"වන සතුන්ගේ අගය ජීවත් වන විටයි"

ගිනිබත් කෙරුණ සත්ව මළ සිරුරු සහ අවයව
ඡායාරූප ශීර්ෂ වැකිය, ගිනිබත් කෙරුණ සත්ව මළ සිරුරු සහ අවයව
Published

හාරදහසකට අධික වනසතුන්ගේ මෘත කලේබර විනාශ කර දමනු ලැබීමට නේපාල බලධාරීහු පියවර ගත්හ.

එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නා ලද්දේ අනවසර දඩයක්කාරයන් විසින් වනසතුන් මරා දමනු ලැබීම සහ වනජීවී වෙළෙඳාම අකර්මණ්‍ය කිරීමටයි.

සඳුදා (මැයි 22) කත්මන්ඩු අගනුවරින් දකුණු දෙස පිහිටි චිට්වාන්(Chitwan) ජාතික වනෝද්‍යානයේ දී ප්‍රසිද්ධියේ පුළුස්සා දමන ලද සත්ව මළ සිරුරු අතර ඉතාම දුර්ලභ රයිනෝ ජීවීන්ගේ අං මෙන්ම දිවි සහ ව්‍යාඝ්‍ර සම් දක්නට ලැබුණි.

ගිනිබත් කරන ලද වනසතුන් අතර හිම ව්‍යාඝ්‍රයකුගේ සහ අඳුන් දිවියන් දෙදෙනෙකුගේ සිරුරු ද විය.

නේපාලයේ මෙවැනි ගිනි තැබීමක් මෙයින් වසර විස්සකට පෙරත් සිදුකර ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, නේපාලයේ මෙවැනි ගිනි තැබීමක් මෙයින් වසර විස්සකට පෙරත් සිදුකර ඇත.

සත්ව මළ සිරුරුවලට ගිනි දැල්වීම කරන ලද්දේ නේපාලයේ විදේශ ඇමති ප්‍රකාශ් ෂරාන් මහත් (Prakash Sharan Mahat)විසිනි.

වනසතුන්ගේ ශරීර අවයව වටින්නේ එම සතුන් මරණයට පත්වූ විට නොව ජීවත්ව සිටියදීය යන පණිවුඩය සමාජයට දීම සත්ව සිරුරු ප්‍රසිද්ධයේ ගිනිබත් කිරීමේ අරමුණ වූ බව ඇමතිවරයා පවසයි.

එම ක්‍රියාව මගින් සතුන් සහ සත්ව අවයව විකිණීම අකර්මණ්‍ය කෙරෙන බව නේපාල වන සහ පරිසර ආරක්ෂාව පිලිබඳ අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් මහේෂ්වර් ධකාල්(Maheshwar Dhakal) සඳහන් කරයි.

නේපාලයේ මෙවැනි ගිනි තැබීමක් මෙයින් වසර විස්සකට පෙරත් සිදුකර ඇත.

කිලෝග්‍රෑම් 1100 ට වැඩි ඇත්දළ ගිනිබත් නොකෙරුණි
ඡායාරූප ශීර්ෂ වැකිය, කිලෝග්‍රෑම් 1100 ට වැඩි ඇත්දළ ගිනිබත් නොකෙරුණි

මෙවර ගිනි දැල්වීම සිදු කෙරුණේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට සමගාමීවයි.

වන සතුන් විනාශ කරන දඩයක්කාරයන්ට එරෙහිව ගෙනයන සටනේ දී නේපාලය එක්තරා ජයග්‍රහණයක් ලැබ ඇත.

ඒ අනුව පසුගිය දශක දෙක ඇතුළත නේපාල වන අඩවියෙහි රයිනෝ සහ ව්‍යාඝ්‍රගහනය සැලකිය යුතු මට්ටමින් වැඩි වී ඇතිබවක් ඇස්තමේන්තු කෙරෙයි.

ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව නේපාල වනගැබෙහි ව්‍යාඝ්‍රයන් 198 ක් සහ රයිනෝ ජීවීන් 645 ක් ජීවත් වෙති.

මෙවර ගිනි දැල්වීම සිදු කෙරුණේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට සමගාමීවයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවර ගිනි දැල්වීම සිදු කෙරුණේ ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට සමගාමීවයි.

මෙයින් දශක දෙකකට පෙර එරට වත්කම වුනේ ව්‍යාඝ්‍රයන් 91ක් සහ රයිනෝ 372 කි පමණි.