'පරාගපෝෂිතයන් විනාශයෙන් ලෝකය බඩගින්නේ'

Published

ලෝකයේ මී මැස්සන් ඇතුළු පරාගපෝෂණයේ යෙදෙන සතුන් වඳවී යාමේ තර්ජනයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනතුරු අඟවයි.

මෙම හේතුව නිසා ලෝකයේ ආහාර භෝග වැවීමට සහ ස්වාභාවිකව පරිසරයෙන් ආහාර ලබා ගැනීමට නොහැකි වන තත්වයක් උදා විය හැකි බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

සමනල සහ මීමැසි වර්ග ගණනාවක් මේ වන විට සම්පුර්ණයෙන්ම වඳවී යාමට මුහුණ පා සිටින බවට එක්සත් ජාතීන්ගේ වාර්තාව කරුණු ඉදිරිපත් කරයි.

සත්ව ලෝකය

විශේෂයෙන්ම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ මල් පැණි ආහාරයට ගන්නා කුඩා කුරුළු වර්ග, වයිවාරන පියාපත් සහිත කුරුමිණි විශේෂ මෙන්ම වවුල් පවුලට අයත් ජීවීන් වඳ වීමට ලක්ව තිබේ.

සත්ව ලෝකය විනාශ වීම ඇතුළු ඉහත කී පරිහානියට හේතූන් වී ඇත්තේ මිහිතලයේ උණුසුම ඉහළ යාම සහ අධික ලෙස කෘමි නාශක භාවිතය බව වාර්තාවේ කතුවරු පෙන්වා දෙති.

පෘතුවියේ ජෛව විවිධත්වය මැන බැලීම සඳහා වසර දෙකක කාලයක් මුළුල්ලේ ලොව වටා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද දත්ත එක්රැස් කිරීම් සහ විශ්ලේෂණය කිරීම් පාදක කර ගෙනයි මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙන්නේ.

මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවකදී මෙම වාර්තාවේ සත්‍යයතාව සහ විශ්වසනීය බව පිළිගෙන තිබේ.