බංකොලොත් ගුවන් තොටුපලක් යුරෝ 10000කට?

Published

බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි අත්හැර දමනු ලැබූ ගුවන් තොටුපලක් සඳහා ලැබී ඇති වැඩිම ලංසුව යුරෝ දසදහසක් පමණයි.

එය ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයක්.

ස්පාඤ්ඤ ආර්ථිකය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පැවති සමයේ ඉදි කරනු ලැබ ඇති ඉහත කී ගුවන් තොටුපලට ලංසු තැබීමට ඉදිරිපත් වී ඇත්තේ එක් සමාගමක් පමණි.

ඒ ආයෝජකයන්ගෙන් සැදුම්ලත් ජාත්‍යන්තර මට්ටමේ චීන සමාගමක්.

ව්‍යාපාරික අවශ්‍යතා මත යුරෝපය බලා පැමිණෙන චීන සමාගම් සඳහා ඇතුළ්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ගුවන් තොටුපල යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ලංසු ඉදිරිපත් කළ සනීන් ජාත්‍යන්තර සමාගම පැවසුවේය.

මැඩ්රිඩ්හි පිහිටි ගුවන් තොටුපලට විකල්පයක් වශයෙන් දකුණු මැඩ්රිඩයේ ඉදි කරනු ලැබූ මෙම ගුවන් තොටුපල සඳහා වැය කොට ඇති මුදල යුරෝ කෝටි සියයක්.

වසරකට ගුවන් මගීන් ලක්ෂ විසිපහකට සේවය සැපයීමට දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපලේ ඉඩ පහසුකම් ඇත.

දෙදහස් අට වසරේ විවෘත කරනු ලැබූ ගුවන් තොටුපල බංකොලොත්භාවයට පත් වීම හේතුවෙන් දෙදහස් දොළහ වසරේදී වසා දමනු ලැබීය.

දකුණු මැඩ්රිඩ් ගුවන් තොටුපල සඳහා බලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබුණු අවම ලංසු මුදල යුරෝ මිලියන විසි අටක්.

නමුත් ඉදිරිපත් කෙරුණු ලංසු මුදලට ගුවන් තොටුපල විකිණෙනු ඇත්දැයි යන්න මේ දක්වා පැහැදිලි නොමැති අතර වෙන්දේසි පටිපාටියට බාහිරින් වෙනත් ගැනුම්කරුවකුට ඒ සඳහා ඉදිරිපත් වීමට තවමත් ඉඩකඩ පවතියි.

දෙදහස් එකොළහ වසරේ විවෘත කරන ලද ස්පාඤ්ඤයේ නැගෙනහිර පිහිටි තවත් ගුවන් තොටුපලක් මේ හා සමාන ඉරණමකට මුහුණ දී ඇත්තේ ඊට එකඳු ගුවන් යානයක්වත් ගොඩ බස්වා නොමැති කම හේතුවෙන්.