මැදපෙරදිග යුද්ධය ඔබේ සාක්කුවට බලපෑවේ කොහොම ද?: යුද්ධයට පෙර හා පසු භාණ්ඩ මිල ගණන් වෙනස් වීම ගැන සංසන්දනයක්

Sri Lankan man with money in his hand

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පෙබරවාරි 28 දා ඇමෙරිකා එකසත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරය සමඟ ඇරඹුණු ඉරාන යුද්ධයේ සහ මැද පෙරදිග කලාපය පුරා ඇති ව ඇති යුදමය ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා ම ආහාර, බලශක්තිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සියල්ලන්ගේ ම මිල ගණන් ඉහළ ගොස් තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු විය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පසුගිය මාස එකහමාරක කාලය තුළ කිහිප වරක් වෙනස් වූ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ ගියේය.

ඉන්ධන මිල ගණන් ඉහළ යාම

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සංසන්දනය කර ඇති ඉහත මිල ගණන් අනුව ඉන්ධන කාණ්ඩයේ සියලු ම අයිතම වල මිල ඉහල ගොස් ඇති බව දැකගත හැකි ය.

තව ද මේ වන විට මෙම ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර මේ වන විට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 455.00ක් වන අතර, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 398.00කි.

කෙසේ වෙතත්, මාර්තු 22 වන දා පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ, මාර්තු මාසය තුළ දෙවන වරටත් ඉන්ධන මිල වැඩි කරනු ලැබුව ද, ඉන්ධන ලැබෙන මිලට වඩා අඩුවෙන් අළෙවි කිරීම තුළින් පාඩුවක් සිදුවන බව ය.

ලංකා IOC සමාගමේ සුපර් ඩීසල් ලීටරයක මිල මේ වන විට රු. 600කි.

මේ අනුව මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය ඇතිවීමට පෙර පැවති බස් ගාස්තුව ඉන්ධන මිල ඉහළ යාමත් සමග 12.19%කින් ඉහළ ගොස් ඇති අතර, අවම බස් ගාතුව ද රු. 30ක් දක්වා ඉහළ දැමිණි.

එය ඊට පෙර පැවතියේ රු. 27ක් ලෙස ය.

ආහාර මිල ගණන් ඉහළ යාම

ඉහත දර්ශකයේ සඳහන් ආහාර වර්ගවලට අමතරව, ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ දැමීමට ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රු. 25කින් ඉහළ දැමිණි.

කෙටි ආහාර මිල රු. 10කින් ද, බිත්තර ආප්පයක මිල රු. 10කින් සහ ආප්පයක මිල රු.5කින් ද, තේ කෝප්පයක් රු. 5කින් සහ කිරි තේ කොප්පයක් රු. 10කින් ද ඉහළ ගියේ ය.

විදුලිබිල ඉහළ යාම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර, 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් මස 1 වන දා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දුන්නේ ය.

මාසික පරිභෝජනය ඒකක 30 හෝ ඊට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සදහා ගාස්තු 4.3%කින් ඉහළ ගිය අතර ඒ අනුව එම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින් සදහා මාසික විදුලි බිල්පත උපරිමය රුපියල් 15කින් ඉහළ ගියේ ය.

ගෘහස්ථ අංශයේ ඒකක 31ට වඩි ඒකක 60 හෝ ඊට අඩු පාරිභෝගිකයින් සදහා 6.9%කින් ගාස්තු ඉහළ ගියේ එම කාණ්ඩයේ මාසික විදුලි බිල්පතෙහි උපරිම ඉහළ යාම රුපියල් 45ක් දක්වා ඉහළ දමමින් ය.

ඒකක 61ත් ඒකක 90ත් අතර ගෘහස්ත කාණ්ඩය සදහා බිල්පත ඉහළ යාම උපරිමය රු. 120ක් වන අතර ප්‍රතිශතාත්මක ඉහළ යාම 6.9%කි.

මාසික විදුලි පරිභෝජනය ඒකක 91ට වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා 7.2%ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ ගිය අතර එම කාණ්ඩයේ විදුලි බිල්පතෙහි උපරිම ඉහළ යාම රු. 420ක් විය.

නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම (NSO) 2026 අප්‍රේල් 06 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට (PUCSL) නැවතත් 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.