මිනිස් හස්තයකට සමාන රොබෝ අතක්

Published

3D මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කරමින් නිර්මාණය කළ පහසු මිලට සැපයීමට හැකි කෘතීම රොබෝ අතක් වෙනුවෙන් මෙවර ඩයිසන් සම්මානය හිමිව තිබේ.

ජීවීන් හෝ ජීවී අංග ලෙස ක්‍රියාකරන යාන්ත්‍රික ක්‍රම අධ්‍යයනය කිරීම තුලින් නිමවා ඇති මෙම රොබෝ හස්තය දැනට වෙළඳ පොලේ පවතින කෘතීම අත් වලට වඩා භාවිතා කිරීමට පහසු, වඩා ප්‍රතිඵලදායක සහ අඩු මුදලට මිලට ගැනීමට හැකි අයුරින් නිපදවා තිබේ.

ජේම්ස් ඩයිසන් අධ්‍යන පීටය නව නිපැයුම් කරුවන්ට අත දීමට සහ වැඩි දුර අධ්‍යනය සඳහා පහසුකම් සපයන ආයතනයක් වන අතර වසරක් පාසා හොඳම නව නිපැයුමට සම්මානයක් පිරිනමයි.

මෙම නව නිර්මාණය බිහි කළ ජීවී අංග ලෙස ක්‍රියාකරන යාන්ත්‍රික කොටස් නිපදවීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය සැපයූ බ්‍රිතාන්‍යයේ නිපැයුම් කරුවකු පවසන්නේ දින දෙකක් වැනි කෙටි කාලයකදී පුද්ගලයෙකුගේ අහිමි වූ හස්තයක් වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම නිර්මාණය කළ කෘතීම රොබෝ අතක් නිපදවීමට සිය කණ්ඩායමට හැකි බවයි.

ඔබ වෙනුවෙන්ම නිම කළ රොබෝ අතක්

දැනට වෙළඳපොළේ පවතින ආදේශක නිෂ්පාදන නිපදවීමට සති කිහිපයක සිට මාසයක කාලයක් ගත වන අතර ඒ වෙනුවෙන් දැරීමට සිදු වන වියදමද අධිකයි.

නව රොබෝ හස්තයේ නිපැයුම් කණ්ඩායමේ සාමාජිකයකු වන ජොයෙල් ගිබ්බාර්ඩ් පවසන්නේ නව නිෂ්පාදනය එළඹෙන වසරේ වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු බීබීසියට කියා සිටියේ අවම ක්‍රියාකාරිත්වයේ සිට ඉතා දියුණු සියුම් ක්‍රියාකාරකම් කිරීමට හැකි මිනිස් අතකට බොහෝ සමාන රොබෝ අත් විවිධ මිල ගණන් වලට වෙළඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සිය නව නිපැයුමේ ඇති විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ නව රොබෝ හස්තය ඉතා අඩු බරකින් යුතු අතර සැහැල්ලු බැවින් භාවිතය ඉතා පහසු අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට අවැසි පරිදි වෙනස්කම් කිරීමට හැකියාව පවතින බවයි.

සැබෑ මිනිස් අතක ඇට සැකිල්ලක ආකාරයෙන් යාන්ත්‍රික සර්කිට් කොටස නිමවා ඇති මෙම කෘතීම රොබෝ හස්තය පිටින් පෙනෙන ආකාරය තමන්ට කැමති විලාසිතාවකට, පැහැයකට සහ බරකට නිම කර ගැනීමට ඇති හැකියාව විශේෂ බවයි එහි නිපැයුම් කරුවන් පවසන්නේ.

මෙම අපුරු රොබෝ හස්තයේ අදහස ඉදිරිපත් කළ වයස අවුරුදු 25 පසුවන නිපැයුම් කරු එක් නිෂ්පාදනයක් පවුම් දෙදහසකට අලෙවි කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

නම්‍යශීලී සන්ධි

රබර් අඩංගු ප්ලාස්ටික් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇති රොබෝ හස්තයේ සන්ධි ඉතා නම්‍යශීලී වන අතර බිත්තරයක් වුවත් කැඩීමෙන් තොරව ඇඟිලි අතර රඳවා ගැනීමට හැකියාව පවතියි.

යමෙකු සෙමින් කෙනිත්තීමේ සිට ඉතා දැඩි ග්‍රහණයක් දක්වා විහිදුනු ක්‍රියාකාරීත්වයක් ඇති රොබෝ හස්තය එහි මෙහෙයවන්නා විසින් නිකුත් කරන සංඥා වලට ප්‍රතිචාර දැක්වීම මගින් ක්‍රියා කරයි.

හස්තයේ හිමි කරුවාගේ සමට සම්බන්ධ කරන ලද සංඥා හඳුනා ගැනීමේ කොටස් මගින් රොබෝ හස්තය හසුරුවයි.

වැලමිටෙන් පහළ හස්තයේ කොටසක් අහිමි පුද්ගලයන්ට භාවිතා කිරීමට හැකිවන පරිදි නිමවා ඇති මෙම රොබෝ හස්තය සම්පුර්ණයෙන්ම සිය දෑත් අහිමි වුවන්ට භාවිතා කිරීමට හැකි අයුරින් වැඩි දියුණු කිරීමයි මෙහි නිපැයුම් කරුගේ මීළඟ උත්සාහය.