'නාඳුනන සොල්දාදුවාගේ' ස්මාරකයට ජනපති උපහාර

ජනපති ඇතුළු දූත පිරිස නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය හමුවේ
Published

රුසියාවේ තුන් දින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන "නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය" වෙත ගොස් මල් කළඹක් තැන්පත් කොට පුෂ්පෝපහාර දැක්වීය.

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු වතාව මෙයයි.

ජනපති ඇතුළු දූත පිරිස නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය හමුවේ

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.

ජයන්ති සිරිසේන මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර ධීවර කටයුතු, සංචාරක කටයුතු, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අංශවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජයන්ත්, එස්බී නාවින්න සහ මහින්ද සමරසිංහ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සංචාරයට එක් වී සිටිති,

ජනපති ඇතුළු දූත පිරිස නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය හමුවේ