නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති ඝාතනය: පිල්ලෙයාන් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා

Sivanesathurai Chandrakanthan

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

2009 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති ධූරය දැරූ මහාචාර්ය සුබ්‍රනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් විවිධ වධ හිංසා පමුණුවා මරා දැමීමේ සිද්ධියට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන ඇමති පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ (අගෝ: 17) වෙන් වෙන් වශයෙන් අධිචෝදනා ගොනු කරනු ලැබී ය.

මෙම සිද්ධියට අදාළව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට අමතරව නීතිපතිවරයා විසින් අධිචෝදනා ලැබූ අනෙකුත් විත්තිකරුවන් වන්නේ, කදීර් තම්බයියා, තංගවේලු කදිරයාර් සහ නාගරාසා රත්නම් යන තිදෙනා ය.

'පැහැරගෙන ගොස් ඝාතනය කිරීම'

2009 වසරේ ජූනි මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරුවන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ එවකට උපකුලපති මහචාර්ය සුබ්‍රනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා මරා දැමූ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ඇතුළුව චෝදනා තුනක් යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව පොළොන්නරුව මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කෙරිණි.

පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග විසින් විත්තිකරුවන්ට ඉදිරි දිනයක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කොට ඔවුන් මහාධිකරණයට කැඳවා රජයේ නීතිඥ අනුරාධ විජේසුරේන්ද්‍ර මගින් අදාළ අධිචෝදනා කියවා භාර දීමට නියමිත ය.

නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද්දේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවල උදෘත අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය.