මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම මුළුමනින් ම අඩාළ වුණේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
"සිංහල අවුරුදු දින දෙක ද ඇතුළුව දවස් 10ක් 11ක් විතර අපිට වතුර ලැබුණේ ම නැහැ. සිංහල අවුරුද්දෙන් පස්සේ අපිට වතුර ලැබුණා," මහනුවර ප්‍රදේශ කිහිපයක පැවති ජල අර්බුදයට මුහුණ දුන් පල්ලෙකැළේ, මහවැලි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් පැවසීය.
එච්.එම්. ජයසුන්දර නමැති ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, ජල සැපයුම අඩාළ වීම නිසා අතිශය දුෂ්කර තත්ත්වයකට පත්ව සිටි බව ය.
ජලය නොලැබුණු කාල සීමාවේදී පෞද්ගලික සැපයුම්කරුවන් හරහා බවුසර මගින් ජලය ලබා ගත් බවත් ඊට විශාලක් වැය කිරීමට සිදුවූ බවත් ඔහු කියා සිටියේ ය.
මේ අතර, පල්ලෙකැළේ ප්‍රදේශයේ පදිංචිකාරියක පැවසුවේ, ජලය නොමැති දිනවල ඔවුන්ට ජලය බවුසර් මගින් නොමිලේ ලබා දුන් බව ය.
"වතුර නැතිව දවස් 10කට වැඩිය හිටියා. ඒ දවස් කිහිපයේ බවුසර්වලින් අපිට වතුර ගෙනත් දුන්නා," ඇය කියා සිටියා ය.
කෙසේ වෙතත්, මේ වන විට ජලය ලැබුණ ද එහි පීඩනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ජල ටැංකිවලට ජලය නොපිරෙන බැවින් පහළ ඇති ජල කරාමවලින් ජලය ලබා ගැනීමට සිදුව ඇති බව ද ඇය සඳහන් කළා ය.
එම ජලය අවපැහැයෙන් යුක්ත බව ද ඇය පැවසුවා ය.
'ලබා දුන් ජලය ප්‍රමාණවත් වුණේ නැහැ'
ඊට අමතරව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මහනුවර මහ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන ද ජලය බවුසර් මගින් ලබා දීමට කටයුතු කළ ද, එය අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව ද එච්.එම්. ජයසුන්දර පැවසීය.
"බොහෝ දෙනෙක් නාගන්න ගංගාවලට, ඔයවල්වලට ගියා, සමහර උස් ස්ථානවල ගෙවල් තිබුණ අයට වතුර ලැබුණෙ ම නෑ. ඒ අයට නෑදෑ ගෙවල්වලට, වෙන වෙන ප්‍රදේශවලට යන්න වෙන්න පවා සිද්ධ වුණා," ඔහු කියා සිටියේ ය.
මෙවැනි දීර්ඝ කාලයක් ජලය නොලැබී තිබුණ ද, මීට පෙර ඇතැම් වර්ෂවලත් වියළි කාලවලදී මෙම ප්‍රදේශවල ජනතාව මෙලෙස ජලය නොලැබීමේ ගැටලුවලට මුහුණ දුන් බව එච්.එම්. ජයසුන්දර පැවසීය.
රජය මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමු කර ඊට ස්ථිර විසඳුමක් ලබා දියු යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.
පසුගිය දින 10ක පමණ කාලයක් පල්ලේකැළේ, කුණ්ඩසාලේ සහ බලගොල්ල ආශ්‍රිත නල ජලය ලබා ගන්නා ජනතාව ජලය නොලැබීම නිසා මහත් අපහසුතාවකට පත්ව සිටියහ.
පානීය ජලය විදුලිය උත්පාදනයට යොදා ගත්තා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව චෝදනා කළේ, විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබූ බව ය.
ඒ හේතුවෙන් ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
"අපට තොරතුරු ලැබී තිබෙන ආකාරයට වික්ටෝරියා ජලාශයේ ජලය, පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීම සඳහා මුහුදු මට්ටමේ සිට මීටර් 422 මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වන නමුත් මේ ආණ්ඩුවේ හිතුවක්කාර තීරණ නිසා එම සීමාව පහත වැටීමක් වෙනවා."
"ජලාශවල ජලය අධික වශයෙන් විදුලි බල උත්පාදනයට යොදවා ගැනීම හේතුවෙන් මේ වන විට මහනුවර, කුණ්ඩසාලේ හා දිගන ප්‍රදේශ කිහිපයකට පානීය ජලය සපයන බලගොල්ල පොම්පාගාරය අකර්මණ්‍ය වන තත්ත්වයක් මේ වන විට උද්ගත වී තිබෙනවා."
මෙවැනි පසුබිමක ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වී ඇති අතර, බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත් ඉන් පාරිභෝගිකයන්හට අවශ්‍ය ඝන මීටර් 12000ක් වෙනුවට දෛනිකව බෙදාහැරීමට හැකිව ඇත්තේ, ඝනමීටර් 500ක් පමණක් බව ද දුමින්ද නාගමුව කියා සිටියේ ය.
පල්ලෙකැළේ ආයෝජන කලාපයේ ඇතැම් කම්හල්වල නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට මෙම තත්ත්වය බාධාවක් වී ඇති බැවින්, අප්‍රේල් 10 වන දා කම්හල් වසා දැමීමට පියවර ගත් බව ද ඔහු පැවසීය.
"මේ තත්ත්වය නිසා වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය, කෘෂි කර්මාන්තයට අවශ්‍ය විදියට කළමනාකරණයේ ගැටලුවක් ඇති වන නිසා මේ ප්‍රශ්නය තවත් දිග්ගැස්සෙනවා."
ජල සැපයුම අඩාළ වීම ගැන බලධාරින් කියන්නේ කුමක් ද?
ඉහත කී චෝදනාව සම්බන්ධව බීබීසී සිංහල සේවය ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාලගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ එලෙස විදුලිය උත්පාදනයට ජලය නිදහස් කර නොමැති බව ය.
"සමාන්‍ය ඩ්‍රයි පීරියඩ් එකකදී ඕක සමාන්‍ය තත්ත්වයක්. අවුරුද්දක් ඔය තත්ත්වය නැති වුණාට අවුරුදු දෙක තුනක් ඔහොම වෙනවා, ඕක සමාන්‍ය තත්ත්වයක්."
2025 වසරේ මෙවන් තත්ත්වයක් උදා නොවූ බවත් 2016, 2017 වසරවලදී මෙලෙස ජල මට්ටම පහළ බැසීමට ලක්වූ බවත් ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.
"දිට්වා එනකොට බලගොල්ල ඉන්ටේක් එකේ ලෙවල් එක මට්ටමේ වතුර තිබුණේ. දිට්වා එකේ ආපු ලොකු වතුර එක්ක ෆිල්ටර් එකේ රොන් මඩ තැන්පත් වුණා. රොන් මඩ නිසා වතුර පම්ප් කර ගන්න අමාරුකම යි තියෙන්නේ," මතුව ඇති තත්ත්වය ඔහු පැහැදිලි කළේ එසේ ය.
පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය අඩ පණ වූයේ ඇයි?
විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය, අසාමාන්‍ය ලෙස නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබිණි.
එහි සභාපති, ඉංජිනේරු චන්දන බන්ඩාර නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් පරිදි පසුගිය දිනවල පැවැති දැඩි නියඟ තත්ත්වයන් යටතේ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ ගිය අතර, 'දිට්වා' කුණාටුවට පසුව දැඩි ලෙස මඩ තැන්පත් වීම හා ඉහළින් තැන්පත් වූ මඩ ගලා ඒමත් නිසා වරින් වර පොම්ප ක්‍රියාකිරීම හා පිරිපහදු ක්‍රියාවලිය දින 10ක පමණ කාලයක් දැඩි ලෙස අඩ පණ වී තිබී ඇත.
ගැටලුව විසඳීමට ගෙන ඇති පියවර මොනවා ද?
තාවකාලික පිළියමක් ලෙස තාවකාලික වේල්ලක් ඉදිකර ගැටලුව නිරාකරණය කිරීමට කටයුතු කළ අතර මේ වන විට ජල පිරිපහදු ක්‍රමය යථා තත්ත්වයට පත්කර අදාළ සේවා ප්‍රදේශවලින් බොහොමයක් ආවරණය වන ලෙස ජලය සැපයුම් යථාවත් කිරීමට කටයුතු කර තිබෙන බවත්, අවශ්‍යතාව මත බවුසර් මගින් ද ජලය ලබා දීමට කටයුතු කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
"තව ද ඉදිරියේදී මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අමතර සහයක් වනු පිණිස හාරගම ප්‍රදේශයේ පිහිටි ජල තටාකය යොදාගෙන (225mm HDPE), කිලෝමීටර් 2ක් පමණ නල මාර්ග මගින් අමු ජලය ජල පවිත්‍රාගාරය වෙත යොමු කිරීමට අවැසි කටයුතු මේ වන විට ක්‍රියා වෙමින්," පවතින බව ද එහි සඳහන් වේ.
එම කටයුතු දින දෙක තුනකින් අවසන් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අපේක්ෂා කරයි.
එමෙන් ම, බලගොල්ල ජල පවිත්‍රාගාරය අමු ජල පොම්ප ක්‍රියාකරවීමේ ගැටලුව විසඳා ජලය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
බලගොල්ල ජල පවිත්‍රාගාරය මගින් කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි බලගොල්ල, දිගන, අලුත්වත්ත, වරාපිටිය, ගම්උදාව, කුණ්ඩසාලේ, දම්බරාව, විජේසිරිගම, BOI,IDB ආදී ප්‍රදේශ ආවරණය කරමින් ජල සම්බන්ධතා 16,977ක් සඳහා නල ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.



























