ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ: ශ්‍රී ලංකාවේ එන්නත ගත් අයට සිදුවන්නේ කුමක් ද?

කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට බියක් මතු වී තිබේ
Published

කොරෝනාවෛරස් වසංගතය සම්බන්ධයෙන් ලෝකයේ පැවති බිය පහවී ගියේ, කොවිඩ් එන්නත් හරහා වසංගතය යම් ආකාරයක පාලනයකට නතු වූ හෙයිනි.

එහෙත්, වසර කිහිපයකට පසු කොවිඩ් එන්නත්වලින් ඇති වන අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වන විට බියක් මතු වී තිබේ.

මෙම බිය නිර්මාණය වූයේ, සිය කොවිඩ් එන්නත මගින් "රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි" බවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිෂ්පාදනය කළ සමාගම, බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමත් සමග ය.

ඉන්පසුව, බිලියන තුනකට අධික මාත්‍රා ගණනක් ලබා දීමෙන් පසුව "වාණිජමය හේතු මත යාවත්කාලීන කරන ලද නව එන්නතක් හදුන්වා දීමේ අරමුණින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනය කළේ ය.

එම සමාගම විසින් මෙම තීරණය ගනු ලැබුවේ, රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට සමාගමට එරෙහිව නඩු කිහිපයක් පැවරීමෙන් අනතුරුව ය.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසීමක් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, මෙතෙක් එම එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බව ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, මෙතෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බව ය.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා ද?

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවන ලදී.

එම එන්නත ඉන්දියාවේ මහා පරිමාණ එන්නත් නිෂ්පාදන ආයතනයක් වන සීරම් ආයතනය විසින් කොවිෂීල්ඩ් නමින් නිපදවන ලදී.

කොවිඩ්වලට එරෙහි එන්නතක් අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 250,000ක් පරිත්‍යාග කළේ ය.

ඒ, අසල්වැසියාට ප්‍රමුඛත්වය සංකල්පය අනුව ය. ඒ අනුව, ශ්‍රී ලංකාව, මාලදිවයින් සහ බංග්ලාදේශය යන අසල්වැසි රටවලට කොවිෂීල්ඩ් එන්නත් නොමිලේ පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකාවට මුලින් ම ලැබුණු එන්නත් මාත්‍රා තොගය වූ එය, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට තීරණය කළේ ය.

ඒ අනුව, බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන 2021 වසරේ ජනවාරි 29 වන දින ආරම්භ විය.

පසුව, එම වසරේ මාර්තු මාසය වන විට කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ගෙන්වා තිබිණි.

ඉන්පසු, තවත් මාත්‍රා මිලියන ගණනක් මෙරට ජනතාව වෙනුවෙන් මිල දී ගැනිණි.

ශ්‍රී ලාංකිකයින්ට අතුරු ආබාධ ඇති වූයේ නැති ද?

Skip podcast promotion and continue reading
WhatsApp BBC News සිංහල
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට මුල් කාලයේදී ම අතුරු ආබාධ ඇති වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එන්නත නිකුත් කිරීමට පෙර අදාළ සමාගම පුද්ගලයින් 40,000කට ලබා දී පරීක්ෂා කර තිබූ බවත්, ලක්ෂයකට දශම ගණනක් වැනි අඩු මට්ටමේ අතුරු ආබාධ සම්බන්ධයෙන් වාර්තා වී තිබූ බවත් ය.

"මේ එන්නත දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත. ඒ වෙලාවේ එන්නත නිසා ඇති විය හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධවලට වඩා එන්නත නිසා කොවිඩ් මරණ අවම කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ අවස්ථාවේ හැටියට ගත යුතු හොද ම පියවර විදිහට තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක නිර්දේශ කළේ," ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැහැදිලි කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, අතුරු ආබාධ පිළිබද බිය හදිසියේ මතුව ඇත්තේ, සමාගමට එරෙහිව නඩු පැවරීම හේතුවෙන් බව ය.

ශ්‍රී ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන්ට යම් යම් අතුරු ආබාධවලට මුහුණ දීමට සිදුවූ බව ය.

ඒ අතරින්, හෘදයාබාධ සහ රුධිරය කැටි ගැසීම් ආදී රෝග ලක්ෂණ මතු වූ බව ඔවුහු පැවසූහ. කෙසේ වෙතත්, එම සංකූලතා පසුකාලීනව මගහැරී ගිය බව ද ඔවුහු පැවසූහ.

ශ්‍රී ලංකාවට මුලින් ම ලැබුණු එන්නත් මාත්‍රා තොගය වූ එය, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට තීරණය කළේ ය.
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට මුලින් ම ලැබුණු එන්නත් මාත්‍රා තොගය වූ එය, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ රෝහල් සේවකයින්ට ලබා දීමට තීරණය කළේ ය

"මුල සිට ම අතුරු ආබාධ තිබුණා"

මේ අතර, කොවිෂීල්ඩ් පමණක් නොව සියලු කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ මුල් කාලයේ සිට ම පැවතුණු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය සමත් ධර්මරත්න පවසයි.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, කොවිඩ් එන්නත්වල අතුරු ආබාධ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් ඇතැයි ඇස්තමේන්තු කරන බව ය.

කෙසේ වෙතත්, ඔවුන් ඍජුව එන්නත නිසා මිය ගිය බව කිව නොහැකි අතර, හෘදයාබාධ ආදී රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමෙන් මිය ගිය බව තහවුරු වී ඇති බව ය.

"මම නම් කියන්නේ මේ සියලු එන්නත් නතර කළ යුතුයි. මේ එන්නත්වල අතුරු ආබාධ තිබුණු බව මුල ඉදලා ම තේරුණා. ඒත් ඒ වෙලාවේ තිබුණ අවශ්‍යතාව තමයි, කොරෝනාවෛරසය පාලනය කරන එක. ඒ නිසා මේ ගැන රජයට දොස් කියලා වැඩකුත් නෑ. අනිත් එක රජය මේක පාවිච්චි කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත. සාමාන්‍යයෙන් ලෝකයට ම බලපාන වසංගතයක් මර්දනය කරන්න මේ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා."

"මේ එන්නත ලබා දෙනකොට ඒකෙ උපදෙස් පත්‍රිකාවේ දක්වලා තිබුණා Not time tested කියලා. මොක ද, ඒ අවස්ථාවේ හැටියට එන්නත අත්හදාබලන්න ලොකු කාලයක් ගත කරන්න හැකියාවක් තිබුණෙ නෑ. මම දන්න විදිහට සියලු එන්නත්වලින් ශ්‍රී ලංකාවේ මරණ 7ක් විතර සිද්ධ වෙලා තියෙනවා," මහාචාර්ය සමත් ධර්මරත්න පැවසීය.

"කලබල විය යුතු නැහැ"

කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවේ, එවැනි අතුරු ආබාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ බරපතළ තත්ත්වයක් මතු වී නොමැති බව ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත් විය යුතු නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

ඇස්ට්‍රාසෙනෙකා සහ කොවිෂීල්ඩ් එන්නත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කුමන පියවරක් අනුගමනය කරන්නේ ද යන්න පිළිබදව බීබීසී සිංහල සේවය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙතෙක් එම එන්නත ලබා ගත් පුද්ගලයින්ගෙන් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බව ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවට කොවිෂීල්ඩ් දුන් ඉන්දියාවේ තත්ත්වය

කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ සීරම් ආයතනයට සහ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළ රජයේ බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ඉන්දීය දෙමාපියන් පිරිසක් සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, සිය දරුවන් එන්නත නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බවට චෝදනා කරමිනි.

කේරළ, මුම්බායි, කොයිම්බතූර්, හයිදරාබාද්, බෙංගලූරු සහ කපූර්තාලා යන ප්‍රදේශවල පදිංචි දෙමාපියන් පිරිසක් මෙලෙස නඩු මාර්ගයට පිවිසීමට තීරණය කර තිබේ.

සීරම් ආයතනයේ ප්‍රකාශකයෙකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණේ, "අපි දැනට පවතින තත්ත්වය සම්පූර්ණයෙන් ම තේරුම් අරගෙන තිබෙනවා. මේ චෝදනා සම්බන්ධයෙන් විනිවිදභාවය සහ ආරක්ෂාව සඳහා අපගේ කැපවීම අවධාරණය කරන්න කැමතියි. මේ එන්නතට අදාළව දුර්ලභ හා ඉතා දුර්ලභ අතුරු ආබාධ සියල්ල අපි මුල සිට ම ඒ කියන්නෙ 2021 වසරේ සිට ම හෙළිදරව් කර තිබෙනවා," යනුවෙනි.