ලොව පුරා කාන්තාවන් මිලියන 170කට බලපාන PCOS රෝග තත්ත්වයේ නම PMOS ලෙස වෙනස් කළේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
කාන්තා ඔබට නව යොවුන් වියේදී මෙම ලක්ෂණ තිබුණා ද?
- අක්‍රමවත් ඔසප් චක්‍රයක් පැවතීම හෝ ඔසප් නොවීම
- මුහුණේ සහ ශරීරයේ රෝම වැවීම වැඩිවීම
- බර වැඩිවීම
- මුහුණේ කුරුලෑ ඇතිවීම හෝ හිසකෙස් ගැලවී යාම
මෙම ප්‍රශ්නවලට පිළිතුර "ඔව්" නම් ඔබටත් PCOS යන දීර්ඝ කාලීන අබාධය ඇති නමුත්, ඔබ ඒ ගැන නොදන්නවා විය හැකි යි.
පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය (Polycystic ovary syndrome) ලෙස මෙතෙක් හැඳින්වූ මෙම තත්ත්වය, ලෝකයේ ප්‍රජනනය කිරීමේ වයසේ පසුවන කාන්තාවන්ගෙන් 10%ත් 13%ත් අතර කාන්තාවන් පිරිසකට ඇති නමුත්, එය තමාට ඇති බවට 70%ක් පමණ කාන්තාවන් නොදන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම සංවිධානයට අනුව, PCOS නොමැති කාන්තාවන්ට සාපේක්ෂව PCOS ඇති කාන්තාවන්ට ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්මට බලපාන විවිධ දිගු කාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවීමට වැඩි අවදානමක් තිබේ.
පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය, එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් Polycystic ovary syndrome ලෙස හඳුන්වන මෙහි අර්ථය ඩිම්බකෝෂවල අසාමාන්‍ය ලෙස තරලයක් සහිත කුඩා බිබිලි වැනි කොටස් හට ගැනීම යන්නයි.
නමුත් එම ලක්ෂණය මෙම තත්තවයේ ප්‍රධාන ලක්ෂණයක් නොවන බැවින් සහ, මේ වන විට ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයන් සිදු කර සොයාගෙන ඇති දේ අනුව, 1935දී පළමුව යෝජනා කර ඇති එම නම නොමග යවනසුලු නමක් ලෙසට "ද ලාන්සට්" වෛද්‍ය සඟරාවේ පළ කර ඇති අධ්‍යනයකින් යෝජනා කර තිබේ.
රෝග විනිශ්චය ප්‍රමාද වීම වළක්වා ගැනීමේ උත්සහයක් ලෙස සිදු කර ඇති මෙම නම වෙනස් කිරීම නිවේදනය කෙරුණේ, පසුගිය අඟහරුවාදා (මැයි 12) චෙක් ජනරජයේ, ප්‍රාග් අගනුවර පැවති යුරෝපීය අන්තරාසර්ග විද්‍යා සම්මේලනයේදී ය.
ලොව පුරා වෛද්‍ය සහ රෝගී කණ්ඩායම් 56ක සහය ඇතිව ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි මොනෑෂ් විශ්වවිද්‍යාලයේ, සෞඛ්‍ය හා ක්‍රියාවට නැංවීම සඳහා වූ මොනෑෂ් මධ්‍යස්ථානයේ මහාචාර්ය හෙලන් ටීඩ් ඇතුළු විශේෂඥයින් පිරිසක්, ගෝලීය නම් වෙනස් කිරීමේ සංසදය (Global Name Change Consortium) සමග එක්ව මෙම අධ්‍යයනය මෙහෙයවා තිබේ.
ඔවුන් යෝජනා කර ඇති නම වන්නේ, Polyendocrine Metabolic Ovarian Syndrome (PMOS) යන්න ය.
එය සිංහල භාෂාවෙන් බහු-අන්තරාසර්ග පරිවෘත්තීය ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය ලෙස හැඳින්විය හැකි ය.
මෙලෙස නම වෙනස් කළේ ඇයි? ඔබට එහි ඇති වැදගත්කම කුමක් ද? මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

'ලෝකයේ කාන්තාවන් මිලියන 170ක් මුහුණ දෙන තත්ත්වයක්'
'ද ලාන්සට්' සඟරාවේ පළ කර ඇති අධ්‍යයනයට අනුව, PCOS ලෝකය පුරා කාන්තාවන් මිලියන 170කට වඩා වැඩි පිරිසකට බලපා ඇති තත්ත්වයකි.
එම අධ්‍යයනයේ පෙන්වා දී ඇති ආකාරයට, ලෝකයේ සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්ත්වය තිබේ.
එහි මූලාශ්‍රයක් ලෙස යොදාගෙන ඇති ඔක්ස්ෆර්ඩ් ඇකඩමික් වෙබ් අඩවියේ පළ කර තිබෙන තවත් අධ්‍යයනයක සඳහන් වන ආකාරයට, ජාත්‍යන්තරව පිළිගෙන ඇති PCOS රෝග ලක්ෂණ අවම වශයෙන් දෙකක්වත් ඇති කාන්තාවන් ප්‍රතිශතය ගෝලීයව 12.1%කි.
එහි පෙන්වා දී ඇති ආකාරයට, පකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය සහ මැදපෙරදිග කලාපයේ රටවල් ද, ඊජිප්තුව ලිබියාව ද ඇතුළු නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ එහි වැඩි ම ප්‍රතිශතයක් වාර්තා කරන අතර එම ප්‍රතිශතය 15.1%කි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, තායිලන්තය ඇතුළු රටවල් ඇතුළත් අග්නිදිග ආසියානු කලාපය PCOS ව්‍යාප්තියේ දෙවන වැඩි ම ප්‍රතිශතය වාර්තා කරන බව 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කර ඇති එම අධ්‍යනයේ සඳහන් කර තිබේ.
එය ප්‍රතිශතයක් ලෙස 14.3%ක් බව එහි සඳහන් ය.
අප්‍රිකානු කලාපය සඳහා දත්ත නොමැති බව ද එම අධ්‍යයනය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC | LOKESH SHARMA
PCOS, PMOS ලෙස වෙනස් කිරීමට යෝජනා වී ඇත්තේ ඇයි?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පෙර සඳහන් කළ පරිදි, පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය යන නමෙහි අර්ථය මෙම තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොකරන බව 'ද ලාන්සට්' සඟරාවේ පළ කර ඇති අධ්‍යයනයේ සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ද PCOS ඇති කාන්තාවන්ගෙන් ඇතැම් අයට ඩිම්බකෝෂවල අසාමාන්‍ය ලෙස කුඩා බිබිලි වැනි කොටස් හට ගැනීම යන රෝග ලක්ෂණය නොමැති වුවත් අනෙක් රෝග ලක්ෂණ තිබිය හැකි ය.
ප්‍රධාන රෝග ලක්ෂණ 3න් 2ක්වත් තිබීම මෙම තත්ත්වය ඇති බවට රෝග විනිශ්චය කිරීමට ප්‍රමාණවත් බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙහි වාච්‍යාර්ථයේ ඇති ව්‍යාකූල බව, රෝගීන්, වෛද්‍යවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සාමාන්‍ය ජනතාව අතර මේ සම්බන්ධයෙන් වැරදි වැටහීම් ඇති කළ හැකි බව නව අධ්‍යයනය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ PCOS, හෝමෝන ඇතුළු අන්තරාසර්ග පද්ධතියට සහ පරිවෘත්තීය ක්‍රියාවලියටත්, ප්‍රජනක සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය සහ සම ඇතුළු ශරීරයේ බොහෝ කොටස්වලට බලපෑමක් ඇති කරන බව යි.
වර්තමානයේ භාවිත වන නමේ ඇති ව්‍යාකූල බව නිසා රෝග විනිශ්චය ප්‍රමාද වීමත්, රෝගීන් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර සන්නිවේදනය වඩාත් දුෂ්කර වීමත් සිදු වන බව ඔවුන්ගේ මතය යි.
එමෙන් ම, මෙම තත්ත්වය සරුභාවය හෝ දරුවන් ලැබීම සම්බන්ධයෙන් පමණක් බලපෑම් කරන බවට අදහසක් බොහෝ දෙනෙකු තුළ ඇති විය හැකි නිසා, PCOS ඇති කාන්තාවන්ට ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන ඔවුන්ව විනිශ්චය කළ හැකි බව මෙම අධ්‍යයනය පෙන්වා දෙන තවත් කරුණකි.
විශේෂයෙන් ම, දකුණු ආසියානු රටවල් ඇතුළු ඇතැම් රටවල්වල පවතින සංස්කෘතීන් තුළ කාන්තාවන් දරුවන් ලැබීම ඉතා වැදගත් දෙය සලකනු ලබයි.
එහිදී, දරුවන් ලැබීමට හැකියාවක් නොමැති කාන්තාවන්ට ලැජ්ජාව, පීඩනය සහ අපකීර්තියට ලක්වීමට විය හැකි ය.
PCOS යන නමේ වාච්‍යාර්ථයේ ඇති ව්‍යාකූල බව හේතුවෙන් එම තත්ත්වය ඇති කාන්තාවන් සිය ප්‍රජාවන් තුළ ලැජ්ජාවට සහ අපකීර්තියට පත්විය හැකි බව ඔවුන් ගෙන එන තර්කයකි.
වසර ගණනාවක් තිස්සේ, ජාත්‍යන්තර වෛද්‍ය මාර්ගෝපදේශ, විශේෂඥයින් සහ රෝගී කණ්ඩායම් එහි නම වෙනස් කරන ලෙස ඉල්ලීම් කළ බවත්, ලොව පුරා පවත්වන ලද සමීක්ෂණ සහ වැඩමුළු අවසානයේ, ප්‍රවේශම්සහගත සහ සවිස්තරාත්මක ක්‍රියාවලියක් හරහා නම වෙනස් කළ යුතු බවට යෝජනා වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
හෝමෝන, පරිවෘත්තීය ක්‍රියාවලිය සහ ඩිම්බ කෝෂ ඇතුළු ශරීරයේ පද්ධති ගණනාවකට ම මෙම තත්ත්වය බලපාන ආකාරය වඩා හොඳින් විස්තර කරන "බහු-අන්තරාසර්ග" [polyendocrine], "පරිවෘත්තීය" [metabolic], "ඩිම්බකෝෂ" [ovarian] යන වචන අලුත් නම සඳහා යොදාගැනීමට මෙහිදී එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, කුඩා බිබිලි වැනි කොටස් හැඟවීම සඳහා පවතින නමේ ඇති "cysts" යන කොටස ඉවත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාන්තා ඔබට මෙහි ඇති වැදගත්කම කුමක් ද?
PMOS යනු, ඩිම්බ කෝෂවල ගැටලුවක් පමණක් නොවේ. එහිදී ශරීරයේ අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ගැටලු කිහිපයක් එකට එක්ව ක්‍රියාකරයි.
මෙම වඩාත් විස්තරාත්මක නාමය නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් වඩා හොඳ අවබෝධයක් ලෝකය පුරා ඇති වනු ඇතැයි පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට එය ගෝලීය වශයෙන් සැලකිය යුතු මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය කාන්තාවන්ට බලපාන වඩාත් සුලබ හෝමෝන ආබාධවලින් එකකි.
පෙර සඳහන් කළ ආකාරයට 70%ක් පමණ කාන්තාවෝ මේ පිළිබඳව ඇති අනවබෝධය නිසා ඒ සඳහා ප්‍රතිකාරවලට යොමු නොවෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මෙම තත්ත්වය ඇති කාන්තාවන්ට පහත සඳහන් සෞඛ්‍ය ගැටලු වර්ධනය වීමට ඇති අවදානම ඉහළ ය.
- ගර්භණී සමයේදී දියවැඩියාව හෝ අධිරුධිර පීඩනය
- බර වැඩිවීම
- දෙවන වර්ගයේ දියවැඩියාව
- අධිරුධිර පීඩනය
- අධික කොලෙස්ටරෝල්
- හෘද වාහිනීවල රෝග
- තරබාරුකම
- නින්දේ හුස්ම හිරවීම
- පරිවෘත්තීය අක්මා රෝග
- ගර්භාෂ අභ්‍යන්තරයේ අසාමාන්‍ය වර්ධනයන් හෝ ගර්භාෂය අභ්‍යන්තරයේ ඇති වන පිළිකා
මේ නිසා ඔබට PMOS තත්ත්වයට අදාළ රෝග ලක්ෂණ ඇති බවට සැකයක් පවතින්නේ නම් වහා ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත හෝ ළඟ ම රෝහල වෙත ගොස් ඒ බව තහවුරු කර ගැනීම වැදගත් වේ.
ප්‍රතිකාරයක් තිබේ ද?
මේ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නමුත් පවතින ප්‍රතිකාරවලින් ඔබේ ජීවන තත්ත්වය උසස් කිරීමට හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
මුල් අවධියේදී ම, මෙම ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් කාන්තාවන්ගේ ප්‍රජනක කාල පරිච්ඡේදය තුළ සහ ඉන් ඔබ්බට ඔවුන්ගේ සෞඛ්‍ය සහ ශාරීරික, මානසික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම වැදගත් බව එහි නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.
එපමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම ද වැදගත් ය.
නම වෙනස් වන්නේ කවදා සිට ද?
PCOS ලෙස මෙතෙක් හැඳින්වූ මෙම තත්ත්වය, PMOS ලෙස වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ 2028 වසරේ සිට ය.
මෙලෙස නම වෙනස් කිරීමේදී පියවර කිහිපයක් අනුව එය සිදුවන අතර, එහිදී මේ සම්බන්ධ පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීම, සම්පත් සංවර්ධනය, ගෝලීයව සන්නිවේදනය කිරීම ඇතුළු පියවර 8ක් එහිදී සම්පූර්ණ කෙරෙයි.
පැරණි නාමයෙන් නව නාමයට ක්‍රමයෙන් මාරු වීමට සැලසුම් කර ඇති අතර එයට වසර 3ක කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රටවල් 195ක් දැනටමත් භාවිත කරන ජාත්‍යන්තර මාර්ගෝපදේශය 2028 වසරේදී යාවත්කාලීන කිරීමට නියමිත අතර, එහිදී PCOS වෙනුවට PMOS යන නව නාමය ඇතුළත් කෙරෙනු ඇත.


































