි මස 25 වන දා වන අතර එතැන් පටන් අප්‍රේල් මස 22 වන දා දක්වා කාල සීමාව තුළ සැකකරු වධ හිංසාවට භාජනය වී ඇති බව නිශ්චිතව අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු තමන් ඉදිරියට පැමිණවූ අවස්ථාවේදී ද එවැන්නක් සිදු වූ බවට ප්‍රකාශ කර නොමැති බවත් කියා සිටියේ ය.
ඊට අමතරව මෙම සැකකරුට බාහිර තුවාල දක්නට නොලැබෙන බවටත් නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක සිටින බවටත් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බවත් නියෝගයේ ප්‍රකාශ විය.
එමෙන් ම අදාළ වෛද්‍ය වාර්තාව සකස් කළ මුල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය ආයතනයේ වෛද්‍ය සී.ජී.කේ. ප්‍රනාන්දු සමග තවත් වෛද්‍යවරුන් හතර දෙනෙකු සැකකරු පරීක්ෂා කිරීම සඳහා සහභාගි වී තිබෙන බවත්, එම සෙසු වෛද්‍යවරු හතර දෙනා විශේෂඥ වෛද්‍යවරු නොවන බවත් නියෝගයේ සඳහන් කර තිබේ.
එම වෛද්‍යවරුන් අදාළ වෛද්‍ය වාර්තාවට අත්සන් කර නොමැති බවත් නියෝගයේ ප්‍රකාශ විය.
මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ මානසික වෛද්‍ය වාර්තාවේ දින වකවානු සම්බන්ධයෙන් ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ කරුණු දක්වා සිටියේ ය. "පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා විසින් මෙම වෛද්‍ය වාර්තාව කැඳවන ලෙස නියෝග නිකුත් කර තිබෙන්නේ, ඉකුත් අප්‍රේල් මස 22 වන දා. ඒත් එම වෛද්‍ය වාර්තාවේ දිනය වශයෙන් සඳහන් කර තිබෙන්නේ අප්‍රේල් මස 21 වන දා," එවන්නක් සිදුවන්නේ කෙසේ දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ය.
සමස්තයක් වශයෙන් ගත් කළ මෙය පූර්ණ වෛද්‍ය වාර්තාවක් නොවන අතර ඒ තුළින් සැකකරු වධ හිංසනයට භාජනය වී තිබේ දැයි නිගමනය කළ නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් විය.
ඒ අනුව මෙම සැකකරු පරීක්ෂා කර ඔහු වධහිංසාවලට භාජනය වී තිබේ දැයි වාර්තා කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉකුත් නඩු දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු විරෝධය පළ කර තිබිණි.
එම සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම සැකකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් අදාළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීමට තීරණය කරනු ලබන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
මීට පෙර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රනාන්දු දැනටමත් මෙම සැකකරු පරීක්ෂාවට ලක් කර ඇති බැවින්, ඔහු මෙම පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට ඇතුළත් නොකරන බවත් නියෝගයේ දක්වා තිබේ.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ජූලි මස 01 වන දා කැඳවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින අදාළ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් වෛද්‍ය මණ්ඩලයට නියෝග කළේ ය.
'සුරේෂ් සලේ හමුවීමට බිරිඳට සහ පුත්‍රයාට අවස්ථාව දෙන්න'
ඉන් අනතුරුව සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ, රෝහල්ගත වී සිටින සුරේෂ් සලේ හමුවීම සඳහා ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට අවස්ථාව ලබාදී නොමැති බවත් ඊට අවස්ථාව සලසා දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.
ඒ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවා ගෙන සිටින පුද්ගලයෙකු බව ය.
එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේ පැවසීය.


































