ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉදිරියේදී පවුලේ සාදවලදීත් ගීතවලට මුදල් ගෙවිය යුතු ද? ගීත බලපත්‍ර ගැන ඔබ දැනගත යුතු දේ
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
උත්සව අවස්ථාවලදී ගායනය හෝ වාදනය කරනු ලබන ගීත සඳහා කර්තෘ භාගයක් අය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් වූ ගැසට් පත්‍රයට සමගාමීව, එය ක්‍රියාවට නංවනු ලබන සංවිධානය මෑතකදී සිදු කළ ප්රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි මතභේදයකට තුඩු දී තිබේ.
විශේෂයෙන් ම මංගල උත්සවවලදී ද එම පවුලේ සාමාජිකයෙකු විසින් ගීතයක් ගායනය කරනු ලබන්නේ ද, ඒ සඳහා ද ගාස්තුවක් ගෙවිය යුතු බවට එම ප්රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ වීමත් සමග මෙම කතිකාව තවදුරටත් උත්සන්න විය.
ඉන්පසුව කිහිපදෙනෙකු එක්ව විනෝද වන අවස්ථාවකදී පවා ගීත ගායනය කිරීමේදී මුදල් ගෙවීමට සිදුවේ ද යන ප්‍රශ්න පවා ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් විමසා තිබිණි.
තවද ඇතැම් ගායකයින් සිය ගීත ඕනෑම අයෙකුට ගායනය කළ හැකි බව පවසමින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් සහ වීඩියෝ පල කර තිබේ.
ඒ අනුව මෙම කර්තෘ භාග අය කරගැනීම සම්බන්ධයෙන් සංගීත නිර්මාණකරුවන් නියෝජනය කරනු ලබන සංවිධාන වලින් විමසීමක් කිරීමට බීබීසී සිංහල විසින් කටයුතු කරන ලදී.
ගීතයක අයිතිය
ශ්‍රී ලංකාවේ පවතින බුද්ධිමය දේපළ නීතිය අනුව ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක අයිතිය නොමැති බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ නීති උපදේශක, නීතිවේදී දුෂාර කුමාර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.
"ගීතයේ සම්පූර්ණ අයිතිය දීලා තියෙන්නේ පද රචකයාටයි තනු නිර්මාණ ශිල්පියාට යි. ගායනයට විතරක් අවුරුදු 50කට අයිතිය දීලා තියෙනවා. නමුත් පද රචකයාටයි තනු නිර්මාණ ශිල්පියාටයි ඕනෑම අවස්ථාවකදී ගායකයාගේ සින්දුවක් නවත්තන්න පුළුවන්," ඔහු පෙන්වා දුන්නේ ය.
මේ නිසා මෑතකදී, ගායිකා දීපිකා ප්‍රියදර්ශනී, ගායක දුෂ්ෂ්‍යන්ත වීරමන් වැනි අයට ද ඔවුන් ගායනා කළ ඇතැම් ගීත නැවත ගායනා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ඔහු පවසයි.
එමෙන් ම ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ ද ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ වීඩියෝවක දැක්වෙන්නේ ඔහු වසර 30කට පමණ පෙර ගායනය කළ ගීතයක් සඳහා එහි පද රචනය සිදු කළ ලේඛිකාව වාරණ නියෝගයක් ලබා ගැනීම හේතුවෙන් තවදුරටත් එම ගීතය ගායනය නොකරන බවයි.
නැවත එම ගීතය ගායනය කරන්නේ නම් එම පද රචනය කළ ලේඛිකාවට රු. කෝටියක මුදලක් ගෙවන ලෙසට එම වාරණයේ සඳහන්ව ඇතැයි ඔහු එම වීඩියෝවේ පවසයි.
"හරියට මේ ගේක කුලියට ඉන්නවා වගේ. ගායකයා ගේ කුලියට ඉන්නවා, ගේට අයිතිකාරයෝ දෙන්නා තමයි පද රචකයා යි තනු නිර්මාණ ශිල්පියා යි. අයිතිකාරයා කුලියට ඉන්න මනුස්සයාට දැන් යන්න එළියට කිව්වොත් යන්න එපැයි. අන්න ඒ වගේ එකක් තියෙන්නේ," යැයි නීතිවේදී දුෂාර කුමාර තවදුරටත් පැහැදිලි කළේ ය.
"දැන් උදාහරණයකට ටී.එම්. ජයරත්න මහත්තයා අවුරුදු 50ට ඉස්සෙල්ලා ගායනා කරපු සින්දු තියෙනවානේ. දැන් එයාට 84ක් ද 82ක් ද කොහෙද. එතකොට එයාට ඒවයේ කිසිම අයිතියක් නැහැ. පද රචකයා ජීවත්ව ඉන්න තාක්කල් එයාගේ අයිතිවාසිකම් හම්බ වෙනවා. ඊට අමතරව මැරිලා අවුරුදු 70ක් යනකම් හම්බ වෙනවා."
කෙසේවෙතත් මේ වන විට යෝජනා වී ඇති ගාස්තු අය කිරීම යටතේ ගායකයන්ට ගෙවීමක් සිදු නොවන බවත් එම අය කරගැනීම සිදු කරන්නේ තනු නිර්මාණ ශිල්පීන් සහ ගීත රචකයන් සඳහා පමණක් බවත් ඔහු සඳහන් කළේ ය.
'රුපියල් හයයි තමයි ගායකයෙකුට හම්බවෙන්නේ ඒ ගුවන්විදුලියේ ගීතයක් ප්‍රචාරය වුණොත්'
ගායක ගායිකාවන් සහ නිෂ්පාදකයන් නියෝජනය කරන සංවිධානයක් වන OSCA සංවිධානයේ සභාපති කීර්ති පැස්කුවෙල්, යම් ගීයක් ගුවන් විදුලියක හෝ රූපවාහිනියක වාදනය වුවහොත් සිදු කරන ගෙවීම සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේ ය.
"රූපවාහිනියේ වාදනය වුණොත් රු. 100 යි. ගුවන්විදුලියේ වාදනය වුණොත් රුපියල් 20යි. ඒ රුපියල් 20, ඒක තුනට බෙදනවා. ඒක තුන් දෙනෙක් ඉන්නවා. තුනට බෙදිලා එක්කෙනෙක්ට හයයි... එතකොට රුපියල් දෙකක් යනවා අර ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට. එතකොට රුපියල් හයයි තමයි ගායකයෙකුට හම්බවෙන්නේ ඒ ගුවන්විදුලියේ ගීතයක් ප්‍රචාරය වුණොත්. එතකොට එයාගේ ගීතය 333 වාරයක් ප්‍රචාරය වෙන්න ඕනේ එයාට යම්කිසි ගෙවීමක් අපිට කරන්න මොකද රුපියල් 2000යි අවම ගෙවීම කරන්නේ," ඔහු පැවසුවේ ය.
"ගුවන්විදුලි නාලිකා දෙකයි ගෙවන්නේ. ඒ ගෙවීම් කරන්න නාලිකා 27ක් තියෙනවා. නමුත් අපි ඉල්ලීම් කරත් ඒගොල්ලෝ ගෙවන්නේ නැහැ."
තවද කිසිදු රූපවාහිනී නාලිකාවකින් මෙම ගෙවීම් සිදු නොකරන බව ද ඔහු පැවසුවේ ය.
ගාස්තු අය කරන්නේ කවුද?
මේ වන විට සාකච්ඡාවට බඳුන් වී තිබෙන බලපත්‍ර නිකුත් කිරීමේ බලය සහිත සංවිධානය වන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය හෙවත් ACPOSL සංවිධානය යනු ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කරන ලද සාමූහික කළමනාකරණ සංවිධානයක් වේ.
මෙම සංවිධානයේ මේ වන විට සාමාජිකයන් 420කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රංග දසනායක බීබීසී සිංහල වෙත පැවසුවේ ය.
ඒ අතර, ගීත රචකයින්, තනු නිර්මාණ ශිල්පින් සහ එක් ප්‍රකාශන ආයතනයක් සම්බන්ධ වී සිටින බව ඔහු පැවසුවේ ය.
මේ වන විට මෙලෙස ගාස්තු අය කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන මෙම සංවිධානය විසින් අය කරනු ලබන ගාස්තු පිළිබඳව මේ වන විට ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබේ.
ගාස්තු අය කරන්නේ කෙසේද?
පළමුව, මෙලෙස අය කරනු ලබන ගාස්තු තීරණය කෙරුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ACPOSL සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රංග දසනායකගෙන් විමසීමක් සිදු කරන ලදී.
එම ගාස්තු තීරණය කිරීම සංවිධානයේ සාමාජිකයන්ගේ එකඟත්වයෙන් සිදුවූ බව ඔහු පෙන්වා දෙයි.
"කතෘ භාග කළමනාකරණ ආයතනයක් විදිහට අපිට අර හැම කෙනාටම එක එක ගණන් කියන්න බැහැ. මොකද ආයතනයකට ආවට පස්සේ ආයතනය එකතු වෙලා සාමාජිකත්වයත් එක්ක කතා කරලා ඒගොල්ලන් එක පොදු ගාණකට එන්න ඕනේ. එතකොට ඒ පොදු ගාන තමයි ඕන ම කෙනෙක්ට නිර්මාණයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මිල තීරණය කරන එක... එතකොට ඒක තීරණය කරන්නේ මහා සභා රැස්වීමේදී. ඒ තැනදී කතා කරලා ඒක අනුමත කරගෙන තමයි අපි ගාස්තු ක්‍රමවේදයකට යන්නේ," ඔහු පැවසුවේ ය.
මෙම ගාස්තු අය කිරීම එක් එක් අවස්ථා සහ ස්ථාන සඳහා වෙනස් ය. මෙම නීතිය මූලික වශයෙන් ම බලපාන්නේ වාණිජ අරමුණු සහිත ස්ථාන සහ උත්සවවල ගීත ගායනය හෝ වාදනය සම්බන්ධයෙන් බව ද රංග දසනායක පවසයි.
ගැසට් නිවේදනයේ සඳහන් වර්ගීකරණයන් අනුව, ප්රදර්ශනාගාර, සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, ආකේඩ්, ප්ලාසා, කාර්යාල මෙම සංවිධානයේ සාමාජිකයන් වන නිර්මාණකරුවන්ගේ ගීත පසුබිමින් වාදනය කර තිබෙන්නේ නම්, එක් එක් ආයතනය විසින් ගෙවිය යුතු ගාස්තුව තීරණය වන්නේ එම ආයතනය අයත් වර්ගීකරණය අනුව සහ එම ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව සහ, එය පිහිටා තිබෙන්නේ මහ නගර සභා බලප්රදේශයක ද, නගර සභා බල ප්‍රදේශයක ද සහ ප්‍රාදේශීය සභා බලප්රදේශයක ද යන්න මත ය.
මීට අමතරව, හෝටල් සහ ලැගුම්හල් වැනි ආගන්තුක සත්කාර සපයනු ලබන ආයතන, සංගීතය ඇතුළත් භෝජන සංග්‍රහ, උත්සව, DJ වැඩසටහන් සඳහා ද බලපත්‍ර ලබා ගැනීම සිදු කළ යුතු වේ. හෝටල් සඳහා එය අයත් වන තරු කාණ්ඩය (උදා: තරු පහ හෝටල්) සහ පිහිටි පළාත් පාලන ආයතනයේ ස්වභාවය අනුව ගාස්තු වෙනස්වීම සිදුවේ.
මෙයට අයත් තවත් ස්ථාන වන්නේ රාත්‍රී සමාජශාලා, මත්පැන් අලෙවි හල්, කෝපි අලෙවි හල්, අවන් හල් වැනි ස්ථාන වේ.
මෙහි සඳහන් කළ අවස්ථා ඇතුළු මෙම ගැසට් පත්‍රයේ සඳහන් අවස්ථා සහ ස්ථාන සඳහා ඉහත ආකාරයේ බලපත්‍ර ලබා ගැනීමක් සිදු කළ යුතු අතර, සංගීත සංදර්ශන සඳහා එක් එක් ගීතය අනුව ගාස්තු තීරණය කරන බව ගැසට් පත්‍රයේ සඳහන් වේ.
"නගර සභා කියන්නේ අපි දන්නවා ලොකු ටවුන්ස්වල තියෙන ඒවා වගේ නෙවෙයි පිට පළාත්වල තියෙන ඒවට අපිට එකම ක්‍රමවේදය ගෙනියන්න බැහැනේ. ගාණ වෙනස් වෙන්න එපැයි. මොකද ඒවට... ඒ කියන්නේ එක ම ගාස්තුව අය කරන්න ගියොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. පිට පළාත්වලට අපි ඒ සහනයක් දීලා තියෙනවා එතනදී," පළාත් පාලන ආයතන අනුව ගාස්තු වෙනස් වීම විස්තර කරමින් රංග දසනායක පැවසුවේ ය.
'බුද්ධිමය දේපළ නීතිය යටතේ අපිට බලය තියෙනවා'
මෙහිදී ගාස්තු අයකරන්නේ කෙසේදැයි අප එහිදී ඔහුගෙන් විමසා සිටින ලදී.
"අපි හැම හොටෙල් පරිශ්‍රයකටම දැනුම් දීලා තියෙනවා. ඒ කියන්නේ ෆයිව් ස්ටාර් හොටෙල්ස්, කොළඹ තියෙන සහ කොළඹින් පිට තියෙන ෆයිව් ස්ටාර් හොටෙල්ස් වලට ඔක්කොටම දැනුම් දීමක් කරලා තියෙනවා මේ බලපත්‍ර ක්‍රමයට. දැන් ඒකේ නීතියක් තියෙනවා බුද්ධිමය දේපළ, ඒ නීතිය යටතේ අපිට බලය තියෙනවා බලපත්රගත කරන්න කියලා දැනුම් දෙන්න," ඔහු පැවසුවේ ය.
මංගල උත්සව සහ උපන්දින සැමරුම් සඳහා සහනයක්
මේ වන විට මංගල උත්සව සහ උපන්දින සාද සඳහා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතැයි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ACPOSL ප්‍රධාන විධායක නිලධාරී රංග දසනායක පැවසුවේ ය.
"දැනට අපි තාවකාලිකව ඔය වෙඩින්ස් සහ බර්ත්ඩේ පාටීස් කියන දෙක නැවැත්තුවා... අපි සංගම් කීපයක් සමග සාකච්ඡා කරාට පස්සේ අපිට ආපු අදහස් එක්ක, මේ ඒක නවත්තනවා නම් අපිට සාමාජිකත්වයෙන් ආයෙ පාරක් ඒක විමසලා ඒගොල්ලන්ගේ තුනෙන් දෙකක අනුමැතිය ඇතුව තමයි ඒක නවත්තන්න ඕනේ. එතකොට අපි නොවැම්බර් මාසේ මහා සභා රැස්වීම තියෙන්නේ මේ අවුරුද්දේ එක. නොවැම්බර් මාසේ වෙනකන් ඒගොල්ලන්ගෙන් අනුමැතිය ගන්න අපි තාවකාලිකව නැවැත්තුවා," ඔහු පැවසුවේ ය.
"හැබැයි අනිත් ඉවෙන්ට්ස්, කෝපරේට් ඉවෙන්ට්ස්, ප්‍රොඩක්ට් ලෝන්ච් වගේ ඒවා, එහෙම නැත්නම් අවෝඩ් සෙරමනීස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලෝන්ච් වෙන්න පුළුවන් ඒවට සංගීතය දීලා ඩාන්ස් වගේ ඒවා, හොටෙල් පරිශ්‍ර ඇතුලේ පවත්වන තරු පහේ පන්තියේ, අපි හැම හොටෙල් එකටම මේ වෙනකොට දැනුම් දීමක් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් අපෙන් අවසරයක් නැතුව අපේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ පාවිච්චි කරලා අපිට දැනගන්න හම්බවුණොත් අපි අනිවාර්යයෙන්ම නීතිමය ක්‍රියාමාර්ගවලට යනවා කියලා අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා."
මෙම ගැසට් පත්‍රයේ බස් රථවල ගීත වාදනය ඇතුළු ප්‍රවාහන සේවාවලදී ගීත වාදනය සඳහා ද ගාස්තු අය කිරීමක් සම්බන්ධයෙන් සඳහන් කර තිබූ නිසා බීබීසී සිහල විසින් ඒ සම්බන්ධයෙන් ද රංග දසනයකගෙන් විමසීමක් සිදු කරන ලදී.
CISAC නම් සංවිධානයක් සමග එකතු වීමේ අරමුණින් එම පැතිවල ද කර්තෘ භාග අය කිරීම සඳහා ක්‍රමවේදයක් පවතින බවට පෙන්වීමට අවශ්‍ය වූ බවත්, ගැසට් පත්‍රයේ එවැන්නක් සඳහන් වූව ද මෙතෙක් එවැන්නක් සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්රයට දැනුම් දීමක් සිදු කර නොමැති බවත් ඔහු කියා සිටියේ ය.
"ඒගොල්ලන්ට පෙන්නන්න අපි මේ ලංකාව ඇතුළත මෙහෙම වැඩපිළිවෙලක් ගියා කියලා පෙන්නන්න වුණා, අපි මේ බස් වලට, කෝච්චි වලට, එහෙම නැත්නම් එයාපෝට් එකේ, නැව්වල, ඊට පස්සේ සුපර්මාර්කට් වල, මේ හැමතැනම මියුසික් පාවිච්චි වෙනවා නම් ඔන්න මෙන්න මේ ක්‍රමවේදයට අපි ලයිසන් කරනවා කියන එක තමයි අපි පෙන්නලා තිබ්බේ. හැබැයි අපි කවදාවත් ඒගොල්ලන්ට ලියුම් යැව්වේ නැහැ ඔය බස් සංගම් වලට, එහෙම නැත්නම් ගමනාගමන මණ්ඩලයට, එහෙම නැත්නම් එයාපෝට් එකට, ඒ වගේ තැන් වලට, සුපර්මාර්කට් වලට අපි එහෙම ලියුම් යැව්වේ නැහැ," ඔහු කියා සිටියේ ය.
නිවසේ සාදයකදිත් ගීත ගායනා කරන්න බැරි ද?
කෙසේවෙතත් නිවසක පැවැත්වෙන සාදයක් සඳහා, නිවසක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා මෙවැනි ආකාරයේ ගාස්තු ගෙවීමක් අවශ්‍ය නොවන බව රංග දසනායක කියා සිටියේ ය.
"වැරදි විදිහට මේක අර්ථකථනය කරලා ගෙවල් වල සින්දු කියන්න බැහැ, පාරේ සින්දු කියන්න බැහැ එහෙම කියලා බොරුවට මේක වෙන විදියට පබ්ලිසිටි කරා," ඔහු පැවසුවේ ය.
"අපි කොහොමද එහෙම කියන්නේ? අපි කවදාවත් එළියේ කිව්වේ නැහැ ගෙදර පාටියක් දැම්මහ ම, ගෙදර වෙඩින් එකක් තිබ්බහම සින්දු කියන්න බෑ කියලා අපි කවදාවත් කියලා නැහැ. අපි කියලා තියෙන්නේ වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන්න බැහැ කියලා. හොටෙල් එකක් කියන්නේ වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන තැනක්."
එමෙන් ම ලාබ නොලබන සහ ලියාපදිංචි පුණ්‍යායතන හරහා සිදු කරන පුණ්‍ය කටයුතු සඳහා ද ගාස්තු අය කිරීම් සිදු නොකරන බව ඔහු පැවසුවේ ය.
"පාසලක සිසුන් විසින් ගීත වාදනය කරලා සිසුන් විසින් ම ගීත ගායනය කරන සංදර්ශනයක් නම් අපි කිසිදු ගාස්තුවක් අය කරන්නේ නෑ. නමුත් පාසල්වලින් පවත්වන, ටිකට් විකුණන සහ වෘත්තීමය ගායකයන් සම්බන්ධ වෙලා පවත්වන සංගීත සංදර්ශන සඳහා අපි 50%ක් දක්වා ගාස්තු අඩු කිරීමක් ලබා දෙනවා."
ඉදිරියේදී රූපවාහිනී සහ ගුවන්විදුලියේ ගීත වාදනය සහ ගායනය සම්බන්ධයෙන් ද මෙම ගාස්තු අය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේ ය.