නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු නඩුවට CID නිලධාරීන් සහය නොදෙන බවට මහාධිකරණ විනිසුරුවරියගෙන් චෝදනා

නාමල් රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 1

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා සහ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහය නොදක්වන බව අධිකරණය විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ බව සටහන් කර තබන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ අද (ජූලි 07) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා ය.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට, විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ කටයුතු කිරීම සඳහා චෝදනාවල සංක්ෂිප්ත පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළා ය.

ඊට අමතරව මෙම ඉන්දීය සාක්ෂිකරුවන් පදිංචිව සිටින ලිපිනවලට අමතරව තවත් ලිපින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබ ඇති බවත්, එම ලිපින අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරිය දැනුම් දුන්නා ය.

ඒ අනුව, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 ප්‍රකාරව කටයුතු කරමින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මාර්ගයෙන් සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විනිසුරුවරිය අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළා ය.

නාමල් ආවත් CID නිලධාරීන් නැහැ

මෙම සිතාසි නිකුත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 22 වන දා කැඳවන ලෙස ද විනිසුරුවරිය නියෝග කළා ය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම නඩු විභාගය සඳහා හෝ සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාදාමය සඳහා සහය දැක්වීමක් නොකරන බව අධිකරණය නිරීක්ෂණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය එය සටහන් කර තබන බවත් විවෘත අධිකරණයේ පැවසුවා ය.

ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුකරය විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස නියම කළා ය.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව දියුණු කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබ තිබේ.