සමාජ මාධ්‍ය ඔබව 'බිහිරි' කරන්නේ මෙහෙමයි

ඡායාරූප මූලාශ්‍රය, Logvinart via Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
"මචං, අපි රෑට කන්නේ මොනවා ද? හොඳ කොත්තුවක් කමු ද? හැබැයි ගෙනැල්ලා කාලා වැඩක් නෑ, ගිහින් කමු, නැත්නම් කන එකෙන් වැඩක් නෑ..."
මේ, මීට දින කිහිපයකට ඉහතදී මා, මාගේ මිතුරා අමතා සිදු කළ ප්‍රකාශයකි. එදින නිවාඩු දිනයක වූ බැවින් රාත්‍රී ආහාරය සඳහා ඔහු මාගේ නිවස වෙත පැමිණ සිටියේ ය.
ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින්, මා ඔහු දෙස වඩාත් ඕනෑකමින් බැලුවේ, ඊට හේතුව දැන ගැනීමේ අරමුණෙනි. සුපුරුදු පරිදි ඔහු තම සමාර්ට් ජංගම දුරකතනයේ තිරය දෙස දෙනෙත් යොමා, එහි ගිලී සිටියේ ය. පුදුමයට කරුණ නම්, ඔහු හෙඩ්ෆෝන් යුගලක් හෝ පැළඳ නොසිටීම ය.
ඇතැම් විට ඔබත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන් අයෙකු විය හැක. එසේ නැති නම්, ඔබත් මාගේ මිතුරා මෙන් පමණ ඉක්මවා සමාජ මාධ්‍යවල කාලය ගත කර, ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් තවත් කෙනෙකුගේ දෝෂාරෝපණයට ලක් වූ අයෙකු විය හැක.
"කන් ඇහෙන්නේ නැද්ද? රෑට කන්නේ මොනවා ද?," මා තරමක් හඬ උස් කර කතා කළ අතර ඔහු ඊට ප්‍රතිචාර දැක්වීය.
එසේ නම්, මා මීට පෙර කළ ප්‍රකාශය ඔහුට නොඇසුණේ මන්ද? ඔහු මා වෙත සහ අවට ලෝකයට "බිහිරි" බවට පත් වූයේ කෙසේ ද?
"ස්මාර්ට් දුරකතන අධික භාවිතය සහ අවධානය ගිලිහී යාම නිසා ඇති වන අන්ධභාවය සම්බන්ධයෙන්" තායිවානයේ තායිපේහි පදිකයින් යොදා ගෙන 2018 වසරේදී අධ්‍යයනයක් සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ "අවධානය ගිලිහී යාම නිසා ඇති වන බිහිරිභාවයට" සම්බන්ධ ප්‍රධාන ම කාර්යය මහමග ගමන් කරන අතරතුර සංගීතයට සවන් දීම බව ය.
නමුත් "අවධානය ගිලිහී යාම නිසා ඇති වන අන්ධභාවයට සහ අවට තත්ත්වය පිළිබඳ දැනුවත්භාවය අඩු කිරීමට" සම්බන්ධ වූ ප්‍රධාන කාර්යය වූයේ ජංගම දුරකතන ක්‍රීඩාවක් වන Pokémon Go ය.
මාගේ මිතුරාට සම්බන්ධ සංසිද්ධිය ද මීට සමාන සිදුවීමක් බැවින් එහි වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව සොයා බැලීමට මා පෙළඹිණි. ඒ සඳහා මම කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග සමග සංවාදයක යෙදුණෙමි.
මොළයේ සිදුවන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අපගේ සංවාදයට මුලපුරමින් විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග සඳහන් කළේ, සමාජ මාධ්‍ය භාවිතයේදී මොළයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධ කර ගැනීමට ප්‍රථම, මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත යුතු බව ය.
"මොළයේ තියෙනවා 'රිවෝඩ් සිස්ටම්' කියලා එකක්. මේක ඇත්තට ම හැදිලා තියෙන්නේ අපේ ජීවිතය පවත්වා ගෙන යන්න, එදිනෙදා කරන දේවල්වලට උදව්වක් විදිහට," ඇය පැවසුවා ය.
"මෙතැනදී වෙන්නේ මොකක් හරි අපි කරන ක්‍රියාවක් වගේ දෙයකදී ලැබෙන උත්තේජනයත් එක්ක අපිට ඒකට කැමැත්තක් ඇති වීම. එතකොට අපිට අභිප්‍රේරණයක් ඇති වෙනවා ඒක නැවත නැවත කරන්න.
"ඊට පස්සේ මේ ක්‍රියාව අපිට දැනුන ඒ හැඟීමත් එක්ක සම්බන්ධ වෙලා, නැවතත් කරන්න අවශ්‍යතාව ඇති වෙනවා," ඇය පැහැදිලි කළා ය.
ආහාර ගැනීම නිදසුනක් ලෙස ගනිමින් ඇය එම ක්‍රියාවලිය තවදුරටත් මෙලෙස විස්තර කළා ය.
"උදාහරණයක් විදිහට ආහාර ගැනීම ගත්තොත්, ඒකෙන් අපිට හොඳ උත්තේජනය ලැබෙනවා. ඊට පස්සේ අපි ආයෙත් ගන්න ඒක සැලසුම් කරනවා.
"ඊට පස්සේ අපිට ආයෙත් කෑම ගන්න අවශ්‍යතාවක් ඇති වෙනවා. ඒක නිසා ඊළඟ කෑම වේල ළං වෙනකොට අපිට ඇඟෙන් ම ඒ අවශ්‍යතාව දැනෙනවා. ඊට පස්සේ අපි ඒක ආයේ ආයේ කරනවා," ඇය පැවසුවා ය.
විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, එවැනි උත්තේජනයක් ලැබීමෙන් පසු ඩොපමින් නමැති ස්නායු සම්ප්‍රේෂකයක් වන මුදා හැරෙන බව ය.
"ඩොපමින් වැඩිපුර මුදා හැරීමෙන් මොළයේ බේසල් ගැන්ග්ලියා (basal ganglia) කියන ප්‍රදේශයේ තියෙන කොටසක් වෙන නියුක්ලියස් අකම්බන්ස් [nucleus accumbens] කියන කොටස උත්තේජනය කරනවා."
අපට යම් උත්තේජනයකදී දැනෙන වින්දනය, එය නැවත කිරීමට ඇතිවන අවශ්‍යතාව මෙන් ම කැමැත්ත දැනීම ආරම්භ වන්නේ ඩොපමින්වලින් මොළයේ මෙම කොටස උත්තේජනය වීමෙන් පසුව බව ඇය පෙන්වා දුන්නා ය.
එමගින් අපගේ මොළයේ පූර්ව මස්තිෂ්ක බාහිකය (Prefrontal Cortex) උත්තේජනය වීම සිදුවේ.
වෛද්‍යවරිය පෙන්වා දෙන පරිදි, අදාළ ක්‍රියාව නැවත නැවතත් කිරීමට අවශ්‍ය බවට වන තීරණය ගැනීම සහ එය සිදු කරන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීම සිදුවන්නේ පූර්ව මස්තිෂ්ක බාහිකයෙනි.
"පූර්ව මස්තිෂ්ක බාහිකයට එනකම් මේ උත්තේජනවලින් වෙන දේවල් අපේ පාලනයක් යටතේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒවා ඉබේ ම වෙන්නේ.
"එතනට ආවා ම, අපි හිතලා, 'මේක නැවතත් කරන්නේ කොහොම ද' කියලා සැලසුම් කරනවා. මේ විදිහට තමයි මේක චක්‍රයක් වගේ දිගට ම සිද්ධ වෙන්නේ," ඇය පැහැදිලි කළා ය.
අප 'බිහිරි' වන්නේ කොහොම ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අපගේ සංවාදයේ දෙවන අදියර වූයේ සමාජ මාධ්‍ය භාවිතයේදී මොළයේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කර ගැනීම ය.
මීට පෙර සඳහන් ක්‍රියාවලිය පාදක කර ගනිමින් විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග පෙන්වා දුන්නේ, අප සමාජ මාධ්‍ය භාවිතයේදී ද සිදුවන්නේ මොළය උත්තේජනය වීමක් බව ය.
"අපි හිතමු සමාජ මාධ්‍යවල වීඩියෝ එකක් බලනවා කියලා. වීඩියෝ එකක් බලන එකෙන් එන උත්ත්ජනය, අපි හිතනවා දැන් 'මේක හොඳ දෙයක්, මම කැමතියි මේක බලන්න."
ඒත් සමග මොළයේ විශාල ඩොපමින් ප්‍රමාණයක් මුදා හැරෙන බව ඇය පැහැදිලි කළා ය.
"එතකොට මේකෙන් දිගට ම ඩොපමින් ස්‍රාවය වෙලා 'නියුක්ලියස් අකම්බන්ස්' කියන කොටස දිගට ම උත්තේජනය වෙනවා. එහෙම උත්තේජනය වෙලා පූර්ව මස්තිෂ්ක බාහිකයෙන් අපි හිතනවා ආයෙත් මේක කරන්න ඕනේ කියලා.
"ඊළඟ වීඩියෝ එක මීට වඩා හොඳ එකක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. එහෙම නැත්නම් අපි පෝස්ට් එකක් දැම්මා නම් තව නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා ඇති කියලා අපි හිතන්න ගන්නවා. ඒ වගේ මොළෙන් ම තීරණය කරනවා ආයෙත් මම ෆෝන් එක බලන්න ඕනේ කියලා," ඇය පැවසුවා ය.
විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නේ, මෙලෙස දිගින් දිගට ම උත්තේජනය වීම හේතුවෙන් මොළය "විඩාවට" පත් වන බව ය.
"එහෙම විඩාවට පත් වුණා ම වෙන්නේ බාහිරින්, අපේ සාමාන්‍ය ජීවිතයේදී ලැබෙන උත්තේජන තියෙනවා නේ, ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කළොත්, ඒ වගේ අඩු මට්ටමේ උත්තේජනවලට මේක සක්‍රීය වෙන්නේ නැහැ.
"ඒ දේවල් ගැන තියෙන අවධානය අඩු වෙනවා. මොළය බලාපොරොත්තු වෙන්නේ ලොකු ප්‍රමාණයෙන් ඩොපමින් මුදා හැරෙන උත්තේජන. එතකොට තමයි ඒ අයගේ අවධානය, අවට ඉන්න අය එක්ක තියෙන සම්බන්ධතා අඩු වෙන්නේ, මොක ද ඒකෙන් ලොකු වින්දනයක් ලැබෙන්නේ නැති නිසා," වෛද්‍යවරිය පැහැදිලි කළා ය.
නොනවතින චක්‍රයක්
අප අතර සිදුවූ සංවාදයේ තෙවැනි අදියර ඇරඹියේ ඉන් පසුව ය. එය, පමණ ඉක්මවා සමාජ මාධ්‍ය, නැතිනම් ඩිජිටල් තිරවලට ඇබ්බැහි වී සිටීමේ බරපතළභාවය දෙසට මා ගෙන යන්නක් විය.
"අපේ මොළයේ තියෙනවා ඇමිග්ඩලා කියලා කොටසක්. මේ කොටසෙන් තමයි බය, තරහා, සංසන්දය කිරීම් වගේ දේවල් දැනෙන්නේ," විශේෂඥ වෛද්‍යවරිය පැහැදිලි කළා ය.
ඇය පෙන්වා දුන්නේ, මෙය සෑදී ඇත්තේ අප වෙත පැමිණෙන තර්ජන සහ අවදානම් ආදිය හඳුනා ගැනීමට බව ය.
"බයක් වගේ දෙයක් දැනුනා ම ඇමිග්ඩලා එකෙන් සක්‍රීය කරනවා හයිපොතැලමස්-පිටියුටරි-අධිවෘක්ක අක්ෂය (hypothalamic-pituitary-adrenal (HPA) axis).
"මේ අක්ෂය උත්තේජනය වීම නිසා කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් මුදා හරිනවා. ස්ට්‍රෙස් හෝමෝන කියලත් අපි මේවාට කියනවා. හැබැයි ඇමිග්ඩලා එකට තේරුම් ගන්න බැහැ, මේ උත්තේජන සත්‍ය සිදුවීමක් නිසා සිද්ධ වෙන දෙයක් දෙයක් ද නැත්නම් මම ඩිජිටල් තිරයක දකින දෙයක් නිසා ඇති වෙන උත්තේජනයක් ද කියලා."
ඒ නිසා, තිරයේ එවැනි හැඟීමක් ඇති කරන යමක් දුටුව ද ඇමිග්ඩලා මගින් මෙම අක්ෂය සක්‍රීය කර ආතතියට හේතුවන හෝමෝන අඛණ්ඩව මුදා හැරීම සිදුවන බව ඇය පෙන්වා දුන්නා ය.
"එතකොට කවුරු හරි කෙනෙක් දිගට ම සමාජ මාධ්‍යවල මේ වගේ දේවල් එක දිගට බලනකොට, මේ වගේ හැඟීම් ගොඩක් මොළයට දැනෙන්න පටන් ගත්තා ම දිගට ම ස්ට්‍රෙස් හෝමෝන මුදා හැරෙනවා."
වෛද්‍යවරිය අවධාරණය කළේ, එවිට එවැනි පුද්ගලයින් "නිදන්ගත ආතති තත්ත්වයක්" කරා ගමන් කරන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, lakshmiprasad S vis Getty Images
භයානක අනාවරණය
සංවාදයේ අවසන් අදියර ඇරඹියේ ඉන් අනතුරුව ය.
මාගේ මිතුරා පමණක් නොව මා ද බොහෝ විට විවේක කාලය ගත කරන්නේ ඩිජිටල් තිරයක් ඉදිරියේ ය. නව ඩිජිටල් ලෝකයේ එය අපට අත්හළ නොහැකි ඇබ්බැහියක් වී හමාර ය.
නමුත් විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග සඳහන් කරන පරිදි, විවේකය අපගේ ගතට පමණක් නොව මොළයට ද අත්‍යවශ්‍ය ය.
"අපේ මොළයට අවශ්‍යයි 'පීරියඩ්ස් ඔෆ් සයිලන්ස්', ඒ කියන්නේ මොළය විශේෂයෙන් දෙයක් කරන්නේ නැතුව, මොනවා හරි ඉලක්කයකට වැඩ නොකරන වෙලාවක් අවශ්‍යයි. හරියට නිකම් කම්මැලිකමෙන් ඉන්නවා වගේ වෙලාවක්," ඇය පැහැදිලි කළා ය.
ඇතැම් අවස්ථාවලදී "දාර්ශනික සාකච්ඡා වැනි ගැඹුරු" දෑ පවා මොළය අපේක්ෂා කරන බව ඇය පෙන්වා දුන්නා ය.
"ඒකෙන් තමයි අපේ මොළයේ නිර්මාණශීලී බව ඇති වෙන්නේ. අපිට අපි ගැන තියෙන දැනුවත්භාවය ඇති වෙන්නේ. අපේ මතකයන් හොඳට තැන්පත් වෙන්නේ. ඒ වගේ දේවල් වෙන්න මේ වගේ විවේකී වේලාවක් අපිට අවශ්‍ය වෙනවා."
ඇය සඳහන් කළේ, දවසේ කෙටි වේලාවක් හෝ විවේකයක් ලබා දීම මිනිස් මොළයට ප්‍රයෝජනවත් බව ය.
නමුත් සමාජ මාධ්‍ය භාවිතයේදී මොළයට එම විවේකය අහිමි වී යන බව වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.
"කවුරු හරි කෙනෙක් දිගින් දිගට ම සමාජ මාධ්‍යවල මේ වගේ කාලය ගත කරද්දී දිගට ම මොළය උත්තේජනය වෙමින් තියෙන්නේ. එතකොට ඒ අයට මේ වගේ විවේකී වෙලාවක් නැති වෙනවා."
එහි බරපතළ බව කොතෙක් ද යත් ඇය සඳහන් කළේ, ඉන් අපගේ මතකය, අපට අප පිළිබඳව ඇති දැනුවත්භාවය, නිර්මාණශීලීත්වය මෙන් ම මොළයේ ඇති හැකියාවන් පවා කාලයත් සමග ක්ෂය වී යන බව ය.
"කාලයක් තිස්සේ මෙහෙම වීම නිසා මොළයේ ස්ථිර වෙනස්කම් ඇති වෙනවා," ඇය අවධාරණය කළේ ය.
වොෂිනටන් පෝස්ට්හි මෙම වසරේ පළ වූ ලිපියකසඳහන් වූයේ, TikTok, Instagram හෝ YouTube වැනි වේදිකාවල කෙටි වීඩියෝ දිගින් දිගටම නැරඹීම අපගේ අවධානය, මතකය සහ මානසික සෞඛ්‍යයට බලපාන බව පර්යේෂණවලින් පෙනී යන බව ය.
"අපගේ මොළයට ස්වභාවයෙන් ම අවධානය වෙනතකට යොමු කළ හැකි වී ඇත්තේ යහපත් හේතුවක් නිසා ය. ඔබ පොතක් කියවමින් සිටින විට විශාල ශබ්දයක් ඇසෙන්නේ නම්, ඔබ ඒ ගැන විමර්ශනය කිරීමට පෙළඹේ.
"නමුත් දුරකතනයෙන් ලැබෙන නොටිෆිකේෂන්ස් මගින් හෝ අප ස්ක්‍රෝල් කරමින් මාතෘකාවෙන් මාතෘකාවට නිතර මාරු වීම මගින් සිදුවන නිරන්තර බාධා කිරීම්වල ඇති ගැටලුව නම්, එය අපගේ අවධානය ඛණ්ඩනය කිරීමත් එමගින් දිගු වේලාවක් අවධානයෙන් සිටීම දුෂ්කර වීමත් ය," මැගී පෙන්මන් විසින් රචිත එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.
විශේෂඥ වෛද්‍ය දුල්මිණී වීරතුංග අවධාරණයේ කළේ, විශේෂයෙන් ම කුඩා දරුවන්ට සහ නව යොවුන් විය පසුවන දරුවන්ට මෙමගින් ඇතිවන බලපෑම විශාල බව ය.
"මොකද ඒ අයගේ මොළය තාමත් වර්ධනය වෙමින් පවතින්නේ. එතකොට ඒ අයගේ වර්ධනයත් අඩාළ වෙනවා. වෙලා තියෙන වර්ධනයත් ටික ටික පහතට වැටෙනවා," ඇය පෙන්වා දුන්නා ය.
මොළය පමණ ඉක්මවා උත්තේජනය වෙමින් පැවතීම නිසා පූර්ව මස්තිෂ්ක බාහිකයේ ක්‍රියාකාරිත්වය පවා අඩු විය හැකි බව ඇය සඳහන් කළා ය.
"මේ අයගේ රිවෝඩ් සිස්ටම් එක විඩාවට පත් වෙලා තියෙන්නෙ, දීර්ඝ කාලීනව මානසික ආතතියක ඉන්නේ, මොළයට ඇති තරම් විවේකයක් ලැබෙන්නෙත් නැහැ.
"තීරණ ගැනීමේ හැකියාව, සැබෑ ජීවිතයේ දේවල් ගැන තියෙන අවධානය, ඔක්කෝ ම ටික ටික අඩු වෙනවා.
"සැබෑ ජීවිතයේ සහ ඩිජිටල් ජීවිතයේ වෙනස හඳුනා ගන්න බැරි වෙනවා. නින්ද පවා අඩු වෙන්න පුළුවන්," ඇය සංවාදය අවසන් කරමින් පැවසුවේ මා ලද අත්දැකීම පිළිබඳ විද්‍යාත්මකව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙමිනි.

































