අලි පැටවුන් 40 නීති විරෝධී බාරයේ

Published

නීති විරෝධී ලෙස පෞද්ගලිකව රඳවා තබා ගෙන සිටින අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්නය පරිසර සංවිධාන විසින් ඉකුත් වසර කිහිපය පුරාම දිගින් දිගටම මාධ්‍ය මගින් සාක්ච්ජාකල අතර බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව.

එම පරිසර සංවිධාන වලින් එකක් වන පරිසර සංරක්ෂණ බාරය විසින් අදාළ තොරතුරු රැසක් අනාවරණය කෙරිණ.

එහි විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර පැවසුවේ විධිමත් වැඩපිළිවෙළක් දියත් කිරීමට වත්මන් රජය සමඟ සාකච්ඡා කරන බවයි.

නීති විරෝධී ආකාරයෙන් අලි ඇතුන් රඳවා තබා ගෙන ඇති ආකාරය ගැන පරිසර සංරක්ෂණ බාරය විසින් අධ්‍යයන ගණනාවක් සිදු කොට ඇති බවයි ඔහු පැවසුවේ.

නීති විරෝධී ලෙස වනාන්තරයෙන් අල්ලා ගෙන ළඟ තබා ගෙන සිටින අලි පැටවුන් 24 දෙනකු පිළිබඳව 2013 වසරේදී පරිසර සංරක්ෂණ බාරය විසින් මුලින්ම තොරතුරු ඉදිරිපත් කල බවයි පරිසර සංරක්ෂණ බාරයේ විධායක අධ්‍යක්ෂ සජීව චාමිකර ප්‍රකාශ කළේ.

නීති විරෝධී ලෙස අලි පැටවුන් ඇල්ලීම මුලින්ම ආරම්භ වුයේ 2007 වසරේදී බවත්, මේ වන තුරු කාල පරාසය තුළ අලි පැටවුන් 40 කට වැඩි සංඛ්‍යාවක් මේ ආකාරයෙන් රඳවා ගෙන සිටින බව තම සංගණනවලින් අනාවරණය වන බවත් ඔහු පැවසුවේය.

මේ අතරින් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉතාමත්ම නිවැරදි ලෙස සකස් කළ, නීති විරෝධී ආකාරයෙන් නිකුත් කළ බලපත් යටතේ අලි පැටවුන් 14 දෙනෙකු රඳවා ගෙන සිටින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් තහවුරු කොට ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

නීති විරෝධී ලෙස රඳවා ගෙන අලි ඇතුන් නිදහස් කර ගැනීම සඳහා නව රජයට බලපෑම් කරන බවයි ඔහු කියා සිටියේ.