KDU බස් අනතුර: මියගිය සිසුවෙකුගේ පියෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

බදුල්ල බස් අනතුර
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2024 වසරේ බදුල්ල ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක්ව සිසුන් තිදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඒ වෙනුවෙන් වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මරණයට පත් ශිෂ්‍යයෙකුගේ පියෙකු විසින් ගොනු කරන ලද පෙත්සම සැප්තැම්බර් 11 වන දා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.

එහිදී පෙත්සමේ වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින බස් අදාළ රථයේ රියැදුරු වූ කළුතරගේ ප්‍රියන්ත කුමාර නමැත්තාට මේ සම්බන්ධයෙන් සිය විරෝධතා ඇත්නම් ගොනු කරන ලෙස ද එම නියෝගයේ සඳහන් විය.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් නුවන් වහලවත්ත විසින් ගොනු කරනු ලැබ තිබූ මෙම පෙත්සම බදාදා (ජූලි 15) අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ කුමක් ද?

පෙත්සම්කරු කියා සිටින්නේ, සිය පුත්‍රයා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණ උපාධිය හදාරන සිසුවෙකු බවත් 2024 වසරේ නොවැම්බර් මස ක්ෂේත්‍ර චාරිකාවත් සඳහා බදුල්ල ප්‍රදේශයට තවත් සිසුන් පිරිසක් සමග ගමන් කළ බවත් ය.

එහිදී අඹගහ හන්දිය නමැති ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් සිය පුත්‍රයා ඇතුළු සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පිරිසක් තුවාල ලැබූ බවත් එම රිය අනතුර සිදුවූයේ වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

අනතුරට ලක්වූ බස් රථය නිෂ්පාදනය කර ඇත්තේ 1992 වසරේ වන අතර එය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇත්තේ 2020 වසරේ යැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එහි තිරිංග පද්ධතිය නිසි ලෙස නඩත්තු කර නොතිබූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබූ බව ද සඳහන් කළේ ය.

අදාළ බස් රථයේ තිබූ තාක්ෂණික දෝෂ හේතුවෙන් රියැදුරුට එය පාලනය කර ගැනීමට නොහැකි වීම මත මෙම මාරාන්තික අනතුරු සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව ද පෙත්සම්කරු පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේදී සූරියවැව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙකු බස් රථයේ සිට තිබිණි.

පෙත්සම්කරුගේ ඉල්ලීම

ඒ අනුව, වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් මෙම අනතුර සිදුවූ අතර ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පෙතසම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ සජුනී සෙනෙවිරත්නගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියේ ය.

වගඋත්තරකාර බස් හිමිකරු වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග නීතිඥ සංජය මාරඹේ පෙනී සිටියේ ය.