මරණ දඩුවම නියම වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ගැන මේ කරුණු දැන සිටියා ද?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

1949 ඔක්තෝබර් 12 වන දා උපත ලද හේමසිරි ප්‍රනාන්දු බොරැල්ලේ සීවලී විදුහලෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

පාසල් සමයේ අධ්‍යාපනයට මෙන් ම ක්‍රීඩාවට ද දක්ෂතා දැක්වූ ඔහු නාලන්දා විද්‍යාලය වෙනුවෙන් බාස්කට් බෝල්, පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර, මලල ක්‍රීඩකයෙකු ලෙස ද දක්ෂතා දැක්වීය.

නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී ඔහු එම විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ක්‍රීඩා කළේ ය.

හේමසිරි ප්‍රනාන්දු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළේ, ආර්ථික විද්‍යා විශේෂ උපාධිධාරියෙකු ලෙසිනි.

ඔහු උපාධිය ලබා ගැනීමෙන් පසු 1972 වසරේදී අධිකාරීලත් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයට එක්විය.

නාවික හමුදාවෙන් විශ්‍රාම යන විට ඔහු කමාන්ඩර් ධූරය හෙබවීය. ඉන්පසූ සංචාරක කේෂ්ත්‍රයට සම්බන්ධව ඔහු කටයුතු කර තිබිණි.

1994 වසරේදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැති ධූරයට පත් වීමෙන් අනතුරුව හේමසිරි ප්‍රනාන්දු අගමැති ලේකම්වරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ගුවන්තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, මහජන බැංකුව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන ආයතනවල සභාපති ධූරයේ කටයුතු කර තිබේ.

1997 වසරේ සිට 2018 වසර දක්වා මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර ද දැරුවේ ඔහු ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව 2018 සැප්තැම්බර් මස 3 වන දා හේමසිරි ප්‍රනාන්දු සිය කාර්යමණ්ඩල ප්‍රධානියා ලෙස පත් කිරීමට කටයුතු කෙරිණි.

2018 වසරේ දෙසැම්බර් 21 වන දා ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරිණි.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමකට අනුව හේමසිරි ප්‍රනාන්දු 2019 අප්‍රේල් 25 වන දා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.

2019 ජූලි මස 2 වන දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම, මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ඇතුළු චෝදනා 850කට අධික ගණනක් එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ වෙන වෙන ම නඩු දෙකක් ගොනු කර තිබිණි.

එම නඩු විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළේ පසුගිය 2022 පෙබරවාරි මාසයේදී ය.

නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුණේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.

මහාධිකරණය විසින් ලබා දෙන ලද එම තීන්දුව දෝෂසහගත බවත් එබැවින් පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, ඉන්පසුව මෙම නඩුව නැවත කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දුන්නේ ය.

ඒ අනුව, හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිකුරාදා (ජූලි 31) මරණ දඬුවම නියම කෙරුණේ, එලෙස නඩුව නැවත විභාගයට ගැනීමෙන් පසුව ය.

ලේඛක හේමසිරි ප්‍රනාන්දු

විවිධ ආයතනවල සභාපති ධූර දරා ඇති, දේශපාලනික නැඹුරුවක් ද තිබූ හේමසිරි ප්‍රනාන්දු ලේඛකයෙකු ලෙස ද සිය හැකියාව ප්‍රකට කළ අයෙකි.

ඔහු ශ්‍රී ලංකාව් දුම්රිය ඉතිහාසය සම්බන්ධයෙන් කෘති 3ක් රචනා කර තිබේ.

ඒ, The Viceroy Special (2013), The Uva Railway, Railway to the Moon (2014) සහ Essays on Ceylon Railways (1864-1964) (2018) යන කෘති 3 යි.

ලංකා දුම්රිය සේවයේ ඉතිහාසය පිළිබඳව ලියවී ඇති පොත් ස්වල්පය අතරින් එම කෘති තුනට වැදගත් ස්ථානයක් හිමි වෙයි.