පකිස්තානයේ දිස්ත්‍රික්කයක වැලන්ටයින් තහනමක්

Published

පකිස්තානයේ වයඹ දිග දිස්ත්‍රික්කයක ආදරවන්තයන්ගේ දිනය සැමරීම ප්‍රදේශයේ බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබේ.

පේශාවර් නගරය අසල කොහාත් ප්‍රදේශ බලධාරීන් පොලිසියට නියෝග කර තිබෙන්නේ සති පොළවල් සහ කඩ සාප්පු වල විකිණීමට තිබෙන 'වැලන්ටයින් සැමරුම් පත්' සහ තෑගි සියල්ල ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ දක්වා කොහාත් බලධාරීන් තහනමට හේතු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නැත.

ඉස්ලාම් අන්තවාදී දේශපාලන පක්ෂයක් මගින් මෙම දිස්ත්‍රික්කයේ පාලනය ගෙන යන අතර ගතානුගතික වාදය මුල් බැස ගත් ගෝත්‍ර මෙම දිස්ත්‍රික්කය මායිම් කරගෙන ජීවත් වෙති.

රොමෑන්ටික ප්‍රේමය පකිස්තානු සංස්කෘතියට එරෙහි බවටයි ඉස්ලාම් අන්තවාදීන් දිගින් දිගටම තර්ක කරන්නේ.

'වැලන්ටයින්' දිනය පකිස්තානයේ සෑම වසරකම වාණිජ වශයෙන් ඉතා ප්‍රසිද්ධ සැමරුම් දිනයක් වශයෙන් පැවැත්වෙන අතර චොකලට්, මල් පොකුරු සහ සැමරුම් පත් අලෙවිය ඉතා ඉහල මට්ටමක පවතියි.