"රෝහින්ග්‍යා ගම්මාන ගිනිබත් කිරීමට හමුදාව සම්බන්ධයි"

Burmese Security Forces near Wa Peik Village.

ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch

Published

රෝහින්ග්‍යා මුස්ලිම් ගම්මාන ගිනිබත් කිරීමට මියන්මාර හමුදා සම්බන්ධ වී ඇතැයි සනාථ කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප තමන් සතු බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.

එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියේ ඡායාරූපවලට අනුව ගිනි තබන ලද නිවාසවලට නුදුරින් හමුදා රථ නවතා තිබෙනු දැකිය හැකි බවය.

ඒ සම්බන්ධයෙන් මියන්මාර ආණ්ඩුව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. එහෙත් ජාත්‍යන්තරයේ අනුකම්පාව ලබා ගැනීමේ අරමුණින් රෝහින්ග්‍යා ප්‍රජාව විසින්ම ඔවුන්ගේ නිවාසවලට ගිනි තබනු ලැබ ඇති බවට ආණ්ඩුව මීට ඉහතදී චෝදනා කළේය.

ඔක්තෝබරයේ නැවතත් ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමත් සමග මියන්මාරයේ සුළුතරයක් වන රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් දස දහස් ගණනක් අසල්වැසි බංගලාදේශය වෙත පළා ගොස් තිබේ.