පාස්කු ප්‍රහාරය: ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් කාත්තන්කුඩියෙන් හමු වෙයි

සහරාන් කල්ලිය සඟවා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් හමුවෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානා නාශක උණ්ඩ 11ක් හමු විය
Published

අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ සහරාන් ඇතුළු අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම සමග සබඳතා පැවති බවට සැක කෙරෙන පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව කාත්තන්කුඩි ප්‍රදේශයේ වළ දමා තිබූ අවි ආයුධ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියා සිටියේ පසුගිය ජූනි 14 වෙනිදා ජෙඩා නුවර සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් සැකකරුවන් පස් දෙනා අතර සිටි හයාදු මොහම්මදු අහමඩ් මිල්හාන් නැමැත්තා දුන් ප්‍රකාශයක් අනුව ගොස් ඉහත කී අවි ආයුධ සොයා ගත් බවය.

අහමඩ් මිල්හාන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බ්‍රහස්පතින්දා (ජූනි 27) කාත්තන්කුඩිය පොලිස් වසමේ මුල්ලිකුලම් ප්‍රදේශයට ගොස් තිබිණි.

එහිදී මිල්හාන් නමැති සැකකරු හෙළි කළ තොරතුරු මත ප්‍රදේශයේ කැළෑබද පාළු ඉඩමක ස්ථාන කිහිපයක වළ දමා තිබූ ආයුධ තොගයක් සොයා ගැනීමට හැකි වූ බව ප්ලිසිය පවසයි.

Sri Lanka Police

හමුවූ අවි ආයුධ අතර ගුවන් යානා නාශක උණ්ඩ 11ක් ද තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පොලිසිය පවසන පරිදි එහිදී සොයා ගැනුණු අවි ආයුධ:

  • ගුවන් යානා නාශක උණ්ඩ - 11
  • ජෙලට්නයිට් කූරු - 369
  • කඩු - 30
  • ඩෙටනේටර් - 1500
  • ද්‍රව ජෙලට්නයිට් - කිලෝග්‍රෑම් 10
  • ටී 56 ජීව උණ්ඩ - 475
  • ඩෙටනේටර් වයර් - අඩි 210
  • මිලිමීටර් 5.6 ජීව උණ්ඩ - 33

ඉහත කී අවි ආයුධ සහ උපකරණ "ප්ලාස්ටික් බටවල බහා දෙපස මුද්‍රා තබා ඉඩමේ ස්ථාන කිහිපයක වළ දමා තිබූ," බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සැකකරුවන් 5 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන තවදුරටත් විමර්ශන සිදු කරන බවය.

Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka Police
Sri Lanka Police