සිනමාවේ දේශපාලනයට පාලක පන්තිය බයයි - සත්‍යජිත්

Published

ශ්‍රී ලාංකික සිනමාව හරහා මතු කෙරෙන දේශපාලනයට පාලක පන්තිය දැඩි බියක් දක්වන බව 'බොර දිය පොකුණ' සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරයා පවසයි.

දේශීය සිනමාව තුළින් මතු කෙරෙන දේශපාලනය හරහා ශ්‍රී ලංකාවේ ජනසමාජයට බලපෑමක් සිදු වෙතැයි යන පාලක පන්තිය තුළ වූ සැකය හේතුවෙන් ඇතැම් චිත්‍රපට වාරණයට ලක් වන බවයි සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් මාඉටිපේ කියා සිටියේ.

එම සැකය හේතුවෙන් වර්තමානයේ පමණක් නොව මීට දශක ගණනාවකට පෙර බිහි වූ සිනමා කෘතිද ඇතැම් වාරණයන්ට ලක් වූ බව සත්‍යජිත් මාඉටිපේ කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ හා සාකච්ඡාවකට එක් වෙමින්.

'බොර දිය පොකුණ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බොර දිය පොකුණ'

‘මතභේදයකට තුඩු දුන් කාරණයක් තියනවා මීට දශක ගණනාවකට පෙර. ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ සාගරයක් මැද චිත්‍රපටය කිසියම් කාලයකදී තහනමට ලක් වුනා. ඒකට හේතුව එවකට පාලක පන්තියේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙක් විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වැළැක්වීමයි’ ඔහු පැවසීය.

අසූ තුනේ ජූලි කලබල හරහා මතු වූ ජාතිකත්වය පිළිබඳ වූ අර්බුදය, යුද්ධය සහ අසූ අට අනූව අතර ඇති වූ තරුණ පිබිදීම යන කරුණු සමග ඇති වූ සංකීර්ණ දේශපාලනික තත්වයන් සමග සිනමාවෙන් කියවෙන දේශපාලනයට වැට බැඳුණු බවයි සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් මාඉටිපේ සඳහන් කළේ.

'සැකය සහ බිය'

'බොර දිය පොකුණ'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බොර දිය පොකුණ'

‘පාලක මණ්ඩලය සහ පාලක මණ්ඩලය විසින් පත් කරනු ලබන පරීක්ෂණ මණ්ඩලයට හැමදාම ලංකාවේ දේශපාලනය සම්බන්ධව, චිත්‍රපටකරනයේ කියන දේ පිළිබඳ සැකයක් හා බයක් කිසියම් ආකාරයක තිබුණා’ ඔහු කියා සිටියේය.

'බොර දිය පොකුණ' අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේ
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බොර දිය පොකුණ' අධ්‍යක්ෂක සත්‍යජිත් මාඉටිපේ

2004 වසරේදී නෙදර්ලන්තයේ ‘රෝටර්දාම්’ ජාත්‍යන්තර සිනමා උළෙලේ තරගකාරී අංශයේ ‘ටයිගර් සම්මාන’ නාම යෝජනා ලබා ප්‍රථම වරට තිරගත වූ 'බොර දිය පොකුණ' සිනමා සිත්තම 2004 සිට 2010 වසර දක්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීමේ අර්බුදයක් තිබූ බව එහි අධ්‍යක්ෂ සත්‍යජිත් මාඉටිපේ පැවසුවේය.

‘චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලය සමඟ දිගින් දිගටම සාකච්ඡා කරලා 2010 නොවැම්බර් මාසයේ නිදහස් කරගන්නා තුරු මණ්ඩලය ඉල්ලා සිටියා ඇතැම් දර්ශන සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඇතැම් දෙබස් සම්පූර්ණයෙන්ම කපා හරින ලෙස.නමුත් එකෙන් චිත්‍රපටයේ කතා පුවතට ලොකු හානියක් වෙන බව මමත් සියලු ශිල්පීනුත් පෙන්නල දුන්නා’ ඔහු සිහිපත් කළේය.

සත්‍යජිත් මාඉටිපේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සත්‍යජිත් මාඉටිපේ

ඒ සම්බන්ධයෙන් බලධාරීන් හමු වී කරුණු ඉදිරිපත් කළ බවත් අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

‘එක සභාපතිවරයෙක් කිවුව සත්‍යජිත් මේ චිත්‍රපටයේ ලිංගික දර්ශන හුඟාක් ස්වභාවිකයි. පරීක්ෂණ මණ්ඩලය කැළඹීමට ලක්වෙන එක හේතුවක් එකයි. අනික ප්‍රේම සම්බන්ධය මුල් කර ගෙන ඇතිවෙන ඇතැම් දෙබස් සම්මත කියල පිළිගන්නේ නැති ඒ කියන්නේ කුණුහරුප කියන එක. කෙසේ නමුත් එළිපිට කතා කළ එම කරුණුවලට අමතරව චිත්‍රපටයේ සැඟවී තිබුණා යැයි ඔවුන් සැකකරන දේශපාලනයක් හේතුවෙන් චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසර නොලැබුනේය යන්න ඇතැම් විචාරකයන්ගේ මතයයි’ ඔහු පැවසීය.

'බොර දිය පොකුණ' රචනය කළ වකවානුවේදී සහ ඒ සඳහා කරුණු සෙවීමේදී ඒ තුළ සැඟවී තිබුණා යැයි පැවසෙන දේශපාලනය සම්බන්ධයෙන් එහි රචකයා වශයෙන් තමාට පවා සවිඥානක බවක් නොතිබුණු බවත් සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් මාඉටිපේ වැඩිදුරටත් කියා සිටියේය.