විභාග වංචා මැඩලන්න යට ඇඳුමින්

සිය යටි ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, සිය යටි ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු
Published

හමුදා සේවයට අයදුම් කළ තරුණයන් සිය ගණනකට සිය යට ඇඳුමින් ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට සිදු වූ පුවතක් අසල්වැසි ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ඉහත කී අයදුම්කරුවන්ට ඇඳුම් උනා දැමීමට නියෝග කොට ඇත්තේ විභාග වංචා වැළැක්වීමේ අරමුණිනි.

සිය යට ඇඳුමින් පමණක් සැරසුණු අපේක්ෂකයන් මුසාෆර්පර් නගරයේ එළිමහන් භූමියක් මත හිඳ සිටින අයුරු ඡායාරූපවල දැක් වේ.

අයදුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බැවින් වෙන් වෙන්ව ඔවුන් පරීක්ෂා නොකොට කාලය කළමනාකරණය කර ගැනීමේ අරමුණින් එම පියවර ගත් බවයි ඉන්දීය හමුදාව කියා සිටියේ.

හමුදාව අයදුම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ ඉහත කී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් එක් විභාග අපේක්ෂකයකු 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පතට සිය නොසතුට පළ කොට ඇත.

පැය කීපයක් පුරා පැවති ලිඛිත පරීක්ෂණය සඳහා විභාග අපේක්ෂකයන් 1,159 දෙනකු ඉදිරිපත් වී සිටි බව බලධාරීහු පවසති.

විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය
ඡායාරූප ශීර්ෂ වැකිය, විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය

බිහාර් ප්‍රාන්තය ඇතුළු උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ බොහොමයකින් විභාග වංචා හා සම්බන්ධ පුවත් නිතර වාර්තා වේ.

විභාග අපේක්ෂකයන්ට පිළිතුරු පත්‍ර ලබා දීම සඳහා දෙමව්පියන් සහ ඔවුන්ගේ මිතුරන් විභාග ශාලා ගොඩ නැගිල්ලේ බිත්ති මත නැග සිටින අයුරු දැක්වෙන ඡායාරූප පසුගිය වසරේදී මාධ්‍ය තුළ පළ විය.

විභාග වංචාවලට තිත තැබීමේ අරමුණින් සිර දඬුවම් සහ දඩ මුදල් නියම කරන බව බලධාරීන් නිවේදනය කළේ පසුගිය ජනවාරි මාසයේදී.