බූසාන් චිත්‍රපට උළෙලෙන් 'ශ්‍රී ලංකාවට පාඩමක්'

සංජීව පුෂ්පකුමාර බූසාන් උළෙලේ
ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිපීනයේ චිත්‍රපට නවයක් මේ උළෙලේ ප්‍රදර්ශනය කළා. නමුත් ලංකාවේ එක චිත්‍රපටයයි ප්‍රදර්ශනය කළේ - සංජීව පුෂ්පකුමාර
Published

බූසාන් වැනි ජාත්‍යන්තර සිනමා උළෙලවලින් ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට බොහෝ පාඩම් උකහාගත හැකි බව ශ්‍රී ලාංකීය තරුණ සිනමා ශිල්පියෙකු පවසයි.

විශේෂයෙන්ම පිලිපීනය, තායිවානය වැනි රටවල සිනමා කර්මාන්තය භාරව කටයුතු කරන ආයතන, බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සහභාගි වී සිය රටවල නිෂ්පාදන සම්බන්ධයෙන් ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කළ බව 'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සඳහන් කළේය.

"නමුත් අපේ රටේ එහෙම කිසිම කෙනෙක් නැති නිසා අපේ තරුණ සිනමාකරුවන්ට තමන්ගේ ම උත්සාහයෙන් තමා හැම දෙයක්ම කරන්න වෙලා තියෙන්නේ," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

දැවෙන විහඟුන් චිත්‍රපටයේ දර්ශනයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ දර්ශනයක්

"පිලිපීනයේ චිත්‍රපට නවයක් මේ උළෙලේ ප්‍රදර්ශනය කළා. නමුත් ලංකාවේ එක චිත්‍රපටයයි ප්‍රදර්ශනය කළේ," ඔහු සඳහන් කළේ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය සමඟ බූසාන් උළෙලට සහභාගි වී සිටියදී බීබීසී සංදේශයට අදහස් දක්වමිනි.

ආසියාවේ ප්‍රධාන ම සිනමා උත්සවය වන දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල සෙනසුරාදා රාත්‍රියේ උත්සවාකාරයෙන් නිමාවට පත්විය.

'දැවෙන විහඟුන්' බූසාන් උළෙලේ තරගකාරී අංශයට තේරුණු තුන්වෙනි සිංහල සිනමා සිත්තමය.

සංජීව පුෂ්පකුමාර බූසාන් උළෙලේ
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ රටේ තරුණ සිනමාකරුවන්ට තමන්ගේ ම උත්සාහයෙන් තමා හැම දෙයක්ම කරන්න වෙලා තියෙන්නේ"

සිය චිත්‍රපටය බූසාන් උළෙලේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ජපානයේ තෝකියෝ නුවර 'talent festival' ප්‍රදර්ශනයට සම්බන්ධ විශ්ව විද්‍යාලයෙන් පවා තමන්ට දේශනයකට ආරාධනා ලැබුන ද, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් එවැනි කිසිදු ඇරයුමක් ලැබී නැති බවත් සංජීව පුෂ්පකුමාර බීබීසී සංදේශයට පැවසීය.

එවැනි ආරාධනයක් නොලැබුනත් ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන් සමඟ සිය අත්දැකීම් බෙදාගැනීමට තමන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"අපේ සිනමාවට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ අපි මේ අත්දැකීම් බෙදාගෙන, විවෘතව මේ විෂයයට ආදරෙන් කැපවීමෙන් වැඩකළොත් විතරයි." (සංදේශයට සවන්දෙන්න)

සම්මානයක් දිනාගැනීමට නොහැකිවුවත් උළෙලේ තරගකාරී අංශයට ඉදිරිපත් වීමට ලැබීම ම 'ජයග්‍රහණයක්' බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.