තහංචියෙන් පසු බුර්කිනියට ඉහල ඉල්ලුමක්

බුර්කිනි යන වචනයේ සන්නාම අයිතිය තමා සතු බව පවසන අහිඩා zසනෙටි
ඡායාරූප ශීර්ෂ වැකිය, බුර්කිනි යන වචනයේ සන්නාම අයිතිය තමා සතු බව පවසන අහිඩා zසනෙටි
Published

ප්‍රංශ බලධාරීන්ගේ තහංචියට ලක් වීමෙන් අනතුරුව බුර්කිනි අලෙවිය දෙගුණ වී ඇති බව බුර්කිනියේ නිර්මාණ ශිල්පිනිය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු කාන්තාව පැවසුවාය.

'බුර්කාවේ' සහ 'බිකිනියේ' සංකලනයක් ලෙස මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ නාන ඇඳුම 'බුර්කිනිය' ලෙස නම් තැබුණි.

බුර්කිනිය ලා ගත් කාන්තාවගේ මුහුණ, අත්ල සහ දෙපතුල් හැර මුළු සිරුරම ආවරණය වෙයි.

බුර්කිනි යන වචනයේ සන්නාම අයිතිය තමා සතු බව පවසන අහිඩා zසනෙටි කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ බුර්කිනි අලෙවිය සියයට දෙසීයකින් ඉහල ගොස් ඇති බවයි.

හතළිස් අට හැවිරිදි zසනෙටි දිවි ගෙවන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යි.

'බුර්කාවේ' සහ 'බිකිනියේ' සංකලනයක් ලෙස මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ නාන ඇඳුම 'බුර්කිනිය'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බුර්කාවේ' සහ 'බිකිනියේ' සංකලනයක් ලෙස මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ නාන ඇඳුම: 'බුර්කිනිය'

නාන ඇඳුම 'නිදහස සහ සෞඛ්‍ය සම්පන්න දිවිය' නියෝජනය කරන්නක් මිස හිංසාවක් නොවන බවයි ඇය පවසන්නේ.

'මම 'ඔසී' කිරිල්ලියක්. මගේ මුළු දිවියම ගත කළේ ඕස්ට්‍රේලියාවේ. මම දන්නවා හිජාබ් කියන්නේ මොකක්ද කියල, මම දන්නව වේල් එක කියන්නේ මොකක්ද කියල, මම දන්නව ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල. ඒ වගේම මම දන්නව මම කව්ද කියල' අහිඩා zසනෙටි පවසන්නීය.

මෙම නාන ඇඳුම මුලින්ම ඇය නිමවා ඇත්තේ මුස්ලිම් කාන්තාවන්ට ඕස්ට්‍රේලියානු වෙරළේ දිය කෙළියේ යෙදීමට යි.

'තෝරා ගැනීමේ නිදහස ඇතිව මගේ දියණියන් හැදෙනවට මම කැමතියි. මගේ දියණියන්ට බිකිනිය අඳින්න අවශ්‍ය නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත. මේ ලෝකේ කිසිම පිරිමියෙකුට අයිතියක් නැහැ අපි ඇඳිය යුතු ඇඳුම තීරණය කරන්න.' ඇය තවදුරටත් කියා සිටියාය.

'මගේ දියණියන්ට බිකිනිය අඳින්න අවශ්‍ය නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'මගේ දියණියන්ට බිකිනිය අඳින්න අවශ්‍ය නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත'

ප්‍රංශයේ කොර්සිකා දූපතේ නගරාධිපතිවරයා, මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන 'බුර්කිනි' නම් මුළු ශරීරයම ආවරණය කෙරෙන නාන ඇඳුම් තහනම් කිරීමට පසුගිය දා පියවර ගෙන තිබුණි.

නගරාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ඉස්ලාම් භක්තික පවුල් කිහිපයක් සහ ප්‍රාදේශීය තරුණ කණ්ඩායමක් අතර හටගත් ගැටුමක් සැලකිල්ලට ගෙනයි.

පසුගිය සෙනසුරාදා කොර්සිකා වෙරළේ සිටි 'බුර්කිනි' හැඳගත් කාන්තාවන් අසලින් ගමන් ගත් සංචාරකයෙකු විසින් ඡායාරූප ගැනීම වැළක්වීමට උත්සාහ කළ ඉස්ලාම් භක්තිකයන් සහ ප්‍රාදේශීය තරුණ පිරිස් අතර ගැටුම් ඇවිලී තිබේ.