'නිරායුධ වීම ප්‍රතික්ෂේප කරන බව' ලෙබනන් සටන් විරාමය ආරම්භ වීමත් සමග හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායකයෙක් බීබීසීයට කියයි

කළු පැහැති කලිසමක් ඇඳගත් පුටුවක වාඩි වී සිටින පුද්ගලයෙකු කැමරාවේ දෙස බලාගෙන සිටින අයුරු.
    • Author, නවාල් අල්-මාගාෆි
    • Role, බේරූට් හී ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර ගවේෂණාත්මක වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 6

හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෆීක් සෆා සමග බේරූට් නුවරදී පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඊශ්‍රායලය, එක්සත් ජනපදය සහ ලෙබනනය තුළ සිටින බොහෝ පිරිසකගෙන් ඉදිරිපත් වන දීර්ඝ කාලීන ඉල්ලීමක් වන හිස්බුල්ලා සංවිධානය කවදා හෝ ඔවුන්ගේ ආයුධ අතහරින්නේ ද යන ප්‍රශ්නයට, පැහැදිලිව පිළිතුරු ලබා දුන්නේය.

''හිස්බුල්ලා නිරායුධ කරන්න කාටවත් බෑ, කාටවත් ම බෑ '' ඔහු පැවසුවේය.`

"සැබෑ සටන් විරාමයක් ලැබෙන තෙක්, ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් පිට වන තෙක්, සිරකරුවන් නිදහස් කරන තෙක්, අවතැන් වූ පුද්ගලයින් නැවත සිය නිවෙස් බලා යන තෙක් සහ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වන තෙක් ආයුධ අත්හැරීම ගැන සාකච්ඡා කරන්නේ නැති," බව වෆික් සෆා එහිදී පැවසීය.

මෑතකාලීන ගැටුමෙන් හිස්බුල්ලා සංවිධානය දුර්වල වී ඇතැයි යන යෝජනා ඔහු ප්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට තර්ක කරමින් පැවසුවේ ඊශ්‍රායලය ඔවුන්ගේ හමුදාමය අරමුණු තුළ පරාජය වී ඇති බවයි.

''ඊශ්‍රායලය විශ්වාස කළා හිස්බුල්ලා ඉතාමත් දුර්වල වෙලා කියලා. නමුත් මේ යුද්ධය වෙනත් දෙයක් පෙන්වලා තිබෙනවා. ඒ (ඊශ්‍රායලය) පරාජයට පත්වෙලා වගේම ඔවුන්ට පසුබැසීම හැර විකල්පයක් නැහැ.'' ඔහු පැවසුවේය.

ඊශ්‍රායලයේ පැවැත්ම සඳහා වන අයිතියට විරුද්ධ වන ෂියා මුස්ලිම් දේශපාලන සහ සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය සහ තවත් බොහෝ රටවල් විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකනු ලබයි.

අවසානයේදී ඊශ්‍රායල හමුදාව ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දේශ සීමාව ඔස්සේ යළිත් කුඩා පටු ප්‍රදේශයකට තල්ලු කර දමනු ඇතැයි සෆා පැවසුවේය.

නමුත් ඔහුගේ මෙම අදහස් දැක්වීම අප්‍රේල් 16 වනදා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් සිදු කළ ප්‍රකාශවලට මුළුමනින්ම පටහැනි වන අතර ඔහු එහිදී අවධාරණය කළේ "ආරක්ෂක බෆර් කලාපයක්" නිර්මාණය කරමින් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවයි.

ඊශ්‍රායල රජය පවසන්නේ හිස්බුල්ලා නිරායුධ කිරීම යනු ලෙබනන රජය සමග තවදුරටත් සිදුකෙරෙන සාකච්ඡාවලදී ඉදිරිපත් කරන මූලික ඉල්ලීමක් බවයි.

ඉරානයේ උත්තරීතර නායකයාගේ මරණය සහ 2024 වසරේ ක්‍රියාත්මක වූ ඔවුන්ගේ අවසන් යුද්ධයේ සිට දිනපතා ලෙබනනය වෙත එල්ල වන ඊශ්‍රායල ප්‍රහාර සඳහා පලිගැනීමේ ප්‍රහාර බව පවසමින් හිස්බුල්ලා මාර්තු මාසයේ මුලදී ඊශ්‍රායලය තුළට රොකට් ප්‍රහාර එල්ල කරමින් මෑතකාලීන ගැටුමට සම්බන්ධ විය.

ඊශ්‍රායලය එයට ප්‍රතිචාර දක්වමින් දැඩි ගුවන් ප්‍රහාර දියත් කළ අතර හිස්බුල්ලා සිය අවි අත්හරින තෙක් මෙහෙයුම දිගටම කරගෙන යන බව පවසමින් දකුණු ලෙබනනයට ගොඩබිම් හමුදා යැවීය.

පෙර සිදුකළ දැනුම්දීම

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ආරම්භ වූ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමය පිළිබඳ ගිවිසුම එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර හිස්බුල්ලා සංවිධානය වෙත කල්තියා දැනුම්දුන් බව සෆා පැවසුවේය.

ලෙබනන් අගනුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිට අදහස් දක්වමින් සෆා පැවසුවේ එම තොරතුරු ඉරානය හරහා ලැබී තිබුණු බවයි.

''අපි දැනගෙන සිටියේ, ඉරාන ජාතිකයින් අපිව දැනුවත් කළා.'' 'ඔහු පැවසුවේය.

ගැටුමේ තීරණාත්මක මොහොතක හිස්බුල්ලා සහ එහි ප්‍රධාන කලාපීය අධාරකරු සමග ඇති සම්බන්ධීකරණය පිළිබඳ දුර්ලභ චිත්‍රයක් ඔහුගේ අදහස් මගින් පිළිබිඹු කරයි.

'අපි අතීතයට ආපසු යෑමක් පිළිගන්නේ නැහැ'

වෆික් සෆා හිස්බුල්ලා හි ජ්‍යෙෂ්ඨ නායකයෙකි. නමුත් 2024 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායල ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගැනීමෙන් පසු ඔහු මහජන අවධානයෙන් ඈත්ව සිටියේය. සති දෙකකට පෙර, ඔහුගේ සමීප සගයා සහ දිගුකාලීන හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා, දැවැන්ත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය.


සුන්බුන් වලින් වටවී ඇති දරුණු ලෙස හානි වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට දැඩි ලෙස හානි වූ සුදු පැහැති මෝටර් රථයක්

ඡායාරූප මූලාශ්‍රය, FADEL ITANI / Getty

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අද දක්වා ම සෆා ඉහළ පෙළේ ඉලක්කයක් වී සිටින අතර, මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය අවට යොදවා තිබූ ආරක්ෂාව ද ඉතා පුළුල් විය.

ඔවුන් විසින් පෙර නියම කර තිබු ස්ථානයකට පැමිණෙන ලෙස අපට දැනුම් දී තිබුණු අතර එහිදී අපගේ ජංගම දුරකතන කඩිනමින් ඔවුන් සිය භාරයට ගත්හ. එතැන් සිට මා සහ කැමරා ශිල්පියා පමණක් දකුණු දිග බේරූට් නගරයේ කෙළවර පිහිටි මහල් ගොඩනැගිල්ලක සම්මුඛ සාකච්ඡාව සිදුකරන රහසිගත ස්ථානය වෙත අධික වේගයෙන් ගෙන යන ලදී.

මම එම ස්ථානයට පැමිණෙන විටත් සෆා මා හමුවීමට එහි පැමිණ සිටියේය. එම ස්ථානය අවට බෝම්බ ප්‍රහාරවලින් විනාශ වූ ගොඩනැගිලි තිබුණද, ඔහු ඉතා සන්සුන්ව සිටින බවක් පෙනෙන්නට තිබිණි.

සටන් විරාම යෝජනාව පිළිගනිමින් සෆා යෝජනා කළේ වසරකට වැඩි කාලයක් පුරා පැවති සටනින් පසු හුදෙක් පෙර පැවති තත්ත්වයටම නැවත පත්වන ලෙසට වන කොන්දේසිවලට හිස්බුල්ලා සංවිධානය එකඟ නොවන බවයි.

"නමුත් සටන් විරාමය සර්වසම්පූර්ණ සහ අව්‍යාජ නම් - මුළුමනින්ම ඉවත් වීම, නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ නොදීම (ඊශ්‍රායල හමුදාව), සිරකරුවන් නිදහස් කිරීම, අවතැන් වූ ජනතාව නැවත පැමිණීම සහ යළි ඉදිකිරීම් කටයුතු ඇතුළුව ඒක වෙනම දෙයක්. නමුත් ඒකෙන් ඉන් අදහස් කරන්නේ ඒ දේවල් කලින් තිබූ තත්ත්වයටම නැවත පත්වීමක් නම් නිසැකවම අපි ඒක පිළිගන්නේ නැහැ," ඔහු පැවසීය.

'එක සිරුරක ආත්ම දෙකක්'

ලෙබනනය තුළ සහ හිස්බුල්ලා සංවිධානයේ බලය සීමා කිරීමට උත්සාහ කරන අනෙකුත් රටවලට වැදගත් කාරණයක් වන ඉරානය සමග හිස්බුල්ලා සංවිධානයේ සම්බන්ධය ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී පැහැදිලි විය.

''හිස්බුල්ලා සහ ඉරානය කියලා කියන්නේ එකම ශරීරයක තිබෙන ආත්ම දෙකක්. ඉරානය නැත්නම් හිස්බුල්ලා සංවිධානයක් නැහැ, ඒ වගේම හිස්බුල්ලා නැතිව ඉරානයක් නැහැ.'' සෆා පැවසීය.

ඔහු මෙම සබඳතාව "ආගමික, නෛතික සහ මතවාදී" ලෙස විස්තර කළ අතර "එහි වෙන්වීමක් තිබිය නොහැකි" බවද කියා සිටියේය.

ඔහුගේ අදහස් කණ්ඩායම අවසානයේ සේවය කරන්නේ ඉරානයේ මූලෝපායික අවශ්‍යතාවලට මිස ලෙබනන් ජනතාව වෙනුවෙන් නොවන බවට එම සංවිධානයේ විවේචකයන් අතරේ පවතින කණස්සල්ල තවදුරටත් ශක්තිමත් කරනු ඇත.

ලෙබනනය ද? ඉරානය ද?

 එකතැන නතර වී ඇති මෝටර් රථවල සිටින රියැදුරන්ට විවිධ දේවල් විකුණන පුද්ගලයින්

ඡායාරූප මූලාශ්‍රය, Anadolu / Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 10ක තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක කිරීමෙන් පසු අවතැන් වූ ජනතාව තම නිවෙස් කරා ආපසු යන විට මාර්ග වාහන වලින් පිරී තිබිණි.

හිස්බුල්ලා ප්‍රමුඛතාව ලබාදෙන්නේ ලෙබනනයේ අවශ්‍යතා සඳහා ද නැතහොත් ඉරානය වෙනුවෙන් ද යන්න විමසූ විට සෆා ස්ථිර ලෙසම පවසා සිටියේ කණ්ඩායම ක්‍රියාකරන්නේ ලෙබනනයේ අවශ්‍යතා සඳහා බවයි.

''ඇත්ත වශයෙන්ම ඔව්. හිස්බුල්ලා බලන්නේ ලෙබනනයේ අවශ්‍යතා ගැනයි. අපි ඉරානයෙන් ප්‍රතිලාභ ලබාගෙන තියෙනවා. නැතුව ඒකේ අනිත් පැත්ත නෙමෙයි.'' ඔහු පැවසුවේය.

ඔහු තර්ක කළේ සටන් විරාමයක් සඳහා එළඹෙන ලෙස එල්ල කළ පීඩනය ඇතුලුව ඉරානයෙන් ලද සහයෝගය වර්තමාන ගැටුමේදී ලෙබනන සඳහා සහය වූ බවයි.

සටන් පෙරමුණේදී හිස්බුල්ලාගේ ඔරොත්තු දීමේ හැකියාව ද ඊශ්‍රායලය සාකච්ඡා වෙත ගෙන ඒමට බල කළ බව සෆා පැවසුවේය.

''සටන්කරුවන් ඉදිරි පෙළේ ශක්තිමත්ව සිටියේ නැත්නම්, ඊශ්‍රායලය ඔවුන්ගේ ඉලක්ක සපුරා ගන්නවා,'' ඔහු පැවසුවේය.

නමුත් බීබීසී පුවත් සේවය මෑතකාලීන වාර්තාකරණයේදී සාකච්ඡා කළ ජනතාව ද ඇතුළුව ලෙබනන් වැසියන් බොහෝදෙනෙකු පවසන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ සංවිධානය නිරායුධ කිරීම බවයි. ඔවුන් රට ගැටුමට ඇද දමන බවට ද ඔවුහු චෝදනා කලහ.

හිස්බුල්ලාගේ භූමිකාව සම්බන්ධයෙන් ලෙබනනය තුළ පවතින ගැඹුරු බෙදීම් සම්මුඛ සාකච්ඡාවෙන් ඉස්මතු කරයි.

සෆා එම විවේචන ප්‍රතික්ෂේප කළේය. ''මේක වැරදි මතයක්, අපි අත්විඳිමින් සිටින අනතුර ඊශ්‍රායල සතුරාගේ ක්‍රියාකලාපය නිසා මිස හිස්බුල්ලා නිසා නෙමෙයි.'' ඔහු පැවසුවේය.

හුදෙක් ලෙබනනය තුළ පමණක් නොව ඊශ්‍රායලය විසින් සිරියාව, ඉරාකය, ඉරානය සහ යේමනය ඇතුළු කලාපය පුරා ප්‍රහාර එල්ල කරමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

අර්බුදයක් අබියස සිටින රටක්

ගැටුම උත්සන්න වූ දා සිට ලෙබනනය දැඩි පීඩනයක් යටතේ පවතින අතර දකුණු දිග සහ දේශසීමා ප්‍රදේශවලින් වැඩි කොටසක් සුන්බුන් බවට පත්ව මිලියනයකට අධික සිවිල් වැසියන් පිරිසක් අවතැන්ව සිටියි.

සටන් විරාම නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර මෙම සම්මුඛ සාකච්ඡාව පැවති මොහොත, පවතින තත්ත්වය කෙතරම් බිඳෙනසුලු හා වේගයෙන් ගතවෙමින් තිබුණේ ද යන්න පෙන්නුම් කළේය.

සටන් විරාමය තාවකාලික සහනයක් ගෙන දිය හැකි වුවද, මූලික ගැටලු තවමත් නොවිසඳී පවතින බව සෆාගේ අදහස්වලින් පැහැදිලි වේ.

අප සම්මුඛ සාකච්ඡාව අවසන් කළ විට ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් ඉහළින් පියාසර කරන හඬ මට ඇසුණි. සෆා ඔහුගේ අව් කණ්ණාඩි පැළඳගෙන, ඔහුගේ හිස තොප්පියකින් වසාගෙන සන්සුන්ව ගොඩනැගිල්ලෙන් පිටව ගියේය.

හිස්බුල්ලා නිරායුධ වීම ප්‍රතික්ෂේප කරමින් දැඩි කොන්දේසි මත ස්ථිරව සිටීම සහ ඊශ්‍රායලය ඔවුන්ගේ ආරක්ෂක ඉල්ලීම් තුළ දැඩිව රැඳී සිටීමත් හමුවේ සිදුවන ඕනෑම සටන් විරාමයක් මගින් ප්‍රත්‍යක්ෂ වන්නේ එය දීර්ඝකාලීන ගැටුමක විරාමයක් පමණක් වනු ඇති බවයි.