'කොයි අතකට යන්නද කියලා හිතා ගන්න බැහැ' - ගාසා තීරයේ සිටින ලාංකිකයෙකුගේ අත්දැකීම

ගාසා තීරයේ දැනට ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසී සිංහල වෙත පවසා සිටියේ තමන්ට කොයි අතකට යන්නද කියා සිතාගත නොහැකිවී සිටින බවයි.
Published

ගාසා තීරයේ දැනට ජීවත් වන ශ්‍රී ලාංකික කාන්තාවක් වන ෆාතිමා රිකාසා බීබීසී සිංහල වෙත පවසා සිටියේ තමන්ට කොයි අතකට යන්නද කියා සිතාගත නොහැකිවී සිටින බවයි.

ඇය මේ බව පැවසුවේ ඉදිරි පැය 24 තුළ උතුරුදිග ගාසා තීරයේ වෙසෙන ජනතාවට ගාසා තීරයේ දකුණු ප්‍රදේශයට යන ලෙසට ඊශ්‍රායල් හමුදාව දැනුම් දී ඇති පසුබිම තුළයි.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඉවත්වීමේ නියෝගයක් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (ඔක්. 13 වෙනිදා) නිවේදනය කළේය.

ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් උතුරු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඉවත්වීමේ නියෝගයක් ලබාදී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (ඔක්. 13 වෙනිදා) නිවේදනය කළේය.

පසුගිය සෙනසුරාදා පලස්තීන හමාස් සටන්කාමීන්ගෙන් සිය රටට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල් හමුදා ප්‍රතිප්‍රහාර වශයෙන් ගසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය සෙනසුරාදා පලස්තීන හමාස් සටන්කාමීන්ගෙන් සිය රටට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල් හමුදා ප්‍රතිප්‍රහාර වශයෙන් ගසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ෆාතිමා රිකාසා තමන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වය ගැන ඇය මෙසේ විස්තර කළේය.

"අපි ඉන්න තැන ඉදලා කොයි පැත්ත බැලුවත් යුද්ධෙ තියෙන්නේ. අදත් උදේ පාන්දර ලොකු පිපිරීම් ශබ්ද ඇහුණා. හැම පැත්තටම ගහනවා. අපිට යන්න කියලා තැනක් නැහැ" ඇය පැවසුවාය.

පවතින යුදමය තත්ත්වය හමුවේ ආහාර සපයා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්, විදුලි සැපයුම අත්හිටුවා දැනට දින 3ක් වන බවත් ඇය පැවසුවාය.

"දැන් දවස් තුනක් තිස්සේ විදුලිය නැහැ. ෆෝන් එකේ බැටරි එකත් අන්තිම හරියේ තියන්නේ. කරන්ට් එක නැති නිසා කෑම හදාගන්න විදිහක් නැහැ. රොටි පුච්චන්නේ කරන්ට් එකෙන්. ඊයේ දවල් බේකරියක රොටි පුච්චලා තිබ්බා ජෙනරේටර් එකකින්. පැය ගාණක් පෝලිමේ ඉදලා රොටි ටිකක් ගත්තේ කෑමට. නැත්නම් මගේ ළමයි හතර දෙනා බඩගින්නේ." ඇය පැවසුවාය.

ඊශ්‍රායල් අනතුරු ඇඟවීම හමුවේ උතුරු ගාසා තීරයෙන් ඉවත්වන ජනතාව
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් අනතුරු ඇඟවීම හමුවේ උතුරු ගාසා තීරයෙන් ඉවත්වන ජනතාව

ඊශ්‍රායලයේ උතුරු දිග දේශසීමාවේ සිටින ලාංකියින්ට දැනුම් දීමක්

උතුරුදිග ඊශ්‍රායල් දේශ සීමාව ආසන්නයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට ආරක්‍ෂිත උපදෙස් පිළිපදින ලෙසට දැනුම් දී ඇතැයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල වෙත පැවසීය.

ඔහු පැවසුවේ ලෙබනන් සහ සිරියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි උතුරු ඊශ්‍රායල් හි ලාංකිකයින් දහසක් පමණ ජීවත් වන බවය.

"උතුරුදිග ඊශ්‍රායලයේ ලෙබනනය හා සිරියාවට ආසන්නව ඇති නහරියා (Narariyya), අකෝ (AKKO),හයිෆා (Haifa), තිබෙරියා(Tiberia), නාසරිත් (Nazareth) හා අපුලා (Afula) යන ගම්මාන ආසන්නයට යම් ප්‍රහාර එල්ලවිය හැකි බවට සැක කරන බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායල් හමුදා විසින් යුද ටැංකි සහ හමුදා සෙබළුන් විශාල පිරිසක් ගාසා දේශසීමාව දෙසට අනුයුක්ත කරනු ලබමින් තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් හමුදා විසින් යුද ටැංකි සහ හමුදා සෙබළුන් විශාල පිරිසක් ගාසා දේශසීමාව දෙසට අනුයුක්ත කරනු ලබමින් තිබේ.
ඊශ්‍රායල් හමුදා විසින් යුද ටැංකි සහ හමුදා සෙබළුන් විශාල පිරිසක් ගාසා දේශසීමාව දෙසට අනුයුක්ත කරනු ලබමින් තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල් හමුදා යුද ටැංකි

"මේ හේතුවෙන් අද පාන්දර 3 ඉදලා ඒ ප්‍රදේශවල ජීවත් වන ලාංකිකයින්ට අපි මේ ගැන දැනුම් දුන්නා. ඔවුන්ට අවධානයෙන් ඉන්න කියලා සහ අවශ්‍ය පෙර සුදානම්වීම් කරගන්න කියලා."

"යම්සිදුවීමක් වුවහොත් ඊශ්‍රායල් ආරක්ෂක අංශ ඒ ප්‍රදේශවල සිටින විදේශිකයින් වගේම වයෝවෘද්ධ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කරයි. මොකද ගොඩක් නිවෙස්වල තරුණ අය දැන් යුද සේවයට එක්වෙලා ඉන්නේ."

"මේ දින කිහිපය තුළ ලබාදී ඇති ආරක්ෂක උපදෙස් පිළිපදින්න කියලත්, තම තමන්ගේගේ දුරකථන සක්‍රියව තබා ගන්න ලෙසත් හදිසියකදී භාවිතා කිරීමට ජලය, ඖෂධ, වියලි ආහාර යම් ප්‍රමාණයක් ළඟ තබා ගන්නා ලෙසත් දැනුම් දුන්නා."

"ඒ වගේම අද හා හෙට ඊශ්‍රායල් රජයේ නිවාඩු දිනයන් වුනත් තානාපති කාර්යාලය විවෘතව තිබෙනවා."

"ඕනෑම හදිසි අවස්ථාවක අපගේ දුරකථන අංක හා සමාජ මාධ්‍යය හරහා අපව සම්බන්ධ කර ගන්න පුලුවන්." තානාපතිවරයා සඳහන් කළේය.

මේඅතර ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට යම් හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් භාවිත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 30,000ක් ලබා දී ඇති බවද ඔහු පැවසීය.

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවී තිබෙන දරුණු ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතාරක්ෂාව ඇතුළු හදිසි අවශ්‍යතා සම්බන්ධව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු හෝ වෙනත් කරුණක් වෙනුවෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ජීවිත පිළිබඳ අවධානමක් මතුව ඇත්නම් ඒ සම්බන්ධව හෝ වෙනත් දුෂ්කරතා කිසිවක් ඇත්නම් ඒ පිළිබඳ සෘජුව මෙරට බලධාරීන් දැනුවත් කිරීමට පහසුකම් සළසා තිබේ.

ඒ අනුව (+94) 117966396 යන දුරකථන අංකය, (+94) 767463391 යන WhatsApp අංකය හෝ

opscenga@gmail.com යන Email ලිපිනය ඔස්සේ සිය අවශ්‍යතා ඉදිරිපත් කිරීමේ හෝ අවශ්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.