බාලදක්ෂ පදක්කම: මී මැසි පාලනයේ සිට ඩිජිටල් නිර්මාණකරු දක්වා

බාලදක්ෂිකාවෝ
Published

බේඩන් පවල් සාමිවරයා විසින් 1910 දී ආරම්භ කරන ලද බාලදක්ෂ ව්‍යාපාරය එවක් පටන් කෙතරම් වෙනස් වී සහ ජනප්‍රිය වී තිබෙන්නේද යත් බ්‍රිතාන්‍යයේ පමණක් තරුණ, තරුණියන් 51,000 ක් එයට සම්බන්ධවීම පිණිස පොරොත්තු ලේඛණයේ රැඳී සිටිති.

නිසි පරිදි ගැටයක් ගැසීමේ සිට කඳවුරකදී ගිනිමැලයක් දැල්වීම සහ ඡායාරූප ශිල්පය වැනි අංශවල දක්වන දස්කම් වෙනුවෙන් පදක්කම් දිනාගැනීම බොහෝ බාලදක්ෂයන්ගේ බලාපොරොත්තුවයි.

එදා සිට අද දක්වා ඒ පදක්කම් විකාශනය වූ ආකාරය ඔබ දැන සිටියාද?

1911 දී පිරිනැමුණු පදක්කම්

මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමිවන පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 1911 දී මී මැසි පාලනය පුහුණුවීම වෙනුවෙන් හිමි වූ පදක්කම

මී මැසි පාලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා පූර්ණ දැනුමක් ලබාගැනීමෙන් අනතුරුව මී මැසි පාලනය පුහුණුවීම් පදක්කම දිනාගත හැකිය.

භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 1911 දී භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම

භාෂා පරිවර්තකයාට හිමිවන පදක්කම දිනාගැනීම පිණිස අදාළ භාෂාවෙන් සරල සංවාදයක යෙදී, සරල ලිපියක් ලියා, සිය මවු භාෂාව නොවන වෙනත් භාෂාවකින් ප්‍රකාශයට පත්කෙරුණ පොතකින් ඡේදයක් කියවා එය පරිවර්තනය කළයුතුය.

1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 1911 දී විදුලි කාර්මිකයන්ට හිමි වූ පදක්කම

සරල විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කිරීම, බිඳවැටුණු විදුලි පරිපථ ඛණ්ඩනයක් සහ විදුලි පරිපථයක් (fuse) අලුත්වැඩියා කිරීම, විදුලි කම්පනයකට මුහුණදුන් පුද්ගලයකුට ප්‍රතිකාර කරන අන්දම ඇතුළු කරුණු පිළිබඳව අවබෝධයක් තිබීම 'විදුලි කාර්මිකයා' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම් වේ.

ලිපිකරු පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලිපිකරු' පදක්කම

පැහැදිලි අත් අකුරු, යතුරු ලියනය භාවිත කිරීමේ හැකියාව, කියවන විට ලිවීමේ හැකියාව, විනාඩි පහකට පෙර කියවණු ලැබූ ඡේදයක් මතකයෙන් යළි ලිවීමේ හැකියාව ඇතුළු කරුණු 'ලිපිකරු' පදක්කම දිනාගැනීම පිණිස සැපිරිය යුතු සුදුසුකම්ය.

2017 පදක්කම්

ඩිජිටල් නිර්මාණකරු පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම

අන්තර්ජාල ක්‍රියාකාරකමක නිරතවීම සහ සමාජයේ යහපත පිණිස සමාජ ජාල සහ ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකි ආකාරය සොයාබැලීම 'ඩිජිටල් නිර්මාණකරු' පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණු වේ. අන්තර්ජාලය මගින් එල්ලවන තර්ජන පිළිබඳවද අවබෝධයක් තිබිය යුතුය.

'වීදි ක්‍රීඩා' පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 'වීදි ක්‍රීඩා' පදක්කම

මේ පදක්ක දිනාගැනීම පිණිස බාලදක්ෂයා නිරන්තරයෙන් පුවරුවක් මත ලිස්සා යන skateboarding වැනි ක්‍රීඩාවක නිරතවිය යුතු අතර, සිය ක්‍රීඩා කුශලතාව වැඩි දියුණු වී ඇති බව පෙන්වීම පිණිස ක්‍රීඩා තරගාවලියකටද සහභගි විය යුතුය.

ලෝක ආගම් පදක්කම
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලෝක ආගම්' පදක්කම

සිය ආගම නොවන ආගමකට අයත් සිද්ධස්ථානයකට ගොස් එම ආගමේ නිර්මාතෘවරයාගේ ජීවිතය පිළිබඳව හැදෑරීම මෙම පදක්කම දිනාගැනීම පිණිස අත්‍යවශ්‍ය කරුණකි.

(බීබීසී නිව්ස්බීට් වැඩසටහන ඇසුරෙන්)