මිලියන 100ක ලොතරැයිය දිනූ ඉන්දීය සනීපාරක්ෂක සේවිකාවන් යළිත් පුරුදු සේවයට

Cherumannil Baby with Kuttimalu
ඡායාරූප ශීර්ෂ වැකිය, චේරුමන්නිල් බේබි (දකුණේ) ලොතරැයිය මිලට ගැනීම සඳහා කුට්ටිමාලුට (වමේ) මුදල් ලබාදුන්නා ය
Published

ඉකුත් ජූනි මස, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සනීපාරක්ෂක සේවිකාවන් 11 දෙනෙක් ලොතරැයි ටිකට් පතක් මිල දී ගැනීමට මුදල් එකතු කළහ. පසුගිය සතියේ ඔවුන් අතිශයින් සතුටට පත් වූයේ, ඔවුන් ඉන්දීය රුපියල් මිලියන 100ක (ඩොලර් මිලියන 1.2) ප්‍රධාන තෑගි මුදල දිනා ඇති බව දැනගත් අවස්ථාවේ දී ය. ජීවිතය වෙනස් කළ හැකි, හදිසියේ ලද ධනස්කන්ධයක් තිබියදී ත් ඔවුහු ඊට පසු දා සුපුරුදු පරිදි රැකියාවට ගියහ.

ඔවුන් නොවළහා පැවසූ පරිදි සනීපාරක්ෂක රැකියාවෙන් ලැබෙන මුදල ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමටවත් ප්‍රමාණවත් නොවේ. ඔවුන් අතරින් බොහෝ දෙනෙකු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනෙකුත් වියදම් සඳහා මුදල් ණයට ලබා ගෙන ඇත.

ඉඳහිට ලොතරැයි පතක් මිලට ගැනීමට ඔවුන් එකට එකතු වන්නේ ඒ නිසා ය.

ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල ලොතරැයි දිනුම් ඇදීම් බොහෝ දුරට නීතිවිරෝධී වන නමුත්, කේරළ ප්‍රාන්තයේ රජය විසින් ම ඉතා ජනප්‍රිය ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. නමුත් පෞද්ගලික ලොතරැයි දිනුම් ඇදීම් ප්‍රාන්තය තුළ තහනම් ය.

"එක පාරක් අපි රුපියල් 1,000ක ත්‍යාගයක් දිනුවා. පස්සේ ඒක බෙදා ගත්තා," සාමාන්‍යයෙන් කණ්ඩායම වෙනුවෙන් ලොතරැයි මිල දී ගන්නා එම්. පී. රාධා පවසයි.

Seven of the women sanitation workers holding laddoos in front of them
ඡායාරූප ශීර්ෂ වැකිය, ජයග්‍රාහිකාවන් ලඩ්ඩු අනුභව කරමින් සතුට සමරයි - යහපත් දෙයක් සිදුවූ ඉන්දියානුවන් රසකැවිලි බෙදාගනියි

ලොතරැයි මිල දී ගැනීම සඳහා මුදල් එකතු කිරීම

පසුගිය මාසයේ දී මෙම කණ්ඩායම රු. 250ක් වටිනා 'මොන්සූන් බම්පර්' ලොතරැයි පතක් මිල දී ගැනීමට තීරණය කළහ (බම්පර් ත්‍යාග ලොතරැයි යනු, උත්සව වැනි විශේෂ අවස්ථාවලදී නිකුත් කෙරෙන ලොතරැයි පත් ය).

හැත්තෑ දෙහැවිරිදි කුට්ටිමාලු පවසන්නේ, රාධා මුදල් එකතු කළ අවස්ථාවේ ඈ සතුව ප්‍රමාණවත් තරම් මුදලක් නොතිබූ නිසා ඈ මුල දී සිත් තැවුලට පත්වුණු බව ය.

"කොහොම හරි, චේරුමන්නිල් බේබි (කණ්ඩායමේ තවත් සාමාජිකාවක්) මට කිව්වා එයා ගාව රුපියල් 25ක් තියෙනවා, ටිකට් එක ගන්න ඒකෙන් බාගයක් මට ණයට දෙන්නම් කියලා," ඇය බීබීසීයට පැවසීය.

ඒ අනුව, කාන්තාවන් දෙදෙනා ලොතරැයි පතේ ඔවුන්ගේ කොටස වෙනුවෙන් රුපියල් 12යි ශත 50ක් බැගින් යෙදවූ අතර, අනෙක් කාන්තාවන් නව දෙනා රුපියල් 25 බැගින් යෙදවූහ.

"අපි එකඟතාවකට ආවා, යම් කිසි මුදලක් අපි දින්නොත් ඒක බෙදා ගන්නවා කියලා," කුට්ටිමලු කියා සිටියාය. "හැබැයි අපි බලාපොරොත්තු වුණේ නෑ ඒ තරම් ලොකු මුදලක් දිනාවි කියලා!"

දිනුම් ඇදීමෙන් දිනකට පසු ඔවුන් ජයග්‍රහණය කළ බව මෙම කාන්තාවන් දැන ගත්තේ, ඔවුන්ගෙන් එක් අයෙකු ප්‍රතිඵල පරීක්ෂා කරන්නැ යි ඇගේ සැමියාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී ය.

"අපි බම්පර් ප්‍රයිස් එකට ටිකට් ගත්ත හතරවෙනි පාර මේක," රාධා පවසයි. "හතර වන පාර අපි වාසනාවන්ත වුණා!"

The women standing with the municipal chairman
ඡායාරූප ශීර්ෂ වැකිය, මේ කාන්තාවන්ගෙන් වැඩිදෙනා ලොතරැයි දිනුමට පෙර මූල්‍ය අර්බුදවලට මුහුණදුන් අය යි

දෛවය වෙනස් කරන ලොතරැයි දිනුම

ඔවුන්ගේ කණ්ඩායම ප්‍රධාන ත්‍යාගය දිනා ඇති බව ඇයට ඇදහිය නොහැකියැයි, 62 හැවිරිදි බේබි පැවසුවා ය.

"වාසනාව කියන්නේ කවදාවත් මගේ පැත්තේ තිබුණ දෙයක් නෙවෙයි," ඇය පවසයි. 2018 වසරේ දී කේරළයට බලපෑ විනාශකාරී ගංවතුරින් ඇගේ නිවස අහිමි විය. ඇය දැන් සැලසුම් කරන්නේ, නිවසක් සාදාගෙන ණය තුරුස් ගෙවා දැමීමට ය.

කණ්ඩායමේ අනෙක් කාන්තාවන්ට පැවසීමට තිබුණේ ද එවැනි ම කතාවකි.

පනස් හැවිරිදි කේ. බින්දුට පසුගිය වසරේ දී වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් ඇගේ සැමියා අහිමි විය. වකුගඩු බද්ධයක් සඳහා මුදල් සොයාගැනීමට ඇගේ පවුල අපොහොසත් විය.

"අපි ඩයලිසිස් කරන්න ඉතුරු කර ගත්ත සල්ලිවලින් එයා ටිකට් ගන්න පුරුදු වෙලා හිටියේ," ඇය පවසයි. "අපේ ගෙදර හදලා ඉවර කර ගන්නත් කලින් එයා අපිව දාලා ගියා. දැන් මම ගේ හදලා ඉවරකර ගන්න ඕනේ."

බින්දුට අවශ්‍ය වන්නේ, ඇගේ 15 හැවිරිදි දියණියට අනාගතයේ දී හොඳ රැකියාවක නිරතවීමේ මඟ විවර කර දීම සඳහා ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එම මුදල් යෙදවීමට ය.

Lottery tickets displayed at a shop along the roadside in Thiruvananthapuram, Kerala, on 12 May, 2022
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ ඉන්දියානු ප්‍රාන්තවල ලොතරැයි බොහෝදුරට නීති විරෝධී වන නමුත් කේරළය දැඩි රෙගුලාසි යටතේ එයට අවසර දෙයි

ලොතරැයි ජයග්‍රහණයට පෙර දින රාත්‍රියේ ඇගේ පවුල ඔවුන්ගේ අනාගතය ගැන කනස්සල්ලෙන් පසු වූ බව, 49 හැවිරිදි ලක්ෂ්මි පවසයි. ඉදිකිරීම් කම්කරුවෙකු වන ඇගේ සැමියා ප්‍රාන්තය පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රැකියාවක් සොයාගැනීමට අපහසු තත්ත්වයක පසු වෙයි.

දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා දැන් මුදල් වියදම් කළ හැකිවීම අඹුසැමි යුවළ ලද මහත් සහනයකි.

පනස් හය හැවිරිදි ලීලා ඇගේ දියණියගේ සැත්කම සඳහා මුදල් ගෙවන්නේ කෙසේදැ යි සිත් තැවුලට පත්ව සිටියා ය. "මම එතකොටත් මගේ ගෙදර උකසට තියලා දූගේ මඟුලට ණයක් අරගෙන තිබුණේ," ඇය පවසයි.

රජයේ බදු ගෙවීමෙන් පසු කණ්ඩායමට හිමි වන්නේ ඉන්දීය රුපියල් මිලියන 63ක (ඩොලර් 766,000) මුදලකි. බේබි සහ කුට්ටිමාලු ඔවුන්ගේ රුපියල් මිලියන 6.3ක (ඩොලර් 76,600) කොටස ඔවුන් අතර සමානව බෙදා ගන්නා අතර අනෙක් අයට රුපියල් මිලියන 6.3 බැගින් තනි තනිව හිමිවනු ඇත.

සුපුරුදු පරිදි නැවත රාජකාරියට

කැළිකසල එක්රැස් කිරීමට අමතරව, පොදු වැසිකිළි ඉදිකිරීමේ සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන ස්ථාපනය සඳහා ද මෙම කාන්තාවන් සහාය වන බව, ප්‍රාන්තයේ මෙම සේවා සම්බන්ධීකරණය කරන ආයතනය වන සුචිත්ව මිෂන්හි අධ්‍යක්ෂ කේටී බාලභාස්කරන් පවසයි.

ඔවුන්ගේ ජීවිත වෙනස් කළ ජයග්‍රහණයෙන් දිනකට පසු සිකුරාදා, මෙම කාන්තාවන් 11 දෙනා සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට එම ආයතනයේ කාර්යාලය වෙත පැමිණියා ය.

"අපි එක දෙයක් තීරණය කළා," ලීලා පවසයි. "අපි මේ රස්සාව දාලා යන්නේ නැහැ. මොකද අපිට වාසනාව ගෙනාවේ මෙතැනදී හැදිච්ච එකමුතුකම."