සෞරග්‍රහ මණ්ඩලයේ 'නව වන ග්‍රහලෝකයේ' අභිරහස විසඳීමට ආසන්න ද?

    • Author, ෆර්නැන්ඩු ඩුආටේ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 8

2006 දී ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන බවට නිගමනය කළ දා සිට, අප ග්‍රහලෝක අටක අසල්වැසි ප්‍රදේශයක ජීවත් වන බව විද්‍යාඥයෝ අපට පැවසූහ. නමුත් සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අභිරහස් නව වන සාමාජිකයෙකු සිටින බවත්, ඉතා බලවත් නව දුරේක්ෂයකට ස්තූතිවන්ත වන්නට අප එය සොයා ගැනීම ආසන්නයේ සිටින බවත් ය.

උතුරු චිලී රාජ්‍යයේ කඳු මුදුනක පිහිටා ඇති වේරා රූබින් නිරීක්ෂණාගාරය, අප විශ්වය දකින ආකාරය විප්ලවීයකරණය කිරීමේ සිය මෙහෙවර 2025 ජූනි මාසයේදී ආරම්භ කළේ ය. තව ද එය ආලෝකය විහිදුවාලීමට බලාපොරොත්තු වන එක් දෙයක් වන්නේ අපගේ ම සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම යි.

නව වන ග්‍රහ ලෝකයේ පැවැත්ම 2016 සිට විද්‍යාඥයින් අතර දැඩි උනන්දුවකට හා මතභේදයකට තුඩු දී තිබේ. ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ (කැල්ටෙක්) තාරකා විද්‍යාඥයින් වන කොන්ස්ටන්ටින් බැටිජින් සහ මයිකල් බ්‍රවුන් විසින් පෘථිවියේ ස්කන්ධය මෙන් 10 ගුණයක් පමණ වන ග්‍රහලෝකයක් සෞරග්‍රහ මණ්ඩලයේ මායිමේ පිහිටා ඇති බවට තර්ක කරමින් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද වර්ෂය යි.

කයිපර් තීරය (Kuiper Belt) ලෙස හැඳින්වෙන කලාපයක නෙප්චූන් ග්‍රහලෝකයෙන් ඔබ්බට සූර්යයා වටා කක්ෂගත වන අයිස් සහිත ග්‍රහ වස්තූන් - දූරස්ථ ට්‍රාන්ස්-නෙප්චූනියානු වස්තූන් 6ක (TNOs) හැසිරීම පැහැදිලි කළ හැක්කේ, දැවැන්ත ආකාශ වස්තුවක් තිබීමෙන් පමණක් බව ඔවුහු කියා සිටියහ. මෙම දූරස්ථ ට්‍රාන්ස්-නෙප්චූනියානු වස්තු අසාමාන්‍ය ලෙස ඇලවුණු සහ දිගටි කක්ෂ ඇති අතර එයින් ඇඟවෙන්නේ ඒවා විශාල අසල්වැසි ග්‍රහ ලෝකයක ගුරුත්වාකර්ෂණ බලපෑමට යටත් විය හැකි බව ය.

"නව වන ග්‍රහලෝකයක් නොමැති නම්, අපට තවදුරටත් බොහෝ අමුතු සිදුවීම් සඳහා පැහැදිලි කරන්න හැකියාවක් නැහැ," මහාචාර්ය බ්‍රවුන් බීබීසීයට පවසයි.

"ඔබ තාරකා විද්‍යාවේ සංකීර්ණ හැරීම් සහ හැරීම් අනුගමනය නොකරන්නේ නම්, ඔබට මෙහි ඇති උත්ප්‍රාසය මග හැරෙනු ඇති": අභිරහස් නව ග්‍රහලෝකයක ප්‍රමුඛ යෝජකයා වන බ්‍රවුන්, දශක දෙකකට පෙර පෙර නව වන ග්‍රහලෝකය බැහැර කිරීමට තීරණාත්මක වූ තාරකා විද්‍යාඥයා වේ.

1930 දී සොයාගැනීමෙන් පසු, ප්ලූටෝ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ම සහ දූරස්ථ ම ග්‍රහලෝකය ලෙස පැවතිණි.

නමුත් 2005 දී, බ්‍රවුන් සහ සගයන් දෙදෙනෙකු නෙප්චූන්ට ඔබ්බෙන් සූර්යයා වටා කක්ෂගත වන ප්ලූටෝ ප්‍රමාණයේ වස්තුවක් වන එරිස් සොයා ගත්හ.

එරිස් ග්‍රහ වස්තුව සොයා ගැනීම, ඊළඟ වසරේදී ග්‍රහ ලෝකයක අර්ථ දැක්වීම වෙනස් කිරීමට සහ ප්ලූටෝ ග්‍රහ ලෝක පවුලෙන් ඉවත් කිරීමට, එය එරිස් සමග උපග්‍රහයෙකු බවට පහතට හෙළීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) ගත් තීරණයට බෙහෙවින් බලපෑවේ ය.

අසාමාන්‍ය, අඳුරු සහ දූරස්ථ ග්‍රහ වස්තුව

තවත් නව වන ග්‍රහ ලෝකයක් පිළිබඳ අදහසෙහි ඇති විශාල ගැටලුවක් නම්, අද දක්වා කිසිවෙකු තහවුරු කළ දර්ශනයක් ඉදිරිපත් කර නොමැති වීම යි. උදාහරණයක් ලෙස බැටිජින් සහ බ්‍රවුන් ඔවුන්ගේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට භාවිත කළේ, පරිගණක ආකෘති කිහිපයකි.

ඊට එක් හේතුවක් වන්නේ නව වන ග්‍රහ ලෝකයක් පවතී නම්, එය අපෙන් බොහෝ දුරින් පිහිටා තිබීම ය.

කැල්ටෙක් තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ, එය සාමාන්‍යයෙන් නෙප්චූන් ග්‍රහ ලෝකයට වඩා සූර්යයාගේ සිට 20 ගුණයක් පමණ දුරින් පිහිටි බව ය. ඒ කියන්නේ සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට පෘථිවි වර්ෂ 20,000ක් දක්වා ගත විය හැකි ය.

සූර්යයාට වඩා ඈතින් පිහිටි දෙයක් ඉතා සුළු ආලෝකයක් පරාවර්තනය කරන බැවින් එය ඇදහිය නොහැකි තරම් අඳුරු වේ.

නව වන ග්‍රහ ලෝකයේ කක්ෂය තරමක් අමුතු වනු ඇතැයි ඔවුන් අනාවැකි පළ කළහ. ග්‍රහ ලෝක අට සූර්යයා වටා වෘත්තාකාර හා පැතලි තල කක්ෂවල ගමන් කරන අතර, නව වන සාමාජිකයාගේ චලනය වඩාත් ඉලිප්සාකාර වනු ඇත.

නමුත් එය දැකීමේ අවස්ථාවන් වෙනස් වීමට ඉඩ තිබේ.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි බලවත් පැරණි දුරේක්ෂ අභ්‍යවකාශයේ ගැඹුරු නිශ්චිත ඉලක්ක වෙත යොමු කිරීම සඳහා නිර්මාණය කර ඇතත්, වේරා රූබින් නිරීක්ෂණාගාරය සෑම රාත්‍රී කිහිපයකට වරක් සමස්ත දකුණු අර්ධ ගෝලයේ අහස ම පරිලෝකනය කරයි.

මෙතෙක් නිපදවා ඇති විශාලතම ඩිජිටල් කැමරාව වැනි විශේෂාංගවලින් සමන්විත මෙය, එහි වසර 10ක මෙහෙයුම තුළ බිලියන ගණනක් අභ්‍යවකාශ වස්තූන් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන අතර, එයට නව ට්‍රාන්ස් නෙප්චූන් ග්‍රහ වස්තු 40,000කට වඩා ඇතුළත් වේ.

"අපට මීට පෙර දැකගත හැකි වූවාට වඩා අඳුරු සහ දුරින් පිහිටි විශාල වස්තූන් සංඛ්‍යාවක් රූබින්ට අභ්‍යවකාශයේ සොයා ගන්න පුළුවන්," නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය සාරා ග්‍රීන්ස්ට්‍රීට් පවසයි.

"නව වන ග්‍රහ ලෝකය එහි උපකල්පිත ප්‍රමාණයෙන් උපකල්පිත ස්ථානයේ පවතී නම්... රූබින් නිරීක්ෂණාගාරය එය සොයා ගනු ඇත," ඇය පවසයි.

නෙප්චූන් නැවතත්?

රූබින් නිරීක්ෂණාගාරය "නව වන ග්‍රහ ලෝකය ඍජුව ම සොයා ගනු ඇති, එහෙම බැරි වුණොත් එය පවතින බවට හෝ නොමැති බවට ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සොයා ගනු ඇති" යනුවෙන් බ්‍රවුන් විශ්වාස කරයි. එය පවතී නම්, එය වසරක් හෝ දෙකක් ඇතුළත දැකිය හැකි යැයි ඔහු සිත යි - එය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

"නව වන ග්‍රහ ලෝකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පස්වන විශාලතම ග්‍රහ ලෝකය වන අතර වසර 180කට පසු සොයාගත් පළමු ග්‍රහ ලෝකය වනු ඇති" ඔහු පවසයි.

තාරකා විද්‍යාඥයා 1846 දී නෙප්චූන් ග්‍රහලෝකය විධිමත් ලෙස සොයා ගැනීම ගෙන හැර දක්වයි.

තාරකා විද්‍යාඥයින් විසින් අසල්වැසි යුරේනස් ග්‍රහයාගේ කක්ෂයේ අවිධිමත් පිහිටීම් නිරීක්ෂණය කිරීමෙන් පසුව නෙප්චූන්ගේ පැවැත්ම පුරෝකථනය කරන ලදී. ඉන්පසු ජර්මානු තාරකා විද්‍යාඥ ජොහාන් ගොට්ෆ්‍රයිඩ් ගාලේ විසින් නෙප්චූන් අහසේ හඳුනා ගැනීමට මෙම ගණනය කිරීම් භාවිත කරන ලදී.

නමුත් පසුව පෙනී ගියේ, නෙප්චූන් ග්‍රහලෝකය 1612 තරම් ඈත කාලයේ ගැලීලියෝ ගැලීලි නිරීක්ෂණය කර ඇති නමුත් තාරකාවලට සාපේක්ෂව එහි චලනය එම යුගයේ දුරේක්ෂවලට වඩා මන්දගාමී සහ සියුම් බැවින් එය ග්‍රහ ලෝකයක් ලෙස හඳුනාගෙන නොමැති බව ය.

නව වන ග්‍රහ ලෝකයටත් එවැන්නක් සිදුවේවි ද?

යේල් විශ්වවිද්‍යාලයේ ග්‍රහලෝක තාරකා භෞතික විද්‍යාඥවරියක වන සහය මහාචාර්ය මැලේනා රයිස්, එය එසේ විය හැකි බවට සැක කරයි.

"නව වන ග්‍රහ ලෝකය දැනටමත් අපගේ දත්තවල පමණක් නොමැති බව මට කිසිසේත් ඒත්තු ගොස් නැත. අපි ප්‍රවේශමෙන් සොයා බැලිය යුතු යි," ඇය පවසයි.

'පුදුමයක් නොවෙයි'

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී, තායිවානය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල විද්‍යාඥයින් කණ්ඩායමක් එය නිවැරදිව කළේ ය.

ඔවුහු 1983 සහ 2006 දී දියත් කරන ලද අධෝරක්ත අභ්‍යවකාශ දුරේක්ෂ දෙකකින් අහසේ නිරීක්ෂණ විශ්ලේෂණය කළ අතර, එම වසර 23 පුරා චලනය වන නොදන්නා ග්‍රහ ලෝකයක් නියෝජනය කළ හැකි ගැලපෙන දුර්වල තිත් යුගලයක් සොයා ගත්හ.

මෙම සොයාගැනීම් සමහර තාරකා විද්‍යාඥයින් සැකයෙන් යුතුව පිළිගෙන ඇත. පර්යේෂණ කණ්ඩායම පවා ප්‍රවේශම්සහගත විය.

"අපගේ අධ්‍යයනය ග්‍රහ ලෝකය [නව වන ග්‍රහ ලෝකය] සොයා ගැනීමක් බව පැවසීම තරමක් කල් වැඩියි," තායිවානයේ ජාතික සිං හුවා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කතුවරයා වන ටෙරී ෆාන් පිළිගනී. ඒ වෙනුවට, ඔහු එය "ග්‍රහලෝකයක් [නව වන ග්‍රහ ලෝකය] විය හැකි ආකාශ වස්තුවක්" සොයා ගැනීමක් ලෙස හඳුන්වයි.

නමුත් කාරණය මෙයයි: නව වන ග්‍රහ ලෝකයේ පැවැත්ම රයිස් වැනි තාරකා විද්‍යාඥයින්ට පුදුමයක් නොවනු ඇත.

උපකල්පිත ග්‍රහ ලෝකය පෘථිවියට වඩා විශාල නමුත් නෙප්චූන්ට වඩා කුඩා බවට පුරෝකථනය කර ඇති අතර, රයිස් පවසන්නේ මෙය අනෙකුත් පද්ධතිවල බහුලව දක්නට ලැබෙන ග්‍රහලෝකයක විශාලත්වය බව ය.

"අපිට මේ වගේ ග්‍රහලෝකයක් පේනවා අනිත් තරුවලින් භාගයක් වගේ දෙයක් වටේ, නමුත් සෞරග්‍රහ මණ්ඩලය තුළ එහෙම එකක් නැහැ" ඇය කියයි.

එය ග්‍රහ ලෝකයක් නොවේ නම්, එය කුමක් ද?

නමුත් නව වන ග්‍රහ ලෝක කල්පිතය ප්‍රතික්ෂේප කරන්නන් බැටිජින් සහ බ්‍රවුන්ගේ විශ්ලේෂණයේ නිරීක්ෂණ දෝෂවල සිට අද්භූත ග්‍රහලෝකයක් පිළිබඳ අපගේ පෙර ඉතිහාසය දක්වා විහිදෙන තර්ක පෙළගස්වා ඇත: යුරේනස් මත න්‍යායාත්මක X ග්‍රහ ලෝකය ඇදගෙන යාමක් යෝජනා කරන ලද නමුත් පසුව එය ප්‍රතික්ෂේප කරන ලදී.

සැකයට තුඩු දෙන තවත් තර්කයක් වන්නේ, 2023 දී ඇමෝනයිට් සොයා ගැනීම ය - එය බැටිජින් සහ බ්‍රවුන් විසින් මුලින් විශ්ලේෂණය කරන ලද ට්‍රාන්ස් නෙප්චූන් ග්‍රහ වස්තු හය සමග කක්ෂය නොගැලපෙන ට්‍රාන්ස්-නෙප්චූනියානු වස්තුවකි.

ජර්මනියේ Forschungszentrum Jülich පර්යේෂණ ආයතනයේ තාරකා භෞතික විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරන ලද තරගකාරී න්‍යායක් ද තිබේ. 2025 දී, ඔවුන් පරිගණක සමීකරණ ක්‍රියාත්මක කළේ වසර බිලියන ගණනකට පෙර දැවැන්ත තාරකාවක් ආසන්නයෙන් පියාසර කිරීම ට්‍රාන්ස් නෙප්චූන් ග්‍රහ වස්තුවල කක්ෂ වෙනස් කරන ගුරුත්වාකර්ෂණ ව්‍යාකූලත්වයට හේතු විය හැකි බවට යෝජනා කරමිනි.

"නව වන ග්‍රහ ලෝකය පැවතිය නොහැකි යැයි මම නොකියමි," අධ්‍යයනයට නායකත්වය දුන් මහාචාර්ය සුසෑන් ෆාල්ස්නර් පිළිගනී. "නමුත් සම්භාවිතාව අඩු යි."

මෙම අතිරේක ග්‍රහලෝකය සඳහා සාක්ෂි "මෑත වසරවලදී අඩුවෙමින් පවතී" යැයි ග්‍රීන්ස්ට්‍රීට් පවසයි. නමුත් රූබින්හි ඡායාරූපගත කළ රූප නව වන ග්‍රහ ලෝකය හෙළි නොකළත්, ඒ වෙනුවට ඔවුන් සොයා ගන්නා දේ පිළිබඳව ඇය ශුභවාදී ය.

"බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ තවමත් බොහෝ දුරට ගවේෂණය නොකළ විශාල කලාපයක් තිබෙනවා... එහි තවත් මොනවා ද සැඟවිලා තියෙනවා ද? කියලා කවුද දන්නේ," ඇය පවසනවා.

"අපි පිළිතුරු දෙන සෑම ප්‍රශ්නයක් සමග ම සහ, අපි අසන සෑම ප්‍රශ්නයකින් ම නව ප්‍රශ්න ඇති වේවි."