'නරක හැසිරීම නිසා' ජස්ටින් බීබර්ට චීනය තහනම්

Justin Bieber
Published

කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි.

"නරක හැසිරීමක්" සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් සංස්කෘතික අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

"ජස්ටින් බීබර් යනු ඉතාමත් දක්ෂ ගායකයෙක් වන නමුත් ඔහු මතභේදයට ලක් වූ විදේශීය ගායකයෙකි," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

සබැඳි යොමු:

අමාත්‍යාංශය එම නිවේදනය නිකුත්කර තිබෙන්නේ සංස්කෘතික බියුරෝවේ වෙබ් අඩවිය හරහා එය භාවිතා කරන්නෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

'මිලිටරිවාදී ඉතිහාසය'

"ජස්ටින් බීබර් කරුණු කාරණා වටහා ගන්නා වැඩි වියට එළැඹි, සිය වචන සහ හැසිරීම පාලනය කරගනිමින් ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන ගායකයෙකු බවට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු," යනුවෙන් ද නිවදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Justin Bieber

කැනඩා ජාතික යොවුන් ගායකයා ආසියාව තුළ මතභේදයට ලක් වූ පළමු වතාව මෙය නොවේ.

ජපානයේ තෝකියෝ නුවර පිහිටි මතභේදයට ලක් වූ යසුකුනි පුද බිමේ සංචාරයක යෙදීම හේතුවෙන් 2014 දී ජස්ටින් බීබර් සමාජ ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්විය.

යුද බිමේදී මිය ගිය ජපාන සෙබළුන්ට සහ යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූවන්ට උපහාර පිදීම පිණිස යසුකුනි පුද බිම ඉදිකර තිබේ.

කෙසේ නමුත් චීනය සහ දකුණු කොරියාව එය සලකන්නේ ජපානය සිය අධිරාජ්‍යවාදී යුගය සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් නොදැක්වීම පිළිබඳ සංකේතයක් වශයෙනි.

එහි සංචාරය කිරීම ගැන යොවුන් ගායකයා පසුව සමාව අයැද, ඒ සම්බන්ධ ඡායාරූප ද සමාජ ජාලවලින් ඉවත් කළ නමුත් චීනය ඒ පිළිබඳව දැඩි කෝපය පළ කළේය.

Justin Bieber

"ජපානයේ මිලිටරිවාදය, ආක්‍රමණ සහ ජපානයේ මිලිටරිවාදයේ මූලාශ්‍ර පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව" ඔහු යසුකුනි පුද බිමෙන් පිටව යන්නට ඇතැයි විශ්වාස කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ඒ අවස්ථාවේ සඳහන් කළේය.

සිය Purpose World Tour සංගීත චාරිකාවේ කොටසක් වශයෙන් ජස්ටින් බීබර් ලබන සප්ත්මබර් මාසයේ ආසියානු කලාපීය රටවල ගීත ලෝලීන් පිනවීමට නියමිතය.

ජපානය, හොංකොං, පිලිපීනය, සිගප්පූරුව සහ ඉන්දුනීසියාව ඔහුගේ සංචාරයට ඇතුළත් වේ.