ඔබේ වටපිටාවේ වාතයේ ගුණාත්මකභාවය පෙන්වන ස්වාභාවික දර්ශක
Published
ගල් හා ගස් මත වැඩෙන වර්ණවත් ශාක හෝ ඇල්ගී වැනි ජීවීන් විශේෂ මොනවා දැයි කෙදිනක හෝ කල්පනා කර තිබේ ද?
ලයිකන යනු දිලීරයකින් හා ඇල්ගී විශේෂයකින් නිර්මාණය වූ සංකීර්ණ ජීව ස්වරූපයකි. පෘථිවි පෘෂ්ඨයෙන් 7%ක් පමණ ආවරණය කරන ලයිකන, ගෝලීය ජෛව විවිධත්වයේ ප්‍රධාන අංගයක් වන අතර ආකාර කිහිපයකින් ම අපට ඇදහිය නොහැකි තරම් ප්‍රයෝජනවත් වේ.
"ඒවා සජීවී ෆොසිල ලෙස හඳුන්වන්න පුළුවන්. අවුරුදු 8600ක් විතර පැරණි බවට ඇස්තමේන්තු කර ඇති ඇතැම් ලයිකන පෘථිවිය මත ඇති පැරණිතම ජීවීන් අතරට අයත් වෙන බව සැලකෙනවා.," යනුවෙන් ලන්ඩන්හි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ (Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ආචාර්ය ගෝතමී වීරකෝන් පැවසුවාය.


