ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිසකෙස් වැටීම වැළැක්වීමේ නව සොයාගැනීම මා වැනි කාන්තාවන්ට කෙතරම් වැදගත් ද?
- Author, වික්ටෝරියා ඩර්බිෂයර්
- Role, Newsnight නිවේදිකා
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 12
මගේ හිසකෙස් වැටීමට පටන් ගත් එම මොහොත මට අදටත් ඉතා පැහැදිලිව මතක ය.
සෙනසුරාදා සවසක, මම මගේ මිතුරියගේ 40 වන උපන්දින සැමරුමට සූදානම් වෙමින් හෝටල් කාමරයක හිසකෙස් සෝදමින් සිටියෙමි. ඊට දින 17කට පෙර, මා පියයුරු පිළිකාවට ප්‍රතිකාර ලෙස ලබා ගැනීමට නියමිත රසායනික චිකිත්සා (chemotherapy) ප්‍රතිකාර හයෙන් පළමුවැන්න ලබා ගෙන තිබිණි. ඒ වන විටත් දින කිහිපයක් ම ගතව තිබුණත් හිසකෙස් වැටීමක් සිදු නොවිණි.
එවැනි සිදුවීමටක මුහුණ නොදීමට තරම් වාසනාවන්ත වී ඇතැයි මම සිතුවෙමි.
නමුත් මා මාගේ හිසට ඉහළින් ෂවරය ඇල්ලූ මොහොතේ ගලා ගිය ජලය එක වර ම අඳුරු පැහැ ගන්නට විය. මාගේ දිගු දුඹුරු පැහැති හිසකෙස් රොදවල් සින්ක් එකෙහි ජලය බැස යන සිදුර වටා එකතු වන්නට පටන් ගත්තේ මගේ දෑස් ඉදිරිපිටදී ම ය. එය නතර කිරීමට මට කළ හැකි කිසිවක් නොවිණි.
"අනේ ඇත්තට ම," මා මා වෙත ම කියා ගත්තේ සැබවින් ම මා එවැනි දෙයක් බලාපොරොත්තු නොවී බැවිණි.
රසායනික චිකිත්සාව අතරතුර, ඒ හේතුවෙන් හිසකෙස් වැටීම අවම කරගැනීමට උපකාරී වන අධික ශීතල හිස් ආවරණයක් මම පැළඳ සිටි නමුත් එය සෑම කෙනෙකුට ම සාර්ථක නොවන බව මට පවසා තිබිණි.
මෙය අතිශයෝක්තියක් ලෙස පෙනෙන්නට පෙනුනත්, මට අනුව, හිසකෙස් අහිමි වීම, ශල්‍යකර්මයක් මගින් පියයුරක් ඉවත් කිරීමෙන් සිදුවන අහිමි වීමටත් වඩා දැඩි ලෙස දැනුණු අත්දැකීමක් විය. ඊට හේතුව, හිස කෙසේ නොමැති මා යනු, මා නොවන බැවිණි. හිසකෙස් වැටීම ආරම්භ වන තුරු ම, එය මගේ අනන්‍යතාවේ කොටසක් බවට මට වැටහීමක් නොතිබිණි.
ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුණ දෙන මෙම හිසකෙස් වැටීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමට දැන් තවත් එක් පියවරක් සමීප වී ඇතැයි ජපන් විද්‍යාඥයෝ විශ්වාස කරති.
පර්යේෂකයින් මෙය හඳුන්වන්නේ "දැවැන්ත ජයග්‍රහණයක්" ලෙසයි. මහාචාර්ය ටකාෂි සුජිගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් පවසන පරිදි, මීයන් තුළ හිසකෙස් වර්ධනය වීමේ සම්පූර්ණ චක්‍රය නැවත නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී ඇත. එයින් අදහස් වන්නේ, ස්වභාවිකව ම හිසකෙස් වර්ධනය වීම, වැටීම සහ නැවතස ස්වභාවිකව ම වර්ධනය වීම යන ක්‍රියාවලියයි. දැනට පවතින හිසකෙස් බද්ධ කිරීමේ ක්‍රමවේද මගින් කෙස් වර්ධනය සිදු කළ හැකි වුව ද කාලයත් සමග නැවත නැවතත් වර්ධනය වීම, ගැලවී යාම සහ නැවත හටගැනීම වැනි ස්වභාවික හිසකෙස්වල ක්‍රියාකාරීත්වයට සමාන ලෙස ක්‍රියා කළ හැකි හිසකෙස් කූප (hair follicles) නැවත නිර්මාණය කිරීම වඩාත් දුෂ්කර කාර්යයක් බව ඔප්පු වී ඇත.
පිළිකා ප්‍රතිකාර, ඇලෝපීෂියා වැනි රෝගී තත්ත්ව හෝ වයස්ගත වීම හේතුවෙන් හිසකෙස් වැටෙන කාන්තාවන්ට මෙවැනි නව සොයාගැනීම් ප්‍රබල බලාපොරොත්තුවක් ගෙන දෙයි. කලක් කිසිසේත් ම කළ නොහැක්කක් යැයි සිතූ, අහිමි වූ හිසකෙස් නැවත ලබාගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට මෙයින් මග පෑදේ.
මෙය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපාන පොදු ගැටලුවකි. සමීක්ෂණ මගින් පෙන්වා දෙන්නේ, සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම තම ජීවිත කාලය තුළ යම් අවස්ථාවකදී හිසකෙස් වැටීමේ පීඩාවට මුහුණ දෙන බවයි. මෙතරම් විශාල පිරිසක් මෙම තත්ත්වයෙන් පීඩා විඳිද්දී, හිසකෙස් අහිමි වීම නිසා ඇති වන මානසික බිඳවැටීම සමාජය තවමත් අවතක්සේරු කරන්නේ ඇයි? එමෙන් ම, අපගේ හිස කෙස් ගිලිහී යන විට අප දක්වන ප්‍රතිචාරවලින්, අපේ අනන්‍යතාව, ජීවිතය කෙරෙහි අපට ඇති පාලනය සහ අප අප දෙස ම බලන ආකාරය පිළිබඳව හෙළි කරන්නේ කුමක් ද?
හිස කෙස් හා බැඳුණු ඉතිහාසය
ඉතිහාසය දෙස බැලීමේදී හිසකෙස් යනු හුදෙක් හිසකෙස් පමණක් ම වී නොමැත.
පුරාණ ඊජිප්තුවේ පාරාවෝ රජවරුන් සහ කුලයෙන් උසස් කාන්තාවන් තම බලය සහ ප්රතාපවත් බව පෙන්වීම සඳහා විවිධ මෝස්තරවලින් හැඩ කළ, ගොතන ලද බොරු කෙස් කලඹ පැළඳ තිබේ. මධ්‍යතන යුගයේදී කාන්තාවන්ගේ දිගු කෙස් කලඹ ස්ත්‍රීත්වය සහ පිරිසිදුකම සංකේතවත් කිරීමට භාවිත විය. 17 වන සියවසේදී පිරිමි 'පෙරිවිග්' නම් කැරලි ගැසුණු, ඝන සහ දිගු කෘත්‍රිම කෙස් කලඹ පැළඳුවේ තමන් සතු ධනය සහ සමාජයේ ඉහළ තත්ත්වය ප්‍රදර්ශනය කිරීමට ය. එමෙන් ම 1920 දශකය වන විට 'බොබ් කට්' ලෙස හැඳින්වූ කෙටි කර කපන ලද කොණ්ඩා විලාසිතාවෙන් සැරසුණු කාන්තාවන්ගෙන් නිරූපණය වූයේ කාන්තා නිදහස සහ සාම්ප්‍රදායික මතවාදයන්ට එරෙහිව නැගී සිටීමයි.
"හිසකෙස් අපේ අනන්‍යතාව හැඩගස්වනවා," මනෝවිද්‍යාඥ සිල්වියා කරාසු පවසයි. "එය අපගේ ජීවිතයේ විවිධ අවධීන් කියාපාන ජීව විද්‍යාත්මක, කායික විද්‍යාත්මක මෙන් ම සාමාජයීය සලකුණක්."
ඇත්ත වශයෙන් ම, වෙනත් පුද්ගලයෙකු දෙස බැලීමේදී අපට මුලින් ම දක්නට ලැබෙන්නේ ඔවුන්ගේ හිසකෙස් විය හැකි ය. "කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂභාවය, ජාතිය සහ ආගම බොහෝ විට හඳුනාගත හැක්කේ හිසකෙස්වලින්. එය අපේ අනන්‍යතාව සමග කෙතරම් තදින් බැඳී තිබේ ද කියනවා නම් මිනිසුන් විවිධ කණ්ඩායම්වලට බෙදා වෙන් කර හඳුනාගැනීමේදී හිසකෙස් ඉතා වැදගත් සාධකයක් වෙනවා," යැයි ඇය තවදුරටත් සඳහන් කරයි.
හිසකෙස් යනු මිනිසෙකුගේ ආත්මාභිමානය සමගද ඍජුව ම බද්ධ වී පවතින්නකි. ඉතිහාසය පුරා ම මිනිසුන්ගේ අනන්‍යතාව සහ මානුෂීයභාවය උදුරා ගැනීම සඳහා බලහත්කාරයෙන් හිසකෙස් මුඩු කිරීම දඬුවමක් ලෙස භාවිත කර ඇත. ජර්මානු සිර කඳවුරු තුළදී යුදෙව් ජාතිකයන්ගේ හිස් මුඩු කර, ඔවුන්ගේ ඇඳුම් වෙනුවට සිරකරුවන්ට වෙන්වූ නිල ඇඳුම් ඇන්දවීමට කටයුතු කර තිබේ. 1944දී ප්‍රංශය නිදහස ලැබීමෙන් පසු, ජර්මානු ආක්‍රමණිකයන්ට උදව් කළ බවට චෝදනා ලැබූ දහස් ගණනක් කාන්තාවන්ගේ හිස ප්‍රසිද්ධියේ මුඩු කරනු ලැබුවේ ඔවුන්ට දඬුවම් කිරීමට සහ සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත් කිරීමට ය. එම අවස්ථාවන් නිරූපණය වන වඩාත් ම ප්‍රසිද්ධ ඡායාරූපයක් වන රොබට් කැපාගේ 'The Shaved Woman of Chartres' හි දැක්වෙන්නේ, නළලේ ස්වස්තික ලකුණක් ඇඳ, හිස මුඩු කරන ලද තරුණ මවක ඇය වටා එක් රැස්වි සිටින ජනතාවගේ සමච්චල් මධ්‍යයේ ඇවිද යන අයුරුයි.
හිසකෙස් සතුව මෙතරම් ප්‍රබල සමාජයීය සහ මනෝභාවීය වටිනාකමක් පවතින බැවින්, එය අහිමි වීම මිනිසෙකුට මෙතරම් දැඩි මානසික වේදනාවක් ගෙන දෙන්නේ ඇයි ද යන්න සහ එය කවදා හෝ නැවත යථා තත්ත්වයට පත් කළ හැකි ද යන්න පිළිබඳව වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයින් පර්යේෂණ පැවැත්වීම පුදුමයට කරුණක් නොවේ.
'ඒක නිකම් පෙනුම ගැන හිතලා කරන දෙයක් විතරක් නෙවෙයි'
Future Dreams පුණ්‍යායතනය සමග එක්ව මා විසින් මෙහෙයවනු ලබන 'And Then Came Breast Cancer' පොඩ්කාස්ට් වැඩසටහන වෙනුවෙන්, තම කෙස් කලඹ සමග පවතින බැඳීම පිළිබඳව මම කාන්තාවන් කිහිප දෙනෙකු සමග කතාබහක නිරත වුණෙමි. එහිදී ඔවුන් නැවත නැවතත් මා හා පැවසුවේ එක ම දෙයකි. එනම්, එය පෙනුම ගැන අධික සැලකිල්ලක් දැක්වීමක් නිසා නොවන බවයි.
කොණ්ඩා මෝස්තර ශිල්පිනියක වන නිකී එල්කින්ටන් මා හා පැවසුවේ, රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමේදී තම හිසකෙස් ආරක්ෂා කර ගැනීමට ඇය දැඩි උත්සහයක නිරත වූ බවයි. "ඒක නිකම් පෙනුම ගැන හිතලා කරන දෙයක් විතරක් නෙවෙයි. මිනිස්සු එහෙම හිතුවාට, මේක තමන්ගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්නයක්. පිළිකා රෝගියෙක් වගේ සමාජයට පේනෙන්න ඉන්න මට ඕනේ නැහැ" ඇය පවසයි.
ඇයට අනුව, ඒ දිනවල කෙනෙකුට ඇයට කිව හැකි නරක ම දෙය වූයේ, "කොණ්ඩේ විතරයි නේ, ඒ ගැන හිතන්න එපා" යන්නයි.
පාසලක හෙදි නිලධාරිනියක සහ දෙදරු මවක වන නටාෂා ඇන්ඩර්සන් පැවසුවේ, තමන් කුඩා කාලයේ සිට ම විවිධ කොණ්ඩා මෝස්තර අත්හදා බැලීමට දැඩි සේ ප්‍රිය කළ බවයි. "එක සතියක මම මගේ කොණ්ඩේ ඇෆ්රෝ විදිහට හදනවා, ඊළඟට එක්ස්ටෙන්ෂන්ස් දානවා," ඇය අතීතය ආවර්ජනය කළා ය.
"ඒක කොණ්ඩේ විතරක් ම නෙවෙයි, ඒක මගේ සංස්කෘතියේ කොටසක්."
රසායනික චිකිත්සා ප්‍රතිකාර නිසා තම හිසකෙස් වැටීමට නියමිත බව දැනගත් විට, ඇය ඇගේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ හිස මුඩු කර දෙන ලෙසයි.
"හිස මුඩු කරන අවස්ථාවේදී මට දැනුණේ ලොකු නිදහසක්," ඇය පවසයි. "මොකද, මම තත්ත්වය පාලනයට අරගෙන තිබුණා. හිසකෙස් එකින් එක හැළී යනවා බලාගෙන ඉන්න එක ඊට වඩා මට හුඟක් වේදනාකාරී වුණා."
පිළිකා රෝගයට මුහුණ දීමේදී ඇති අසීරුම තත්ත්වය නම්, ඒ පිළිබඳව අපට කිසිදු පාලනයක් නොමැති වීමයි. රෝග විනිශ්චය, ප්‍රතිකාර ක්‍රමවේද හෝ එහි අතුරු ආබාධ යන කිසිවක් අපට පාලනය කළ නොහැක. මේ නිසා ම, ඇතැම් කාන්තාවන්ට තම හිසකෙස් ස්වාභාවිකව ම වැටී යන තෙක් බලා නොසිට, ඊට පෙර තමන් විසින් ම හිස මුඩු කිරීමට තීරණය කිරීම, තම ජීවිතය කෙරෙහි යම් හෝ පාලනයක් නැවත ලබා ගැනීමට උපකාරී වන ප්‍රබල මනෝවිද්‍යාත්මක පියවරක් බවට පත්වේ.
ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ මා පුදුමයට පත් කළ කරුණක් වූයේ, හිසකෙස් අහිමි වීම පිළිබඳව දක්වන කණස්සල්ල සමාජය විසින් කොතෙක් දුරට බාහිර අලංකාරය පිළිබඳ අනවශ්‍ය ලෙස පසුතැවීමක් ලෙස සලකා බැහැර කරන්නේ ද යන්නයි.
"මොකට ද ඔය හිසකෙස් ගැන වද වෙන්නේ?" ඔයා තවමත් ජීවත් වෙලා ඉන්නවානේ." එය බොහෝ දෙනෙකු අසන ප්රශ්නයකි. එය සාධාරණ ප්‍රශ්නයක් විය හැකිය. ජීවිතය බේරා ගන්නට හැකි වීම නිසා මා සැබවින් ම වාසනාවන්තයෙකු බව සැබෑවකි. නමුත් මාරාන්තික රෝගයකින් ජීවිතය බේරා ගැනීම සහ තම අනන්‍යතාවයෙන් බිඳක් අහිමි වීම ගැන කණගාටු වීම යනු එකිනෙකට පටහැනි කරුණු දෙකක් නොවේ.
සිල්වියා කරාසු පවසන පරිදි අප අතර සිටින බොහෝ දෙනෙකුට තමන්ගේ හිසකෙස් වැටීම යනු "තමන් රෝගියෙකු බව හඟවන ප්‍රධාන සලකුණකි".
බොරු කොණ්ඩය
රසායනික චිකිත්සාව අතරතුරදී මාගේ හිසකෙස්වලින් සියයට 50ත් 75ත් අතර ප්‍රමාණයක් අහිමි විය.
එය සිතාගත නොහැකි තරම් කණගාටුදායක අත්දැකීමක් විය. රිච්මන්ඩ්හි පිහිටි බොරු කොණ්ඩා අලෙවි සලක මා වාඩි වී සිටි අයුරු මට අදටත් මතක ය. එහි හිමිකාරිනිය වූ එමී හෝල්ට්, මගේ ගැටගැසුණු හිසකෙස් පීරද්දී ඒවා ගැලවී ආවේ ය. මට හඬා වැටුණෙමි.
නොටින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂිකාවක වන ඩයෑන් ට්රසන් පවසන පරිදි, පිළිකා රෝග විනිශ්චයකට අමතරව මෙලෙස හිසකෙස් අහිමි වීම "ද්විත්ව අවාසනාවන්ත තත්ත්වයකි."
"ඔබට පිළිකාවක් වැළඳී ඇති බව මුලින් ම දැනගන්නට ලැබෙනවා. අනතුරුව ඔබ ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කරනවා. ඉන්පසුවයි මේ අතිශය දරුණු අත්දැකීමට මුහුණ දෙන්න වෙන්නේ. එය අනෙක් පිරිස ඔබ දෙස බලන ආකාරය පවා සම්පූර්ණයෙන් ම වෙනස් කරනවා. සැත්කම් සහ ඉතා වේදනාකාරී ප්‍රතිකාරවලට අමතරව, දරාගන්නට සිදුවන මේ අමතර පීඩනය ඇත්තෙන් ම දරාගැනීමට අපහසු එකක්."
බොරු කොණ්ඩයක් ලබා ගැනීම මට ඉතාමත් වැදගත් තීරණයක් විය. එය භාවිත කිරීම නිසා මා හට මාගේ දෛනික රූපවාහිනී ප්රවෘත්ති ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කර ගෙන යාමට අවස්ථාව හිමිවිය. මම හිස මුඩු කරගෙන හෝ හිස වටා ආවරණයක් සකසා ගෙන කැමරාව හමුවේ පෙනී සිටීම දකිනවිටදී ප්‍රේක්ෂකයන් අප ඉදිරිපත් කරන ප්‍රවෘත්තිවලින් වෙනතකට අවධානය යොමු කරනවාට මම අකැමති වුණෙමි. එබැවින් එම අවස්ථාවට උචිත විසඳුම වූයේ බොරු කොණ්ඩයක් භාවිත කිරීමයි.
කෙස් කළඹ පරිත්‍යාග කළ හෝ විකුණූ කාන්තාවන්ගෙන් ලබාගත් සැබෑ මිනිස් හිසකෙස් ආධාරයෙන් එමී මා වෙනුවෙන් බොරු කොණ්ඩයක් නිර්මාණය කර දුන්නා ය. එය පළමුවරට දුටු අවස්ථාවේදී මා හට දැනුණේ අමුතු හැඟීමකි.
එය බොහෝදුරට මාගේ සැබෑ කොණ්ඩය ලෙස ම දිස් විය. එහි වර්ණය, හැඩය සහ දිග නිසැකව ම මගේ ම සැබෑ හිසකෙස් ලෙස ම පෙනෙන්නට විය. මට එය විශ්වාස කිරීමට නොහැකි වූ අතර මා හට ඇති වුණේ එකිනෙකට පටහැනි හැඟීම් ගොන්නකි. මගේ දෛනික ජීවිතයේ වැඩකටයුතු සාමාන්‍ය ලෙස පවත්වා ගෙන යාමට එමගින් විශාල පිටුවහලක් ලැබෙන බව වැටහුණු විට මගේ දෙනෙතට කඳුළු ගලා ආ අතර එසැණින් මට දැනුණේ ඉමහත් සතුටකි.
විද්‍යාව තවමත් අභියෝගවලට මුහුණ දෙන්නේ ඇයි?
එසේ වුව ද තවමත්, හිසකෙස් ගැලවී යාම පිටුපස ඇති සැබෑ ජෛව විද්‍යාත්මක හේතු සම්පූර්ණයෙන් වටහා ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී නොමැත.
ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ පටක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන ක්ලෙයාර් හිගින්ස් පවසන පරිදි, හිසකෙස් ගැලවී යාම පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා ප්‍රතිපාදන සහ අවධානය ලබා ගැනීමට වසර ගණනාවක සිට ම දැඩි අරගලයක නිරත වීමට සිදු වී ඇත. විශේෂයෙන් ම කාන්තාවන්ගේ හිසකෙස් වැටීම පිළිබඳව පර්යේෂණ කිරීමේදී මෙම තත්ත්වය වඩාත් බරපතළ ය.
"කාන්තාවන් පිළිබඳව කෙරෙන පර්යේෂණ ඇත්තට ම ප්‍රමාණවත් නැහැ," ඇය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන බොහෝ අධ්‍යයන මගින් පිරිමින්ගේ හිසකෙස් ගැලවී යාම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා හේතු වී ඇත්තේ පිරිමින් බහුලව හිසකෙස් බද්ධ කිරීමේ සැත්කම් සඳහා යොමුවීමයි. එම සැත්කම් නිසා පර්යේෂණ කටයුතු සඳහා හිස්කබලේ පටක සාම්පල පහසුවෙන් ලබා ගැනීමට විද්‍යාඥයන්ට අවස්ථාව හිමි වේ.
"පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාම එකවගේ කියලා මිනිස්සු හිතන නිසා ප්‍රතිකාර කරන්නේ එක ම විදිහට. හැබැයි මම හිතන්නේ නැහැ ඒක ඒ විදිහට විය යුතුයි කියලා," ඇය පවසයි.
පිරිමින්ගේ හිසකෙස් වැටීමේ රටාව එනම් සාමාන්‍යයෙන් නළල දෙපසින් කෙස් අඩුවීම සහ හිස් මුදුනෙන් කෙස් සිහින් වීම පිළිබඳව සිදු කෙරුණු මහා පරිමාණ ජානමය අධ්‍යයන ඇය මෙහිදී නිදසුන් ලෙස දක්වයි. 'Genome-wide association studies' ලෙස හැඳින්වෙන මෙම පර්යේෂණ මගින්, එම තත්ත්වයට බලපාන ජාන කිහිපයක් ම හඳුනා ගැනීමට සමත් වී ඇත. නමුත් සියලු ම පර්යේෂණ සිදු කර ඇත්තේ පිරිමි පාර්ශවය සඳහා යි.
මෑතකදී ජර්මනියේ පර්යේෂකයන් කණ්ඩායමක් කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාමේ රටාව පිළිබඳව ජානමය පර්යේෂණයක් සිදු කළහ. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ මෙම තත්ත්වය දැකගත හැක්කේ හිස් මුදුනෙන් කෙස් ගැලවී යාමෙනි. මෙම පර්යේෂණයේදී විද්‍යාඥයන් බලාපොරොත්තු වූයේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාමට බලපාන ජාන අතර අවම වශයෙන් කුමන හෝ සමානකමක් පවතිනු ඇති බවයි.
"එවැනි දෙයක් තිබුණේ නැහැ," හිගින්ස් පවසයි. මෙම සොයාගැනීම්වලින් පැහැදිලි වූයේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු සම්පූර්ණයෙන් ම වෙනස් විය හැකි බවයි (කෙසේ වෙතත් මේ සඳහා බලපාන හේතු මොනවා ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට මෙතෙක් නිගමනයකට පැමිණීමට නොහැකි වී ඇත).
"අපි දන්නවා කේෂ කූප තුළ ඇති සෛල අපට අහිමි වෙනවා කියලා. හැබැයි ඒ සෛල මිය යනවා ද, නැත්නම් වෙනත් ස්ථානයකින් හට ගන්නවා ද කියන්න අපි තවමත් දන්නේ නැහැ. ඇත්තට ම හිසකෙස් ගැලවී යාමේ ක්‍රියාවලිය ගැන අපි දන්නේ හරි ම පොඩි දෙයක් පමණයි."
හිසකෙස් වැටීම වළක්වා ගැනීමට නව බලාපොරොත්තුවක්
ජපානයේ මහාචාර්ය සුජී සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ කාර්යභාරය අතිශයින් ම වැදගත් වන්නේ එබැවිනි. ඔහු සහ ඔහුගේ කණ්ඩායම විශ්වාස කරන්නේ ප්‍රහේලිකාවක් විසඳා ගැනීමට අඩුවක්ව පැවති ප්‍රධානතම කොටසක් ඔවුන් සොයා ගෙන ඇති බවයි.
දිගු කලක් තිස්සේ, හිසකෙස් වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු සෛල වර්ග දෙකක් ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කළහ. ඒවා නම්, මුලින් ම හිසකෙස් කූපය නිර්මාණය කරන අපිච්ඡද ප්‍රාථමික සෛල (epithelial stem cells) සහ හිසකෙස් වර්ධනය විය යුත්තේ කවදාදැයි සංඥා ලබා දෙන ඩර්මල් පැපිලා සෛල (dermal papilla cells) ය.
කෙසේ වෙතත් මෙම සෛලවලට රසායනාගාරයක් තුළ පමණක් කෙස් ගස් වර්ධනය කිරීමේ හැකියාවක් නොමැත. ඒවා මගින් හිසකෙස් වර්ධනය කළ හැක්කේ සම මත බද්ධ කර ඊට යටින් ඇති පටක සමග සම්බන්ධ කළහොත් පමණි.
නමුත් සුජි පවසන්නේ, 'හිසකෙස් කූප පුනර්ජනනයට සහාය වන සෛලයක්' ලෙස හැඳින්වෙන "නව තුන්වන සෛල වර්ගයක්" තම අධ්‍යයනය මගින් හඳුනාගත් බවයි.
වඩාත් ම වැදගත් කරුණ නම්, මෙම නව සෛලය සොයා ගැනීමත් සමග රසායනාගාරයක් තුළ හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාව වෙත විද්‍යාඥයන් තවත් එක් පියවරක් ඉදිරියට තැබීමයි. "සරලව ම පවසනවා නම්, අපගේ අධ්‍යයනය මගින් සොයාගෙන ඇත්තේ හිසකෙස් කූපවල වර්ධනය, ප්‍රසාරණය සහය වන සෛල වර්ගයක්" සුජී පවසයි.
සුජී පවසන පරිදි මෙම සොයාගැනීම විශාල ජයග්‍රහණයක් වන අතර, එය අධික ලෙස හිසකෙස් වැටීමේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී සම්පූර්ණ පෙරළියක් ඇති කළ හැකි සාධකයකි.
මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ ක්ලෙයාර් හිගින්ස් පවා මෙය ඉතා වැදගත් සොයාගැනීමක් බව පිළිගනියි. ඇය පවසන්නේ මීට පෙර සිදුකළ පර්යේෂණවලින් රසායනාගාර තුළ නිර්මාණය කිරීමට හැකි වූයේ අසම්පූර්ණ හිසකෙස් කූප පමණක් බවයි.
"මීට පෙර කිසිවෙකුටත් මේ ආකාරයෙන් සම්පූර්ණ ස්වාභාවික චක්‍රයක් සහිත හිසකෙස් කූප නිපදවීමට හැකි වී තිබුණේ නැහැ. එය ඇත්තෙන් ම විශාල සාර්ථකත්වයක්," වෙනත් ආකාරයකින් පවසන්නේ නම් මෙම හිසකෙස් කූපවලට අපගේ සාමාන්‍ය හිසකෙස් මෙන් ම නැවත වර්ධනයවීමට, හැළී යාමට සහ නැවත වර්ධනය වීමට හැකියාව තිබිණි.
මෙම පර්යේෂණය දැනට සිදුකර ඇත්තේ මීයන් සඳහා පමණි. ඒ සඳහා බොහෝ දුරට යොදාගෙන තිබුණේ මීයන්ගේ මුඛය ආශ්‍රිතව පවතින රෝමවලින් ලබාගත් සෛල වේ. මිනිස් හිසකෙස් වර්ධනය වීමේ ක්‍රියාවලිය මීට සාපේක්ෂව සංකීර්ණ වන නිසා මෙම සොයාගැනීම් මිනිසුන් සඳහා භාවිත කළ හැකි මට්ටමට දියුණු කිරීම තවමත් අභියෝගයකි.
සුජී තවමත් ඒ පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටියි. "අපි විශ්වාස කරනවා දැන් අපි වෙනදාට වඩා සමීපයට පැමිණ සිටිනවා කියලා."
බලාපොරොත්තුවේ සේයාවක්
පසුගිය වසරේදී උත්සවයකට සහභාගී වී සිටි වේල්සයේ කුමරිය වන කැතරින් කුමරියගේ සමීප ඡායාරූපයක් සහිත සමාජ මාධ්‍ය සටහනක් මම දුටුවෙමි. එහි සරලව ම සඳහන් කර තිබුණේ "ඒක කැත විග් එකක්" ලෙසයි. මට එය දැනුනේ කුරිරු සහ සිත රිදවන ප්‍රකාශයක් ලෙසයි.
ඇයට සිදු කළේ කුමන ආකාරයේ පිළිකා ප්‍රතිකාරයක් ද, ඇගේ හිසකෙස් හැළී ගියේ ද එසේ නොමැතිනම් ඇය සැබවින් ම විග් එකක් පැළඳ සිටියා ද යන්න අප කිසිවෙකු නොදනී. මම රසායනික චිකිත්සා ප්‍රතිකාර ලබමින් සිටි කාලයේ යමෙකු මා පිළිබඳ එවැන්නක් පැවසුවේ නම් මට අවශ්‍ය වනු ඇත්තේ කිසිවෙකුට නොපෙනෙන ලෙස නිවසට වී සිටීමටයි.
රෝගාබාධයක් හේතුවෙන් හිසකෙස් වැටීම කිසිවෙකු ස්ව-කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. එය අපට මුහුණදීමට සිදුවන තත්ත්වයකි. මා හට පවා එය දරාගැනීමට සහ පිළිගැනීමට අපහසු විය.
මෙය වැදගත් වන්නේ කොණ්ඩය යනු හුදෙක් කොණ්ඩය පමණක් ම නොවීම හේතුවන් ය.
අප බොහෝ දෙනෙකුට හිසකෙස් යනු අපගේ අනන්‍යතාවයි, අපගේ පෞද්ගලිකත්වයයි, එමෙන් ම අපගේ පාලනය සහ ආත්මවිශ්වාසය රැක දෙන මාධ්‍යයකි. හිසකෙස් අපට මෙතරම් ම වටින්නේ ඇයිදැයි මා පවසන්නේ එබැවිනි.
ප්‍රධාන ඡායාරූපය: Getty Images
අමතර වාර්තාකරණය: ෆ්ලෝරන්ස් ෆ්රීමන්