ගෞතම බුදුන් බුද්ධත්වයට පත් බුද්ධගයාව හින්දු පාලනයෙන් මුදා ගැනීමට ඉන්දීය බෞද්ධයන්ගෙන් විරෝධතා

- Author, ශකීල් අක්තර්
- Role, බීබීසී උර්දු, බුද්ධගයාව, බිහාර්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි 'මහාබෝධි' විහාරය ලොව පුරා වෙසෙන බෞද්ධයන් අතිපූජනීය ම ස්ථාන ලෙස සලකන ස්ථානවලින් එකකි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව, ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූයේ සහ බුදුදහම ආරම්භ වූයේ, මෙම ස්ථානයෙනි.
කෙසේ වෙතත්, බෞද්ධයන්ගේ මෙම පූජනීය ස්ථානය මේ වන විට මතභේදයකට තුඩු දී තිබේ. වර්තමානයේ මෙම විහාරස්ථානය පාලනය කරනු ලබන්නේ, හින්දු භක්තිකයන් බහුතරයක් සිටින කමිටුවක් මගිනි.
ඉන්දියාවේ බෞද්ධ ආගමික ප්‍රජාවට අවශ්‍ය වන්නේ, මෙම විහාරස්ථානයේ පාලන බලය හින්දු භක්තිකයන්ගෙන් ඉවත් කර එය සම්පූර්ණයෙන් ම බෞද්ධයින් විසින් පාලනය කරනු ලබන ස්ථානයක් බවට පත් කර ගැනීමට ය. අනෙක් අතට, හින්දු භක්තිකයෝ ද ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි විහාරය සමග තමන්ට සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කරති.
මෙම ඉල්ලීම මුල් කර ගනිමින් ඉන්දියාවේ වෙසෙන දහස් සංඛ්‍යාත බෞද්ධයෝ රට පුරා විරෝධතා පවත්වති.
පසුගිය වසර එක හමාරක කාලය පුරා, බොහෝ පිරිසක් මහාබෝධි විහාරයේ සිට ආසන්න දුරකින් නිහඬ විරෝධතාවක නිරත වෙමින් සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ, 1949 බුද්ධගයා විහාර පනත අහෝසි කර, විහාරයේ සම්පූර්ණ පාලන බලය බෞද්ධ ප්‍රජාව වෙත පවරන ලෙස ය.
1949 බුද්ධගයා විහාර පනත යටතේ, මහාබෝධි විහාරය පාලනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ සාමාජිකයන්ගෙන් හතර දෙනෙකු බෞද්ධයන් වන අතර හතර දෙනෙකු හින්දු භක්තිකයෝ වෙති.
මෙහි ප්‍රධානත්වය දරනු ලබන්නේ, දිසා මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර, ඔහු සාමාන්‍යයෙන් හින්දු භක්තිකයෙකි. මෙහි සාමාජිකයන් රජය විසින් නම් කරනු ලබන අතර ඔවුන් වසර තුනක ධුර කාලයක් සේවය කරති. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කමිටුවේ බහුතර බලය සැමවිට ම හිමි වන්නේ හින්දු භක්තිකයන්ට ය.
ප්‍රඥාශීල් හිමියෝ මීට පෙර මෙම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, වසර අටක් පුරා විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නායක හිමි ලෙස ද කටයුතු කළහ.
උන්වහන්සේ පවසන්නේ, මහාබෝධි විහාරය බෞද්ධ ජනතාවගේ උරුමයක් බව ය.
"මේ ස්ථානය බෞද්ධයන්ට අයිති එකක් කියලා මුළු ලෝකය ම දන්නවා. මේක බෞද්ධයන්ගේ පන්සලක් නෙවෙයි කියලා කවුරුත් කවදාවත් කියලා නැහැ. අපට ඕන කරන්නේ මෙහි පාලනය බෞද්ධයන් අතට පත් කර ගන්න විතර යි."
භන්තේ ප්‍රඥාශීල් හිමි තවදුරටත් මෙසේ පවසති: "යමෙක් අවංක ප්‍රධාන අමාත්‍යවරයෙක් හෝ අග්‍රාමාත්‍යවරයෙක් වනවා නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සාධාරණය ඉටු කිරීමට ඔවුන්ට සිදුවෙනවා. කෙනෙකුට අයිති දේ ඔවුන්ට දිය යුතු යි. ඔවුන් එය අද දුන්නත්, හෙට දුන්නත්, නැත්නම් අනිද්දා දුන්නත්, ඔවුන්ට ඒක දෙන්න සිද්ධ වෙනවා. මේ අසාධාරණය දිගට ම කරගෙන යා නොහැකි යි."
විහාරස්ථානයේ ඉතිහාසය කොපමණ පැරණි ද?

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
බිහාර් ප්‍රාන්තයේ අගනුවර වන පට්නා සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින් පළමු වරට ඉදිකරවනු ලැබ ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසයි. ඉන්පසු ක්‍රිස්තු පූර්ව පස් වන සහ හය වන සියවස්වලදී විවිධ පාලකයන්ගේ රාජ්‍ය සමයන්හිදී එය ප්‍රතිසංස්කරණය කර පුළුල් කර ඇත.
මෙහි ඇති බොහෝ ස්තූප සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයේදී ය. කෙසේ වෙතත්, මෙම විහාරස්ථානයේ ඇති වැදගත් ම අංගය වන්නේ ඒ අසල පිහිටි ඇසතු බෝ ගස යි. ගෞතම බුදුරජාණන් වහන්සේ භාවනායෝගීව උතුම් බුද්ධත්වයට පත් වූයේ මෙම බෝධිය සෙවණේ බව පැවසේ.
අශෝක අධිරාජ්‍යයා තම රාජ්‍ය සමයේ මුල් අවධියේදී ම බුදුදහම වැළඳගත් අතර, පසුව එම ආගම ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කළේ ය.
එහි පාලි භාෂාවෙන් කොටා ඇති සෙල්ලිපියකට අනුව, අශෝක අධිරාජ්‍යයා තම රාජ්‍ය සමයේ දස වන වසරේදී, එනම් ක්‍රිස්තු පූර්ව 259 දී බුද්ධගයාවට පැමිණ ඇත. ඔහු මෙම බෝධීන් වහන්සේ මුල වජ්‍රාසනයක් කරවා, ඒ වටා ගල් වැටක් ද ඉදිකරවා ඇත. එසේ ම එහි විශාල ස්තූපයක් ද ඉදිකර තිබිණි.
අශෝක අධිරාජ්‍යයා බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා තම පුත් මහින්ද හිමියන් සහ දියණිය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී ලංකාවට එවීය. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ එම ඇසතු බෝ වෘක්ෂයේ ශාඛාවක් වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බව ඉතිහාසයේ සඳහන්.
හත්වන සියවසේ මුල් භාගයේදී, බෙංගාලයේ හින්දු රජෙකු වූ ශශංක විසින් බුද්ධගයාවේ තිබූ එම ඇසතු රුක මුලින් ම කපා දමන ලදී.
ඇතැම් බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව, පසුව ශ්‍රී ලංකාවෙන් බෝධි අංකුරයක් රැගෙන ගොස් එම ගස කපා දැමූ ස්ථානයේ ම යළි රෝපණය කරන ලදී. මහාබෝධි මහා විහාරය දැනට ලොව පුරා මිලියන සංඛ්‍යාත බෞද්ධයන්ගේ පූජනීය ම ස්ථානයක් වේ. කෙසේ වෙතත්, එහි හින්දු කෝවිල් කිහිපයක් ද ඉදිකර ඇත.
මෙහි හින්දු ආධිපත්‍යය ඇති වූයේ කෙසේ ද?
පැරණි පාලි සහ ප්‍රාකෘත භාෂා පිළිබඳ විශේෂඥයෙකු මෙන් ම සංස්කෘතික හා ඉතිහාසය පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් සිංට අනුව, "දහවන සහ එකොළොස්වන සියවස්වලදී, රාජ්‍ය අනුග්‍රහය අහිමි වීම සහ මෙම කලාපය තුළ හින්දු ආගම නැවත හිස එසවීමත් සමග බුදුදහම ක්‍රමයෙන් පරිහානියට පත් විය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මෙම ප්‍රදේශය හැර ගියහ. දිගු කලක් තිස්සේ මෙම බෞද්ධ විහාරය පාළුවට ගොස් තිබූ අතර, කාලයත් සමග එය පස් සහ ලඳු කැලෑවලින් වැසී ගියේ ය.
ආචාර්ය රාජේන්ද්‍ර සිං මෙසේ ද පැවසීය: "ගමණ්ඩි ගිරි නම් හින්දු පූජකවරයෙකු 1590 දී මෙම බෞද්ධ විහාරය අසල හින්දු ආශ්‍රමයක් ඉදි කළා, ඒක අදටත් එහි පවතිනවා, පසුව තවත් හින්දු කෝවිල් කිහිපයක් ම එහි ඉදි කළා, ඒවායේ වන්දනාමාන කටයුතු අඛණ්ඩව සිදුවනවා."
එහි ඇති සමහර කෝවිල්වල ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව හින්දු දෙවියෙකුගේ ප්‍රතිමාවක් ලෙස ද හඳුන්වා දී ඇත.
බ්‍රිතාන්‍ය පාලන සමයේදී, 19 වන සියවසේදී මෙම බෞද්ධ විහාරය ප්‍රතිසංස්කරණය කරන ලද අතර, මහාබෝධි විහාරය සහ ඒ වටා ඇති ස්තූපයන්හි අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.
කෙසේ වෙතත්, කාලයත් සමග මෙම පරිශ්‍රය තුළ පිහිටි හින්දු ආශ්‍රමයේ ප්‍රධානීන් ද බෞද්ධ විහාරයේ අයිතිය ඉල්ලා සිටි අතර, එමගින් මෙම මතභේදය දිගින් දිගට ම වර්ධනය විය.
මෙම මතභේදය විසඳීම සඳහා බිහාර් ප්‍රාන්ත සභාව විසින් 1949 දී බුද්ධගයා විහාර පනත ගෙන එන ලදී. මෙම පනත යටතේ, වන්දනාමාන කටයුතු සිදු කිරීම සඳහා පරිපාලන කමිටුව විසින් නිල හින්දු පූජකයෙක් ද පත් කරන ලදී.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව තැන්පත් කර ඇති ප්‍රධාන බෞද්ධ විහාරයට ඉදිරිපසින් ඇති, කැඩී බිඳී ගිය කුළුණක් පවතින ස්ථානය, දැනට හින්දු භක්තිකයින් අදහන ශිව දෙවියන්ට සම්බන්ධ ස්ථානයක් ලෙස හඳුන්වා දී ඇත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ මෙම පූජනීය ස්ථානය තුළ හින්දු දෙවි දේවතාවන්ගේ ආධිපත්‍යය වැඩි විය හැකි බවට බෞද්ධයෝ බිය පළ කරති.
මෙම නිහඬ විරෝධතාවට සහභාගී වන සංඝ රතන භික්ෂුව පවසන්නේ, බෞද්ධ විහාරය ඇතුළත කුඩා වළක් තිබූ බව ය.
"හින්දු භක්තිකයන් පවසන්නේ මේක ශිව දෙවියන්ගේ කියලා. මේ කණස්සල්ල අපට පමණක් නොව, අපේ සමස්ත ආගමට ම බලපාන එකක්. සියලු ම බෞද්ධ අනුගාමිකයන් මේ පිළිබඳව වර්ධනය වන කණස්සල්ලකින් පසු වෙනවා. මෙහි සෑම තැනක ම ඇති බුදු පිළිම ඉවත් කර හින්දු විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමා සවිකරමින් සිටිනවා."
ගෞතම බුදුරජාණන් වහන්සේ සමග ශිව දෙවියන් වන්දනා කිරීම
බුද්ධගයා හින්දු කෝවිලේ ප්‍රධාන පූජකවරයා වන විවේකානන්ද් ගිරි පවසන්නේ, බෞද්ධ විහාරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා බෞද්ධයන් ගෙන යන මෙම ව්‍යාපාරය ඵලක් නොමැති එකක් බව ය.
ඔහු පවසන්නේ, පරිපාලන කමිටුවේ සිටින හින්දු සාමාජිකයන් ද ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වන බව ය. බෞද්ධ විහාරය තුළ ශිව දෙවියන්ට වන්දනාමාන කිරීම පිළිබඳව ඔහු පවසන්නේ, එම සිරිත ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයටත් වඩා පැරණි එකක් බව ය.
"අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ සිට හෝ ඊටත් පෙර සිට ම බුදුරජාණන් වහන්සේට මෙහි වන්දනාමාන කර ඇති බවට අපට කිසිදු සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සමග ශිව දෙවියන්ට ද ආරම්භයේ සිට ම මෙහි වන්දනාමාන කර තිබෙනවා. ඔබ පස්වන සහ හයවන සියවස්වලට අයත් ආගමික ග්‍රන්ථ දෙස බැලුවහොත්, මේ පිළිබඳ බොහෝ සාක්ෂි ඔබට සොයා ගන්න පුළුවන්."
"මේ සාක්ෂිවලට අනුව, මෙම විහාරස්ථානය තුළ ශිව දෙවියන්ට වන්දනාමාන කර තිබෙනවා. ඔබ අද දකින මෙම වත්මන් මහාබෝධි විහාර සංකීර්ණය බඛ්තියාර් ඛිල්ජි විසින් විනාශ කරනු ලැබුවා. 12 වන සියවසෙන් පසුව, මෙහි සිටි හින්දු ප්‍රජාව සහ බුද්ධගයා හින්දු ආශ්‍රමයේ පූජකවරුන් ඊට රැකවරණය දීමට පටන් ගත්තා. එතැන් සිට බුදුරජාණන් වහන්සේට සහ ශිව දෙවියන්ට සමානව වන්දනාමාන කරනු ලබනවා."

පූජ්‍ය ප්‍රඥාශීල් හිමි වසර අටක් පුරා මෙම විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නායක හිමි ලෙස කටයුතු කළහ. උන්වහන්සේ පවසන්නේ, මහාබෝධි විහාරය ලොව පුරා වෙසෙන බෞද්ධයන්ගේ උරුමයක් බව ය.
"බුදුදහමේ අති පූජනීය ම ස්ථානය බෞද්ධයන්ට ලබා නොදීම එම දහමට කරනු ලබන මහා අසාධාරණයක්."
මේ පිළිබඳව රජය පවසන්නේ කුමක් ද?
බීබීසී පුවත් සේවය අමතමින් බිහාර් ප්‍රාන්තයේ සුළුතර කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය සමා ඛාන් මෙසේ පැවසීය: "විරෝධතා සහ එවැනි ව්‍යාපාරවලට හිමි තැනක් තිබෙනවා, නමුත් මම සාකච්ඡා කරන්න සූදානම්. මගේ අමාත්‍යාංශයට අදාළ කිසිදු කාර්යයක් මග නතර කරන්නේ නැහැ. මෙය මීට වඩා විශාල කරුණක් නම් හෝ අපට මේක විසඳිය නොහැකි යැයි මට හැඟේ නම්, ඔවුන්ට අපගේ ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන්න අපි කටයුතු සලසා දෙනවා."
බෞද්ධ ව්‍යාපාරයේ නායකයෙකු වන කරුණාකරන් පවසන්නේ, මීට පෙර ද පාලනාධිකාරිය සමග අවස්ථා කිහිපයකදී ම සාකච්ඡා පවත්වා ඇති නමුත් මෙතෙක් ඉන් කිසිදු ප්‍රගතියක් ලැබී නොමැති බව ය.
"අපේ නියෝජිතයන් බොහෝ වතාවක් සාකච්ඡා පවත්වා තිබෙනවා. බිහාර් රජයට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබෙනවා."
මහාබෝධි විහාරයට නිදහස ලැබෙන තෙක් තමන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
'අපි කිසි ම ආගමකට විරුද්ධ නැහැ'
ඉන්දියාවේ බෞද්ධ සංවිධාන කිහිපයක් පසුගිය වසර එක හමාරක කාලය පුරා 'මහාබෝධි මහා විහාරය නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය' (Mahabodhi Mahavihar Mukti Andolan) නමින් රට පුරා දියත් කළ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.
මෙම සංවිධාන දිල්ලිය ඇතුළු විවිධ නගරවල විරෝධතා පවත්වමින් සිටී.
මෙම විරෝධතාවල නායකත්වය දරනු ලබන්නේ, සමස්ත ඉන්දීය බෞද්ධ සංසදයේ ප්‍රධානී ආචාර්ය ආකාශ් ලාමා විසිනි.
අගෝස්තු 10 වන දා දිල්ලියේ ජන්තර් මන්තර් අසලදී බෞද්ධ විරෝධතාකරුවන් අමතමින් ඔහු මෙසේ පැවසීය: "අපව තවදුරටත් යටපත් කර තැබිය නොහැකි යි. අපි කිසි ම ආගමකට විරුද්ධ නැහැ."

"අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද, ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ, අපගේ අතිපූජනීය ස්ථානය පිහිටි බුද්ධගයාවේ වෙනත් ආගමකට ඇති කාර්යය කුමක් ද? ඔබේ සිතුවිල්ල එය නම්, අයෝධ්‍යාවේ රාම් කෝවිල තුළ බුදුරජාණන් වහන්සේ නැත්තේ ඇයි?"
1949 දී හඳුන්වා දෙන ලද "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බුද්ධගයා විහාර පනත" අහෝසි කරන ලෙස උන්වහන්සේ එහිදී ඉල්ලා සිටියහ.
දිල්ලි විරෝධතාවයෙන් පසුව, මීළඟ නිහඬ විරෝධතාව අගෝස්තු 23 වන දා පැට්නාහිදී පැවැත්වීමට නියමිත ය. මහාබෝධි විහාර කළමනාකරණ කමිටුව තුළ බෞද්ධ නියෝජනය පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සමක් ද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට විභාග වෙමින් පවතී.
ඉන්දියාව තුළ බෞද්ධ ප්‍රජාව යනු සුළුතර ප්‍රජාවකි.
ඔවුන්ගේ ජනගහනය ආසන්න වශයෙන් ලක්ෂ 90ක් වන අතර, එය රටේ මුළු ජනගහනයෙන් 1%කට වඩා අඩු ප්‍රතිශතයකි.


































